කොටුවට කෝච්චියෙන් ඇවිත් හා හා පුරා කියලා ඔහුව සෙව්වෙ හිතකින් නෙමේ.දහසක් දේවල් ඇගේ ඔලුව ඇතුළෙ කැරකි කැරකි තිබ්බ.ගැහැණු පිරිමි වෙලා දෙගොල්ලක් උපදින්නෙ ඇයි කියන එක ඇගේ ඔලුවට වද දුන්නා.තුන්වෙනි වේදිකාවෙ ඉඳල මඟුල් මුදුව දාගෙන උන්න අතෙන් ඔහු අත වනද්දී, ඈ විවාහ ගිවිස ගෙන උන්න මුදුව දාගෙන හිටිය අත ඔහුට වැනුව..ඔහුගෙ මඟුල් මුදුව ඇගේ ඇහේ කොනක් නිලංකාර කරද්දීම ඈ ඔහු වෙත පියමැන්නෙ විවාහ ගිවිසි මුදුවත් පිරිමදිමිනුයි.
ඈ දුටු ඔහුගේ සතුට ඉපිලුන දෑස්,කිණිස්සක් ළය මඬල පසාරු කරන් යනවා වගේ ඇයට දැනුණා..දත් අස්සෙ පුළුන් ගුලියක් හිර වෙලා වගේ ඈ අමාරුවෙන් හිනාවක් එළියට දැම්මෙ හිතකින් ද අහිතකින් ද කියන එක ඇයටම සිතා ගන්න බැරි වුණා.මොහොතකට අංගවිකල වුණා වගේ ඇයට දැනුණා..ඒත් ඔහුට නම් ඒක වගක්වත් වුණ පාටක් පෙනුනෙ නෑ..
“ගෝල්ෆේස් යමු”
ඔහු එක එල්ලෙ ඇගේ දෑස් දිහා බලල කියද්දි මැරිල ඉපදුණ වගේ ඇයට දැනුණා..මඟුල් මුදුව රැඳි ඒ අත ගැන ඇයට මහ පිලිකුලක් වගේ දැනුණත් ඉස්සරහට තිබ්බ කකුල ආයෙ පස්සට ගන්න බැරි විකාර සිතිවිල්ලක් ආවා.ෆෙයරි ටේල් ෆැන්ටසි ලෝකේ නා නා සිතිවිලි බඹරයක් වගේ ඔලුවෙ කැරකෙන්න ගනිද්දි බස් එකට නැගල ඔහුගෙ උරිසෙ නොගෑවී ඉන්න මුද්ද තිබ්බ අත දිහා නොබල ඉන්න ඈට දුෂ්කර ක්‍රියා කරන්නත් බය හිතුණෙ කවුරුහරි දකී කියන සුපුරුදු අදහසෙන්.ඇගේ විවාහ ගිවිසි මුදුව ඔහු කිසිදු පිලිකුලක් නැතුව පිරිමැද්දා.ඔලුවේ මහ බර ගතියක් දැනෙද්දිම දෙන්නම ගෝල්ෆේස් එක ළඟින් බැස්සෙ මුනිවත රැකල….
ගෝල්ෆේස් හෝටලේ වෙඩින් කපල් එකක් ෆොටෝ ගන්නව දකිද්දි ඇගේ හිත කීරි ගැහිල ගියා.ඉක්මනටම ඈ කුඩෙන් ඔහුවත්,ඇයවත් වසා ගත්තෙ කවුරුහරි දෙන්නගෙ අත් දකී කියල බයේ.මුහුදු රැලි වෙනදටත් වඩා වේගෙන් පෙරලෙන සද්දෙ ඈට ඇහුනා.මඟුල් මුදුව අව්වට දිලිසෙනව ඈ දැක්කෙ සර්පයෙක්ගෙ හැවක් දිලිහෙනව වගේ.ගෝල්ෆේස් සරුංගල් ඉබාගාතේ අහසේ පාවෙවී තියෙනව ඈ දැක්ක.
“අපේ ජීවිත දෙකත් හරියට මුහුද වගේ”
කියල ඔහුගේ හඬ යට ගියා මූදෙ රැල්ලත් එක්කම.ඉක්මනටම ඈ පියමැන්නෙ අනිත් කපල්ස් වාඩි වෙලා ඉන්න බංකු දිහාවට.මූදු රැලි ගොඩක් ඈතයි කියල ඈට හිතුන.
“මං වගේමදෝ මෙයාලත්?” හිතෙන ගමන්ම වාඩි වුණ සැරේ ඉක්මනටම කුඩෙන් දෑත් වසා ගත්ත දෙන්නගෙම.දැන් මූණු දෙක විතරයි පේන්නෙ රතු වෙලා සුදුමැලි වෙලා ගිය.අව් රැල්ලට ගෝල්ෆේස් සරුංගල් හෙම්බත් වෙලා වගේ ඔහේ පාවි පාවි තියෙද්දි ඔහුගේ ඔලුව ඇගේ උරිස මත නතර වුණා.විවාහ ගිවිස ගත් මුදුව තිබුණ අතෙන් කාටත් නොපෙනෙන්න ඔහුගෙ හිස හෙමිහිට පිරිමැද්දෙ ඇගෙ අත ගිනියම් වෙලා යද්දි.ඔහුත් මඟුල් මුදුව තිබ්බ අතෙන් ඇගේ කම්මුල අල්ලල ඒ ඇස් දිහා බලා උන්නා.ඒකෙ ගිනියමත් ඈට දැනුණ.මුහුදෙ හෝ ගාන සද්දෙ කන් ඇතුළෙ පෙරලෙනවා වගේ ඈට හිතුනා.
විවාහ ගිවිස ගත් මුද්දෙ පාට අව්වට වියැකිල යනව වගේ පෙනෙද්දි ඔහුගේ මඟුල් මුද්ද රත්තරන් පාට පෙන්නන්න වලි කෑවා.කුඩේකින් වැහිල තිබුණ ඒ අත් දෙක ඇතුළේ තමන්ගේ ලෝකේ තමන්ට හොයා ගන්න බැරිව දෙන්නම අතරමං වෙලා උන්නා.ඔහුගේ කිසිම විලවුන් සුවඳක් ඈට හොයා ගන්න නොහැකි වෙද්දි ඔහු ඇගේ උරිස උඩින් මඟුල් මුදුව රැඳි අත තිබ්බා.හඳුන් කූරක ගිනි පුපුරු වැටිල වෙන ක්ෂණික පිච්චීම වගෙයි ඈට එය දැනුණෙ.විවාහ ගිවිස ගත්ත මුද්දෙ තිබුණ මැණික් ගල ඉගිලිල යන්න හදනවා වගේ අත වෙව්ලුන් කෑවා.ඔහු තමන්ට ආදරේ කියන වචනෙ ඇහුනෙ චිරි චිරි ගාන රේඩියෝ එකෙන් වචන කැඩි කැඩි ඇහෙනව වගේ.ඈට කිසි දෙයක් කියන්නවත් විදියක් නැතිව උගුර බැරැණ්ඬි වෙලා වගේ දැනුණ.නොදැනුණ ලුණු රහකින් ඇගේ තොල් තෙත් වෙලා ගියා.
“මගේ ලෝකේ මට ඔයා ළඟ මුණගැහුණා”
ඒක ඈට ඇහුනෙ හීන ලෝකෙක දෝංකාර දිදී වගේ.කාට දොස් පවරන්න දැයි හිතා ගන්න බැරි වෙද්දි සරුංගලේක නූල කැඩිල මූද දිහාට ඇදෙනව ඈ බලා හිටියා.ඔහුගේ මඟුල් මුදුව තාම රන් පාටට දිලිසුන හැන්දෑ අව්වට.ඈට යන්න ඕන වුණා,ඒ අත මඟ ඇරල.ඒ නිසා ඈ එතනින් නැගිට්ටෙ කුඩේ අකුලන ගමන්ම.ඔහුත් ඇගේ අත අවසාන වතාවට පිරිමදින්න හදද්දි ඈ ඒක ප්‍රතික්ෂේප කළේ කොහෙන්දෝ ආව පිලිකුලක් ඈව වසා ගනිද්දි.දෙන්නම කොටුව කෝච්චියට නගින්න ආවෙ කිසිම කතාවක් නැතිව.වේදිකා දෙකක කෝච්චි දෙකක් දෙපැත්තට යන්න ලෑස්ති වෙද්දි ඔහු නැවතත් මඟුල් මුදුව තිබුණ අතින් ඈට අත වැනුවත් හිත හදාගෙන විවාහ ගිවිසි මුදුව රැඳි අත ඔසවන්න ඈට හයියක් තිබ්බෙ නෑ.ඒ අතින් අල්ලන් ඈ අමාරුවෙන් කෝච්චියට නැග්ගා.ආයෙමත් ඒ මඟුල් මුදුවෙ අත ඈ දිහා බලා ඉන්නවා කෝච්චියෙ ජනේලෙන් ඈ යන්තම් දැක්කා.
නිමි
ප්‍රියාශා රන්වල
බොරලැස්ගමුව
බොරලැස්ගමුව
No comments:
Post a Comment