RAVINDU GAYAN

RAVINDU GAYAN
Showing posts with label සාමාන්‍ය කෙටි කතා. Show all posts
Showing posts with label සාමාන්‍ය කෙටි කතා. Show all posts

Saturday, 22 October 2016

අසූ තුනේ කලබලේ---දිල්ෂාරා පීරිස්

අපේ අම්මා අදටත් සමහරදාට ඉට්ලි සමඟ කුලම්බු හොද්දක් කටට රසට පිළියෙල කරයි. උප්පුමා,උළුදු වඩේ,චපාති එකී මෙකී නොකී රසවත් ආහාරයන්ගෙන් අපේ බඩ කට පුරවයි.හකුරුයි,මුං ඇටයි දාල හදන මෝදගම් කෑමට රුසියා මමය. අලුත් අවුරුද්දට අපේ නැන්දලා අපේ ගෙදරට දුව එන්නේ උඳු පිටි වලින් හදපු මුරුක්කු කන්න මහත් ආසාවෙනි.පිල්ලේ දොස්තර මහතාගේ තුන් මහේ දානේ පන්සලටත් කෝවිලටත් දීමට දූ දරු පිරිස ලහි ලහියේ සූදානම් විය.ගේ දොර අස්පස් විය.
‘මේ කොළ පාට පිඟන් ටික පරිස්සමින් සෝදලා දෙන්න ලොකු දුව’ කියමින් අම්මා මගේ අතට පිඟන් කිහිපයක් දුන්නාය.
‘මේ පරණ පිඟන් වගයක්නේ අම්මේ..’
‘පරණ වුණාට කමක් නෑ හෝදලා දෙන්න අරන් තියන්න.අසූ තුනේ ගෙට ගහපු වේලාවේ ඉතුරු වුණ පිඟන් ටික ඔය.’
‘අම්මට ඒ පිඟන් තාම මතකයිනේ’
අම්මා නිහැඬියාවක නිමග්න විය.
යාපනය ගම්දොර වූ සෙල්ලප්පා ගණපති පිල්ලේ ලංකා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා ලංකාවේ හතර දිසාවේ තම සේවය නොපිරිහෙලා ඉටු කළ පුද්ගලයෙකි.අසූ ගණන් වල සේවා ස්ථානය වූයේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවය. එහා ගමේ පිහිටි ඔහුගේ නිවසද රෝගීන්ට බෙහෙත් ශාලාවක් විය.
ලේ නෑ සබඳකමට අනුව බත් පිඟාන නොබෙදු පිල්ලේ දොස්තර මහතාත් මාතර පාතේගම පදිංචිකාරියක වූ ඔහුගේ බිරිඳ ක්ලේරා වික්‍රමසිංහත් මා පිය සෙනෙහස රැකවරණය නොදත් මගේ අම්මාට ජාතියට ජම්මෙට එහා ගිය මා පිය සෙනෙහසක් ලබා දුණි.
කිළිනොච්චියේදී දකුණේ හමුදා සෙබළු දහතුන් දෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කොට ඇති බව රත්මලානෙන් මළ සිරුරු ගොඩ බෑමත් සමඟ කොළඹ අවට මිනිසුන්ගේ පපු කුහරයන්ට එය ආරංචි විය. දඬු මුගුරු මන්නා පිහියා මදින්නට විය. භූමිතෙල් බෝම්බ හැදිණි.කුපිත වූ සිංහල මිනිස්සු කොළඹ පදිංචිව සිටින දෙමළ මිනිස්සු සොයමින් පන්නා පන්නා මරන්නට සූදානමි විය. එකම කළු වළාවකි. ආමර් වීදියේ සිට බේරුවල දක්වා වූ කඩ එක පෙළට එකිනෙක එකිනෙක වැසි වැසී යන්නට විය. ටයර් රෝද නොව නිරයේ ගිනි රෝද විය. කුමක්දෝ මේ භයංකරත්වය .කුමක්ද මෙය. මහාදුම් වළාවන් කොළඹ ලැව් ගිනි කොහෙන්ද. ගාලු මුවදොර සමුද්‍රයා සැරසී සිටින්නේ අඳුරු පුවතක් හා දොඩමළු වන්නටය.
‘කෝ මේ හැතිකරේ ..’
‘පර බල්ලෝ’
‘දෙමළ පාදඩයෝ’
‘බැහැපිය දොට්ට..’
‘බොලට මේකේ ඉඩක් නෑ බොලව් පලයව් වන්නියටම’
එදා තරම් බය වුණ දවසක් මගේ ජීවිතේ නැහැ.අම්මා යළිත් අසූ තුනට ගියේ මාත් සමඟය.‘ඉස්සර තිබුණේ යකඩ ලයිට් කණුනේ,ගැහුවම ලොකු සද්දයක් යනවා. මෝදර සොල්දර කඩේ ජිනරතන යකඩකින් ලයිට් කණුවට ගැහුවා.බැහැපිය දෙමළ හැතිකරේ එළියට කියාගෙන.නෝනා එළියට බහින්න හැදුවා මමයි සෝමෙයි ඉඩ දුන්නේ නෑ අපි බෙරිහන් දීලා කෑ ගැහුවා.
ඔය මිනිස්සුන්ම තමයි මහ රෑට ළමයින්ට වලිප්පුව හැදුනම ඩිස්පැන්සරියට විතරක් නෙවේ ගෙදරටත් දුවගෙන එන්නේ.අපේ මහත්තයා වෙනම ලොකු බේසමක් තියන් ඉන්නේ ගෙදරත්;බේසමේ වතුරට දාලා තමයි කටට හැන්දක් දීලා තමයි බෙහෙත් දෙන්නේ.විශ්ව විද්‍යාල ළමයින් අර උද්‍‍ඝෝෂණවල ගේට්ටු කඩාගෙන එන්නේ .ඒ වගේ තමයි එදා මුළු මොරටු ගම් දහ අටේම මිනිස්සු අපේ මහ ගේට්ටුව කඩා ගෙන ආවේ මහත්තයව මරන්න.ගෙදර මේ වෙනකොටත් මායි සෝමෙයි නෝනයි හිටියේ..අපි තුන් දෙනාම සිංහල හන්දා මුකුත් කළේ නැහැ.ගෙදර තිබුණු දේවල් අරන් ගියා සේරම. උදේ හත වෙද්දි බ්‍රෝකර් ධනපාලගේ පුතා “නීල්”ලොකු ඔරලෝසුව කරේ තියන් ගියේ.
මගෙයි සෝමෙගෙයි ඇදුම් අපි වත්තේ තිබුණු ටැංකියව දාලා පොල් අතු වලින් වැහුවා. තව ගෙදර බඩු වගයක් වත්ත පහළට අරන් යනකොට ‘නිලියොන් අප්පු’ කසිප්පු ගහලා කෑ ගහගෙන ඇවිත් ‘දොස්තර නෝනව මං බේර ගන්නව’ ‘නෝන අතවත් තියන්න එපා මේ බඩු වලට මං කාටවත් මේවට අත තියන්න දෙන්නේ නැහැ.’ කිය කිය ඉන්නවා.අපිට බඩු ටික හංගන්න හම්බුනෙ නැහැ නිලියොන් අප්පුගේ වදෙ පොරේ හන්දා.පස්සේ දැන ගත්තේ ඌත් ඇවිත් තියෙන්නේ බොරු කියාගෙන.ගෙට ගහපු උදවිය එවලා තියෙන්නේ ඔත්තු බලන්නයි.බඩු හංගන එක නවත්තන්නයි.මුරට ආපු පොලිස්කාරයෝ දෙන්නා පැයක් විතර ඉදලා එස්.පී මහත්තයාගේ ගේ මුර කරන්න ඕන කියලා ගියා. පැයක් එකහා මාරක් යද්දි හැංගිලා හිටපු මිනිස්සු අමෝරාගෙන ආවා.
‘දෙමලුන්ට මෙහෙ ඉන්න දෙන්නෙ නෑ .බැහැපියව්’ කිය කිය කඩා වැදුනා ගෙට. කැති, මාළු කපන පිහි,මන්න,දිග තුවක්කු බට අරගෙන ආවේ. විටා ගෑනිගේ අතේ ලොකු භූමිතෙල් කෑන් එකක් තිබුණා මට මතකයි.මායි සෝමෙයි උදේ කලබල වෙලාවේ තාප්පෙට තියලා තිබුණු ඉණිමගෙන් එහා වත්තට පැනලා. ලොකු පඳුරක් තිබුණා.ඒකට මුවා වෙලා හිටියේ.
මං බලන් ඉන්නවා ගෙයි වහල දිහා දුමක් එනකන්. ඇයි ඉතින් මේ මිනිස්සු ආවේ ගෙට බෝම්බ දානවයි කියාගෙනනේ.ටිකක් වෙලා යද්දි මහා වෙඩි හඬක් ඇහුණා.සෝමෙයි මමයි තබ්බීරි වෙලා බලන් හිටියා.හිමින් නැගිටලා බලද්දි පොලීසියෙන් අහසට වෙඩි තියනවා. ගත්තු බඩු තැන් තැන්වල දම දමා මිනිස්සු සී සී කඩ දුවනවා.
අපි දෙන්නා ගෙදරට යන්න තාප්පෙට නැග්ගා රූටලා රූටලා.ඉස්සරහ යතුර තියෙන පෝච්චිය ළඟ නෝනගේ හවරිය දැකලා මගේ පපුව හෝස් ගලා ගියා තාම මතකයි.දෙයියනේ මහ හයියෙන් කෑ ගහගෙන මායි සෝමෙයි ගෙට පැන්නා. අපි දෙන්නම හිතුවෙ නෝනව ගෙයි මරා දාලා කියලා.බැලින්නම් නෝනා අපිට කලින් ඉණිමගෙන් එහා වත්තට පැනලා ගෙවල් අස්සෙන් අස්සෙන් සියල්ගේ අම්මවත් තල්ලුකර ගෙන ගිහින් තියෙන්නේ තිස් නමයේ ගෙදරට. පොලිස් කාරයෝ එක්කන් එන්න.
සෙන්ද්‍රික් ලේන් එකේ ඉඳන්ම මරලතෝනි දිදී ගිහින් තියෙන්නේ දොස්තර මහත්තයගේ ගේ කඩනවෝ කියා ගෙන.යනකොට පොලිස් මහත්තුරු දෙන්නා ජීප් එකේ තේ බොනවලු ඒවා එතනම දාලා පොලීසියෙන් ආවා ඉක්මණට. ඒ නිසා ගේ ගිනි තියන්න උණේ නැහැ උන්ට.කොළඹ හිටිය දෙමළ මිනිස්සු විතරක් නෙවේ. හොරණ බේරුවල දර්ගා වල හිටපු දෙමළ මිනිස්සු මරලා දාලා කියලා ආරංචි උණා අපිට. මරණ බයෙන් ගැහි ගැහි හිටියේ. සිංහල උණත් අපිව මරා දායි කියලා. අපිවත් දැනන් හිටියේ නැහැ මහත්තයා කොහේ හැංගිලා ඉන්නවද කියලා. සතියක් විතර හැංගිලා ඉදලා තියෙන්නේ වැල්ලවත්තේ කරුණාදාස කියලා ලොකු කරවල මුදලාලි කෙනෙකුගේ බංගලාවක.
ඒ වෙනකොට කොළඹ දෙමළ මිනිස්සුන්ව නැවෙන් යාපනයට පැටෙව්වා
මහත්තයත් නැවෙන් යාපනයට ගිහින්.
පහුවෙනිදා රෑත් පෙන්සියා වත්තේ සුමනෙ දුවගෙන ආවා. ගඟේ ගිහින් කකුලක් කාවට්ටියකට කපාගෙන ලේ පෙරාගෙන.‘මහත්තයෝ මහත්තයෝ වදින්නම් බුදු මහත්තයෝ මේකට බෙහෙත් ටිකත් වක් කරන්න.ඇදුන් කනවා මහත්තයෝ ඉන්න බෑ දෙයියනේ.’කියාගෙන.
නෝනා මහත්තයෝ පිල්ලේ මහත්තයා ආවද?
‘පපුව මහන්සිය ඉන්න බෑ. අනේ මහත්තයා ඉන්නවනම් මහන්සි පෙත්තක් ඉල්ලලා දෙන්න නැත්නම් මෙතනම කූරියා ගහයි නෝනේ’ වැල්ලේ මයිකලයගේ ගෑණී එහෙම අඳෝනාව කිය කිය ඉදලා එක පයින්ම ‘දෙමළු මුන් කෙහේද අපට බෙහෙතක් දෙන්නේ.හෙණම ගහපිය.’කියා ගෙන ගියා යන්න.දවස් හයක් හතක් ගියා ජූලි 29 එදා ‘කොටි කොළඹට ආවෝ’ කියාගෙන දුවගෙන එනවා බස්වල මිනිස්සු .
“පිල්ලෙගෙ ගෙට ගිනි තියාපියව් මොකටද තව බලන් ඉන්නෙ.”
ඊට කලින් ඉදලම මෙහෙම කලබල ඇති වුණාම රිචඩ් බාසුන්නෙහැලගේ ගෙදර තමා හැංගිලා ඉන්නේ.එදා එහේ යන්නවත් ලැබුණේ නැහැ.
ලොකු ට්‍රක් වගේ වාහනේකින් තුන් දෙනෙක් ආවා.කතුරක් දික් කරගෙන ආවේ.ඇඳන් යටයි දොර මුළු අස්සෙයි වත්තෙයි හැමතැනම මහත්තයව හෙව්වා .හොයා ගන්න බැරි තැන කකුලේ තිබිලා වේළුණු පරණ තුවාලයක් පෙන්නලා . ‘නෝනා මහත්තයා කරන්න දෙයක් නෑ මහත්තයා අපිට බෙහෙත් දාලා තියෙනවා අපි මහත්තයව මරන්න ආවේ’.සමාවෙන්න කියලා තමා ඒ මිනිස්සු තුන්දෙනා ගියේ.එදා පොලීසියෙන් වටේට මුර හිටපු නිසා ගේ ගිනි තියන්න ඉඩක් ලැබුණේ නැහැ.
පොලිස් පොතේ පැමිණිලි වලට අනුව ගෙට ගැහුව මිනිස්සුන්ව ඇල්ලුවා.ගෙට ගහනකොට ගෙදර බඩු මුට්ටු හංගපු තැන් කියලා පොලීසියෙන්ම ඒවා අරන් ආවා. මට දෑවැද්දට දුන්න මැෂිමක් තිබුණේ එගොඩඋයන ස්ටේෂම ගාව වැල්ලේ වලදාලා.අසු පහේ වත්තෙයි ස්කාගාරවත්තෙයි හංගපු බඩු ආයේ අපිට හම්බුණා.ජනෙල්වලට කොල අලවගෙන තමා පිරිමියෙක් නැතිවත් සෝමෙයි මායි නෝනයි හිටියේ.මාස ගණනකට පස්සේ මහත්තයා ආවා නැවෙන් ආපහු.ගරා වැටිච්ච ගේ දැකලා රෑ දවල් නොබලා මහන්සියයි සල්ලියි නොබලා බෙහෙත් දුන්න මිනිස්සු කරල තියෙන දේ දැකලා මහත්තයා හරියට කලකිරුණා.ගෙට ගහපු කීප දෙනෙක්ට නඩුත් වැටුණා. පැන්සියා වත්තේ ජිනරතනට සොල්දර කඩේ ඉඩම පවා උකස් තියන්න උණා නඩුවලට සල්ලි නැතුව.
පස්සේ නෝනගෙනුයි මහත්තයාගෙනුයි සමාව ඉල්ලලා වැඳ වැටුණා. නඩුව ඉල්ලලා අස්කරලා දෙන්න කියලා.
උසාවියේදී පැන්සියා වත්තේ නඩු වැටුණ හැමෝටම වන්දියක් නැතුවම සමාව දුන්නට දණ ගහලා වැන්දා උසාවියෙදීම මුළු පැන්සියා වත්තම.....                                                                                                                                                                                                                                                
දිල්ෂාරා පීරිස්
කොළඹ විශ්වවිද්‍යාලය

Friday, 21 October 2016

දෙයතක දෑත්--ප්‍රියාශා රන්වල

කොටුවට කෝච්චියෙන් ඇවිත් හා හා පුරා කියලා ඔහුව සෙව්වෙ හිතකින් නෙමේ.දහසක් දේවල් ඇගේ ඔලුව ඇතුළෙ කැරකි කැරකි තිබ්බ.ගැහැණු පිරිමි වෙලා දෙගොල්ලක් උපදින්නෙ ඇයි කියන එක ඇගේ ඔලුවට වද දුන්නා.තුන්වෙනි වේදිකාවෙ ඉඳල මඟුල් මුදුව දාගෙන උන්න අතෙන් ඔහු අත වනද්දී, ඈ විවාහ ගිවිස ගෙන උන්න මුදුව දාගෙන හිටිය අත ඔහුට වැනුව..ඔහුගෙ මඟුල් මුදුව ඇගේ ඇහේ කොනක් නිලංකාර කරද්දීම ඈ ඔහු වෙත පියමැන්නෙ විවාහ ගිවිසි මුදුවත් පිරිමදිමිනුයි.
ඈ දුටු ඔහුගේ සතුට ඉපිලුන දෑස්,කිණිස්සක් ළය මඬල පසාරු කරන් යනවා වගේ ඇයට දැනුණා..දත් අස්සෙ පුළුන් ගුලියක් හිර වෙලා වගේ ඈ අමාරුවෙන් හිනාවක් එළියට දැම්මෙ හිතකින් ද අහිතකින් ද කියන එක ඇයටම සිතා ගන්න බැරි වුණා.මොහොතකට අංගවිකල වුණා වගේ ඇයට දැනුණා..ඒත් ඔහුට නම් ඒක වගක්වත් වුණ පාටක් පෙනුනෙ නෑ..
“ගෝල්ෆේස් යමු”
ඔහු එක එල්ලෙ ඇගේ දෑස් දිහා බලල කියද්දි මැරිල ඉපදුණ වගේ ඇයට දැනුණා..මඟුල් මුදුව රැඳි ඒ අත ගැන ඇයට මහ පිලිකුලක් වගේ දැනුණත් ඉස්සරහට තිබ්බ කකුල ආයෙ පස්සට ගන්න බැරි විකාර සිතිවිල්ලක් ආවා.ෆෙයරි ටේල් ෆැන්ටසි ලෝකේ නා නා සිතිවිලි බඹරයක් වගේ ඔලුවෙ කැරකෙන්න ගනිද්දි බස් එකට නැගල ඔහුගෙ උරිසෙ නොගෑවී ඉන්න මුද්ද තිබ්බ අත දිහා නොබල ඉන්න ඈට දුෂ්කර ක්‍රියා කරන්නත් බය හිතුණෙ කවුරුහරි දකී කියන සුපුරුදු අදහසෙන්.ඇගේ විවාහ ගිවිසි මුදුව ඔහු කිසිදු පිලිකුලක් නැතුව පිරිමැද්දා.ඔලුවේ මහ බර ගතියක් දැනෙද්දිම දෙන්නම ගෝල්ෆේස් එක ළඟින් බැස්සෙ මුනිවත රැකල….
ගෝල්ෆේස් හෝටලේ වෙඩින් කපල් එකක් ෆොටෝ ගන්නව දකිද්දි ඇගේ හිත කීරි ගැහිල ගියා.ඉක්මනටම ඈ කුඩෙන් ඔහුවත්,ඇයවත් වසා ගත්තෙ කවුරුහරි දෙන්නගෙ අත් දකී කියල බයේ.මුහුදු රැලි වෙනදටත් වඩා වේගෙන් පෙරලෙන සද්දෙ ඈට ඇහුනා.මඟුල් මුදුව අව්වට දිලිසෙනව ඈ දැක්කෙ සර්පයෙක්ගෙ හැවක් දිලිහෙනව වගේ.ගෝල්ෆේස් සරුංගල් ඉබාගාතේ අහසේ පාවෙවී තියෙනව ඈ දැක්ක.
“අපේ ජීවිත දෙකත් හරියට මුහුද වගේ”
කියල ඔහුගේ හඬ යට ගියා මූදෙ රැල්ලත් එක්කම.ඉක්මනටම ඈ පියමැන්නෙ අනිත් කපල්ස් වාඩි වෙලා ඉන්න බංකු දිහාවට.මූදු රැලි ගොඩක් ඈතයි කියල ඈට හිතුන.
“මං වගේමදෝ මෙයාලත්?” හිතෙන ගමන්ම වාඩි වුණ සැරේ ඉක්මනටම කුඩෙන් දෑත් වසා ගත්ත දෙන්නගෙම.දැන් මූණු දෙක විතරයි පේන්නෙ රතු වෙලා සුදුමැලි වෙලා ගිය.අව් රැල්ලට ගෝල්ෆේස් සරුංගල් හෙම්බත් වෙලා වගේ ඔහේ පාවි පාවි තියෙද්දි ඔහුගේ ඔලුව ඇගේ උරිස මත නතර වුණා.විවාහ ගිවිස ගත් මුදුව තිබුණ අතෙන් කාටත් නොපෙනෙන්න ඔහුගෙ හිස හෙමිහිට පිරිමැද්දෙ ඇගෙ අත ගිනියම් වෙලා යද්දි.ඔහුත් මඟුල් මුදුව තිබ්බ අතෙන් ඇගේ කම්මුල අල්ලල ඒ ඇස් දිහා බලා උන්නා.ඒකෙ ගිනියමත් ඈට දැනුණ.මුහුදෙ හෝ ගාන සද්දෙ කන් ඇතුළෙ පෙරලෙනවා වගේ ඈට හිතුනා.
විවාහ ගිවිස ගත් මුද්දෙ පාට අව්වට වියැකිල යනව වගේ පෙනෙද්දි ඔහුගේ මඟුල් මුද්ද රත්තරන් පාට පෙන්නන්න වලි කෑවා.කුඩේකින් වැහිල තිබුණ ඒ අත් දෙක ඇතුළේ තමන්ගේ ලෝකේ තමන්ට හොයා ගන්න බැරිව දෙන්නම අතරමං වෙලා උන්නා.ඔහුගේ කිසිම විලවුන් සුවඳක් ඈට හොයා ගන්න නොහැකි වෙද්දි ඔහු ඇගේ උරිස උඩින් මඟුල් මුදුව රැඳි අත තිබ්බා.හඳුන් කූරක ගිනි පුපුරු වැටිල වෙන ක්ෂණික පිච්චීම වගෙයි ඈට එය දැනුණෙ.විවාහ ගිවිස ගත්ත මුද්දෙ තිබුණ මැණික් ගල ඉගිලිල යන්න හදනවා වගේ අත වෙව්ලුන් කෑවා.ඔහු තමන්ට ආදරේ කියන වචනෙ ඇහුනෙ චිරි චිරි ගාන රේඩියෝ එකෙන් වචන කැඩි කැඩි ඇහෙනව වගේ.ඈට කිසි දෙයක් කියන්නවත් විදියක් නැතිව උගුර බැරැණ්ඬි වෙලා වගේ දැනුණ.නොදැනුණ ලුණු රහකින් ඇගේ තොල් තෙත් වෙලා ගියා.
“මගේ ලෝකේ මට ඔයා ළඟ මුණගැහුණා”
ඒක ඈට ඇහුනෙ හීන ලෝකෙක දෝංකාර දිදී වගේ.කාට දොස් පවරන්න දැයි හිතා ගන්න බැරි වෙද්දි සරුංගලේක නූල කැඩිල මූද දිහාට ඇදෙනව ඈ බලා හිටියා.ඔහුගේ මඟුල් මුදුව තාම රන් පාටට දිලිසුන හැන්දෑ අව්වට.ඈට යන්න ඕන වුණා,ඒ අත මඟ ඇරල.ඒ නිසා ඈ එතනින් නැගිට්ටෙ කුඩේ අකුලන ගමන්ම.ඔහුත් ඇගේ අත අවසාන වතාවට පිරිමදින්න හදද්දි ඈ ඒක ප්‍රතික්ෂේප කළේ කොහෙන්දෝ ආව පිලිකුලක් ඈව වසා ගනිද්දි.දෙන්නම කොටුව කෝච්චියට නගින්න ආවෙ කිසිම කතාවක් නැතිව.වේදිකා දෙකක කෝච්චි දෙකක් දෙපැත්තට යන්න ලෑස්ති වෙද්දි ඔහු නැවතත් මඟුල් මුදුව තිබුණ අතින් ඈට අත වැනුවත් හිත හදාගෙන විවාහ ගිවිසි මුදුව රැඳි අත ඔසවන්න ඈට හයියක් තිබ්බෙ නෑ.ඒ අතින් අල්ලන් ඈ අමාරුවෙන් කෝච්චියට නැග්ගා.ආයෙමත් ඒ මඟුල් මුදුවෙ අත ඈ දිහා බලා ඉන්නවා කෝච්චියෙ ජනේලෙන් ඈ යන්තම් දැක්කා.
නිමි
                                         ප්‍රියාශා රන්වල
                                          බොරලැස්ගමුව

Tuesday, 18 October 2016

අලුත් ඉරක්---රුවන්දිකා පෙරේරා

මැදියම් රැයත් ගෙවී ගොස්ය. මාගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලිකරන්නා වූ අදහස් තුළට නිදි දෙව් දුව ලඟා නොවූ සැටියකි. මෙලෙස හිත පෙරලි කරන්නා වූ සතියට මරණය සැපතකි. ක්‍ෂණයෙන් කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එක්වරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිපවරක්ම ගසා ගත්තෙමි. ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ සිතින් ම මරණයට ඇත වනමින් සිටින්නෙමි. මා අසලට විත් වැළඳගන්නේ නම්….
මා වීදුරුව බිඳී ගිය ජනේලයෙන් අහස තුළ ඇති අන්ධකාරය තුළ ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුළින් පිටවී එනවිට මා සිත තුළ පැවති රික්තකය දෙගුණයක්, තුන් ගුණයක්, සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිර විහිදී ඇති සෙයකි.
හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැති මම මගේ හිස මම ම පිරිමැද ගතිමි. කෙහෙරැල් තුළින් ඇඟිලි තුඩු යවා පිරිමදින විට දහදිය මුහුවී එකට ඇලුණු කෙහෙ රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමි.ඒ වේදනාව ද මා හට ප්‍රියජනක විය. කාමරය ද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නාසයට ලං කළෙමි. දහදිය සමඟ මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇගිල්ලක් තබා එය සෙමෙන් පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක් ද?
අතෙහි තැවරුණු ලේ බිඳු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි. තුඃ නොදකින්! මලකඩ රසක් එන්නේ මන්ද? මා සිත මවිසින්ම යකඩයක් බවට පත් කර බොහෝ කල් ය. නමුත් එයට කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුළින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත් ඔළුකට්ට පසාරු කළ තුවාලයෙන් එළියට පැන ඇත.
මෙතෙක් මා මැවූ සිහින මාළිගා මා ඉදිරිපිටම සුන්නද්දුලි වී ගොස් ය.උසස් පෙළ සමත් වී වෛද්‍යවරයෙකු වන්නට, මාදෙස හෑල්ලුවට නෙත් හෙළුවන් දෙස ආඩම්බරයෙන් බලන්නට, දේවතාවියක් වූ අම්මාගේ අවසන් කාලයවත් සැපවත් කරන්නට මා විසින් මැවූ සිහින මාලිගාවේ අඩිතාලමෙන් ම පුපුරා ගොස් මේ වනවිට පැය ගණනාවක් ගෙවී ගොස් හමාරය.
******************
“ ඒ වෙනුර….. අද රිසාල්ට් ඇවිත් ……… යමුද ඉස්කෝලේ පැත්තේ….? “
අරවින්ද වැටට උඩින් පැන එමින් කතා කරනවිට ම විසින් අම්මාට ලුණු කැඳ කෝප්පයක් පොවා අවසන් කළා පමණි. ඔහුගේ කටහඬින් ඇගේ දෑසේ ඇති වූ දීප්තිය මා හැඳින ගත්තෙමි. ඒ ඈ සිත තුළ ඉතිරි වී ඇති අවසන් බලාපොරොත්තුව මා බැව් අප්පච්චී අප තනිකර ගිය දා සිට මා දැන සිටියෙමි.
“ පොඩ්ඩක් හිටපන් මං ලෑස්ති වෙලා එන්නම්……”
එසේ කියමින් මා ගෙතුලට ගියද පාසල වෙත ගොස් විභාග ප්‍රතිපල බැලීමේ උනන්දුවක් නොව උදාසීන කමක් මසිත තුළ ඇති විය. මා සෙමෙන් සෙමෙන් කමිසයේ බොත්තම් පියවීමි. මා මන්දගාමී වී ඇත ඉක්මන් වන්නට තැත් කළද කාන්දමකට ඇලී පවතින යකඩයක් වෙන් කරන්නට දරන වෑයම මෙන් මා මන්දගාමී තත්වයට ඇදෙමින් තිබුණි.
“ මොනවද බං මෙච්චර වෙලා කරන්නේ…?”
“හරි… හරි… යමු ….”
කියමින් මා කාමරයෙන් එලියට පැමිණියෙමි. “ මේ… මොකද මේ….?” උඹ කාමරේට වෙලා මොනව කළාද…..? ඔලුව පීරගේනවත් නෑ… නින්දෙන් නැගිටලා වගේනේ බං ……”
ළගට ආ අරවින්ද ඔළුව අතින් පීරුවේය. “හා … දැන් යමන් අපේ දොස්තර මහත්තයෝ ….” අරවින්ද පෙරමුණ ගත්තේ ය.
“ අම්මේ…. මං ගිහින් එන්නම්….” මම අම්මාට වැන්දෙමි. අරවින්ද ද මා පසුපස විත් අම්මාට වැන්දේය.
“බුදුසරණයි මයේ පුතේ… පරිස්සමෙන් ගිහින් එන්න… මං දන්නවා මයේ පුතාට වරදින්නේ නෑ….”
“හ්ම්ම්ම්… “ මට කියවුනේ එපමණකි. මසිත දැවී හළු වී ගියේය.
පාසලට යන මඟ දිගට අරවින්ද කතා කළේය.
“ මට ෂුවර් බං උඹනම් ඉතින් ආයෙත් නෑ කැම්පස් ම තමයි… අනේ ඉතින්… දෙයියනේ කියලා මටනම් එස් තුනකින් හරි ශේප් වෙන්න තිබුණොත් ඒ ඇති…. ජොබ් කට්ටක්වත් හොයාගන්න….”
ඒ අතරතුර මසිත ඇදී ගියේ උසස් පෙළ විභාගය ලියූ දින කිහිපය ය. ඇත්තෙන්ම මට සිදු වූයේ කුමක්ද? පාසලටම සිටි දක්ෂතම සිසුවා වූ මා කෙරෙහි සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියහ. ප්‍රශ්න පත්‍රය අතට ගත් මොහොතේ මුළු සිරුර පුරාවටම ඇදී ගිය විදුලියක් සමඟ මා අඩපණ වී ගියෙමි. කෙසේ පිළිතුරු ලිව්වාදැයි මා හට දැනුදු අවබෝධයක් නොමැත. දැන් කෙසේනම් ලොවට මුහුණ දෙන්නද…. ? මා පාසලට යා යුතු ද? එලෙස සිතමින් මනෝ ලොව තුළ සැරිසැරූ මා පියවි සිහිය ලැබුවේ අරවින්ද මා අතින් අදිනවාත් සමඟ ය.
“ කොහෙද යකෝ පාර මැදට යන්නේ….? අදම වාහනේකට යටවෙලා මැරෙන්නද හදන්නේ….? යමන් ඉස්කෝලේ ඇතුළට… අන්න අපේ කට්ටිය නෝටිස් බෝර්ඩ් එක ළඟ…”
ආපසු හැරෙන්නට වෙලාවක් නැත. මා බිමට හරවාගත් හිසින් යුතුව අරවින්ද පසුපස ඇදුනෙමි. අප දෙදෙනා පන්තියේ අනිත් සගයන් වෙත ගියා පමණි. ඔවුන් අතර තිබු කසු කුසුව නැවතුණි. ඔවුන් දෙස බැලීමට මා හට දැඩි ආයාසයක් ගැනීමට සිදු වූයේ වරදක් කළ හසු වුවෙකු විලසිනි.
“ කෝ…. අයින් වෙයල්ලා ….. අපේ කොල්ලගේ රිසාල්ට් බලන්න…” අරවින්ද රැස්ව සිටියවුන් දෙපසට කරමින් නෝටිස් බෝර්ඩ් එක අසලට ගියේය. මා තවත් සිටියේ බිම බලාගත්වනමය. කවුරුන් හෝ මා කරට අතක් දා ඔහු අසලට ඇදගත්තේය. වෙන කවුරුවත් නොව ඒ අරවින්ද ය. මා දියාරු හිනාවක් මුහුණට ඈදා ගැනීමට තැත් කළෙමි.
“ වරුණ…. රිසාල්ට්…. බලන්න ඕනෙද…?” අරවින්ද ගොත ගසමින් ඇසූ විට එය සිදුවී ඇති බව මට සිතාගත හැකි විය. කැම්පස් සිහිනය බොඳ වී ඇත!
“ඕනේ නෑ….. අපි යන් …..” මා අනෙක් සඟයන් දෙස බලා සිනාසුණෙමි. මද දුරක් යන තෙක් අප දෙදෙනා නිහඬව ගමන් කළෙමු.
“ ගණන් ගන්න එපා බං අපි ඔක්කොම දන්නවනේ උබ කොච්චර ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙනද එග්සෑම් කළේ කියල…. ඒ අතින් උඹ ෆේල් නොවී එස් තුනකින් හරි ගොඩ දාගත්ත එකත් ලොකු දෙයක් බං….”
“ හ්ම්ම්ම්………” එය මට විසඳුමක් නොවීය. ඉදිරියට මා කුමක් කළ යුතුද? අප්පච්චී නැති වූ දා සිට අංශභාග රෝගියෙකු වූ අම්මා බලාගන්නට මා හට මහත් වූ දුෂ්කර ක්‍රියාවක නිරත වන්නට සිදු විය. පාසල් ගොස් පැමිණ පොඩි උන් හට විද්‍යාව,ගණිතය උගන්වා සොයාගත් රුපියල් සත වලින් මෙතෙක් ජීවිතය ගැටගසා ගත්තෙමු. මින් ඉදිරියට මා කුමක් කරන්නද? සුළු රැකියාවක්? නැත ! මා ඉලක්කය සපුරාගත යුතුය.
“ ආ….. වරුණ පුතේ…. අද ප්‍රතිපල ඇවිත්ලු නේද ….? සමුපකාරයෙන් එලියට එමින් සමන්ති නැන්දා ඇසුවාය.
“ ඔව් නැන්දේ .. මේ ගිහින් එනගමන්…. අපි යන්නම් ආ….” අරවින්ද මගේ කරට අත දමා ගමන ඉක්මන් කළේ එතැනින් ගැලවීමට මගේ තිබූ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙනි.
“ඔය ගෑනිට කිව්වනම් ගමම ගිනි තියල… ගෙදර යන්න කලින්… මන් දන්නැද්ද ඔය ගෑනිගේ කට”
අප්පච්චී නැති වූ පසු ජීවිතය ගොඩ ගැනීමට මාර්ගයක් සොයන මා හට දිනක් සමන්ති නැන්දා පැමිණ යෝජනා කළේ ඇගේ සැමියාගේ කොන්ත්‍රාත් වැඩපලෙහි සිමෙන්ති අනන්න එන ලෙස ය. නමුදු ඉගෙන ගැනීමට තිබූ සිහිනය එම රැකියාවට පයින් ගැසී ය .
“පුතේ…..”
අම්මාගේ කටහඩින් මා නැවත පියවි සිහිය ලැබුවෙමි. කාමරය තවමත් අඳුරේ ගිලී ඇත. අම්මාගේ සිහින් කෙඳිරිලි හඩක් ඇසේ. මා දඩි බිඩි ගා බිමට පැන්නේ මා ආවේගයෙන් අතට හසු වූ බෝතලයෙන් දමා ගසා බිඳ දැමූ ජනේලයේ වීදුරු කටු ගොඩ මතට ය….
“අම්මේ….”
“මයේ ළඟින් වාඩිවෙන්න පුතේ…..”
මම අම්මා අසලින් වාඩි වී ඇයගේ හිස පිරිමදින්නට වීමි. ඇය එයට කැමති බැව් මා දනිමි. කුඩා කල මා නිදිකරවන විට නැලවිලි ගී කියමින් ඇය මා හිස පිරිමැදී අයුරු මතක් වී මා දෑස තෙත් විය. මා සිත ඊයම් බරු දහසක් එල්ලා ඇති ලෙසකින් බර වී ඇත.
“ පුතේ… මයෙ පුතා දුක් වෙන්න එපා මයෙ පුතේ… උඹට වරදින්නේ නෑ…. උඹ මෙච්චර දුක් කන්දරාවක් හිතේ තදකරගෙන…. ගත්තු ප්‍රතිපලේ මට මහමෙරක් තරම් පුතේ…. උඹ හෙට උදේම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න මං කියන්නේ…. ඒ උත්තමයානේ අපට මේ විදිහට ජීවත් වෙන්න උදව් කළේ …..” කියමින් ඇය මා දෙස බැලුවා ය.
“ කසුන් සර්…!” කෙසේනම් මා හට අමතක වුනිද? නැත! කෙසේ අමතක වන්නද?මේ තරම් දුරට අධ්‍යාපනය ලැබීමට තරම් මා ජීවිතය ආලෝකවත් කල ඉෂ්ඨ දේවතාවන් වූ ඔහු අසනීප වූ මවත් මාත් මෙලොව කිසිඳු හව් හරණයක් නොමැතිව අසරණ වූ දා ඔහු පෙන්වූ මග නොවන්නට කුසගින්නේම මිය යනවා හැරෙන්නට වෙන විකල්පයක් මා කුඩා සිත ට නොනැගුනි.
“ කොල්ලෝ…. උඹ ඔළුවෙන් වැඩක් ගණින්…. මම ළමයි ටිකක් හොයලා දෙන්නම් ටියුෂන් දෙන්න…”
එදා ඔහු කී ඒ වදන් මා සවනත රැව් පිළිරැව් දුනි.
පිටත අකුණු ගසමින් වහින්නට විය. වෙලාව මැදියම් රැයට මිනිත්තු කිහිපයක් විය. පිටත මෙන්ම ම සිත ඇතුළාන්තයෙන් ද කුණාටුවක් හමමින් තිබුණි.අනාගතය කුමක් ද? ! පාන්දර 5 ට පමණ වර්ෂාව නිමා විය. මා ඇඳෙන් බිමට දෙපා තබා නැගිට්ටෙමි. පෙරදා වීදුරු කටු වලට කැපුණු දෙපතුල් රිදුම් දෙන්නට විය. “ මේ හැමදේම උඹේ වැරදි…”මා මටම කියාගන්නා ගමන් කුස්සිය දෙසට පිය නැගුවෙමි. අම්මාගේ මුහුණ සෝදවා තේ එකක් සාදා දිය යුතුය.
උණු වතුර බේසමක් රැගෙන මා අම්මගේ කාමරයට ගියෙමි. වෙනදාට නම් මේ වනවිට අම්මා අවදි වී සිටින්නීය. හ්ම්ම්….ඊයේ අම්මාත් නිදාගන්නතුව ඇති. මොනවා උනත් අම්මත් හිතන් හිටියේ මං එක පාරින් කැම්පස් යයි කියල.
“ මං දන්නවා මයේ පුතා දොස්තර මහත්තයෙක් වෙනවා…”
මං පන්තියේ පළවෙනියා වූ සෑම වරකම ඇය පැවසුයේ එලෙසය. එවිට අසලින් සිටින අප්පච්චී වචනයක්වත් නොකීව ද මා ළඟට විත් ඔළුවට අත තියා මදෙස හෙලන බැල්ම තුළ ඒ සියලු දෙය කියා පෑවේය…. ඒ මා සතු අතීතයයි. සොඳුරු අතීතයයි. මා සතුව වටිනා ඉරක් හඳක් තිබුණ ද මා ලොවට පෑයූ ඉර අකාලයේ නිවී ගොස් මා ලොව අඳුරු කළේය. දෛවයේ සරදම් මෙතරම් දරුණු ද? සුපුන් සඳක් වන් වූ අම්මා ද අඩපණ කොට දැමුවේ කිමද?
“ අම්මේ….. කෝ.. නැගිටිමු බලන්න…. අපි මුණ ටිකක් හොදගමු…” මා ඇයගේ ඔළුව පිරිමැද ඇඟට අත තැබුවෙමි. ඇයි අම්මා මේ තරම් සීතල….? මා සිත තුළ අකුණු ගසන්නට විය. දෑස් ඉදිරිපිට කණ කොක් රෑනක් පියඹා ගියහ…..
“අනේ… මගේ අම්මේ…….”
කෙතරම් කෑගසුවද යන්න මා හට නිච්චියක් නොවීය. මා සිහි ලබන විට ගෙය තුළ කිහිප දෙනෙකු සිටින බැව් පෙනෙන්නට විය.
“කෝ… මගේ අම්මා…”
“කලබල වෙන්න එපා පුතේ… අපි පුතාට ඉන්නවා….” සරත් මාමා කීවද කවුරුන් හෝ කුස්සියේ සිට කියූ දෙයක් මා සිත දෙබෑ කරගෙන ගිලා බැස්සේය….
“ උගේ පව්කාරකම තමා…. කොල්ලට විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙච්ච දුකට වෙන්නැති රමණි අක්කට ඔහොම වෙන්න ඇත්තේ…”
පව්කාරකම…..? ඔව් පව්කාරකම… මගේ පව්කාරකමට තමයි මේ හැමදේම මටම උනේ නැත්නම් මේ හැමෝටම වෙන්න තිබුණානේ දෙයියනේ දැන් කව්ද මගේ කියලා ඉන්නේ…..? අම්මේ කියල මං කාටද කතා කරන්නේ….? මං ලඟට වෙලා ඔළුව අත ගාන්නේ කාගේද? මම ඇත්තටම අනාථයෙක් උනාද? මා ලොව හිරු සඳු මිලිනව ගොස් ඇත.
ඇදිවත පිටින්ම මා ගෙයින් එලියට බැස්සේ කිසිඳු අරමුණක් ඇතිව නොවුනද පෙරදා රැයේ අම්මා මට කියූ දෑ මසිතට කොහේදෝ සිට පැමිණියේය.
“ උඹ හෙට උදෙන්ම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න… මං කියන්නේ….”
“ සර්….”
මා කසුන් සර් ගේ ගෙදර දොරට තට්ටු කළෙමි. මිනිත්තු කිහිපයකින් දොරෙහි යතුරු කරකැවෙන හඬ ඇසුනේය.
“කවුද….?”
අසමින් දොර වීවෘත කළේ කසුන් සර් ය. ඔහු ඉදිරිපිට මා මෙතෙක් සිත තුළ රඳවා තබා තිබූ දුක්ඛ දෝමනස්සයන් හි පීඩාවන් සියල්ලෙහි ඉවුරු බිඳී ගියේය.
“වරුණ….? අයි පුතේ මේ….?”
“ අනේ සර්…… මගේ අම්මා………………..”
තවත් කෙලින් සිටගත නොහැකි තරමට ම හෙම්බත්ව සිටි මා .. ඔහුගේ දෙපා මුල වැටී සිත තුළ තෙරපාගෙන සිටි සියලු දේ පවසා,දෙනෙතෙහි කඳුළු හිස්ව යනතෙක් හැඬුවේමි. ඔහු කිසිවක් කීවේ නැත. මා දෙවුරෙන් අල්ලා නැගිට්ටුවාගෙන ගෙතුළට ගෙනවිත් පුටුවක ඉඳගන්නට සැලැස්සුවේය. ඔහු නිශ්ශබ්ද ය. මා හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.
“ කියන්න පුතේ.. මොකද උනේ…?” ඔහු කරුණාව දොරේ ගලායන නිවුණු ස්වරයෙන් මා ඇමතුවේය.
මා පෙරදා සිදු වූ සියල්ල කීවෙමි. ඒ ලෙවල් එස් තුන… මගේ සිහින මාළිගාව.. අම්මාගේ සමුගැනීම….. මේ සියල්ල මා කෙසේ දරාගන්නද? සියල්ල කියා අවසන් වූ පසු මා නිහඬ වීමි. මඳ වෙලාවක් ගතවන්නට ඇත. එය කල්ප කාලාන්තරයක් සේ මා හට හැඟෙමින් තිබුණි. මගේ හිස මත දයාබරිතව අත තැබූ ඔහු ආදරණීය ලෙස මා දෙස බැලුවේය.
“ පුතේ…. අද ඉඳන් මං උඹේ අප්පච්චී….”
                                                                                                              නිමි..                                                                                                                                                                                                                                                                                                       
රුවන්දිකා පෙරේරා
කොට්ටාව

Monday, 17 October 2016

පුනරාගමනය--රුක්ෂිලා වෙත්තමුණි

දින ගණනාවකින් ඉදලක පහස නොලැබූ මිදුල අඹ කොළ, බෙලි කොළ වලින් වසාගෙනය. සුදු වැලි තලාවේ කොහේ හෝ තැනක තාත්තාගේ අඩි සලකුණක් තිබේදැයි දකින්නට පාලිත උත්සාහ කළ මුත් ගෙයි පිළිකන්නේ හිඳ ගත්තේ එය අසාර්ථක වෑයමක් බව දැනුණි හෙයිනි. ඈලි මෑලි ගතියෙන් යුතුව මිදුල අමදින සඳමාලි විටින් විට හීල්ලුවාය. බිසෝමැණිකා සුසුම් ලෑවේ දරුවන් පස් දෙනෙකුගේ බර තනිවම දරාගන්නේ කෙසේ දැයි සිතමිනි. තාත්තාගේ මරණයෙන් දෙසතියක් ගත වී තිබුණත් දරුවන් සිටියේ බලාගත් අතම බලාගෙනය.
දරුවන්ගේ තාත්තා ජීවත්ව සිටිද්දීත්, බිසෝමැණිකා සුළු මුදලක් සොයා ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දීමෙනි. එහෙත් දැන් ඒ මුදල පවුලේ නඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත.
“ ලොකු පුතේ, හන්දියේ කඩ දෙක තුනකින් අහගෙන වරෙන්කෝ ඉදිආප්ප ඕනෙද කියලා.නැත්නම් අපිට ඔළුව උස්සන්න වෙන්නෙ නැහැ. දවසින් දවස බඩුවල ගණන් නගින්නේ හරියට මූදේ රළ ගහනවා වගේනෙ”
පාලිත ඉගෙනීමට දක්ෂ වූවත් වැඩිදුර අධ්‍යාපනයට මුල නොපිරුවේ ගෙදර අඟහිඟකමින් වෙළාගත් හෙයිනි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහු කුමන හෝ රැකියාවක් කිරීමට නිතර උත්සාහ කළේය. පාලිත පත්තර බැලීමට දිනපතාම හේරත් මුදලාලිගේ කඩයට ගියේ පොත්පත් කියවීමට බොහෝ සේ ඇලුම් කළ බැවිණි. පත්තරේ පළ වන රැකියා පිළිබඳ දැන්වීම් තීරය දිනපතා ඔහුගේ අවධානයට ලක් වූයේ තාත්තාගේ අකල් මරණයත් සමඟ රැකියාවක අවශ්‍යතාවය තදින්ම දැනුණ නිසාය.
පත්තරේ දැන්වීම් තීරයේ ගිලී සිටි පාලිතට ඉමහත් සතුටක් දැනුණේ ඇඟලුම් කම්හලක ලිපිකාර තනතුරක් සඳහා වූ දැන්වීම දැකීමෙනි. හේරත් මුදලාලිගෙන් පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ඔහු කඩයේදීම අයදුම් පතක් සකස් කොට හන්දියට ගොස් එය තැපැල් කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ රැකියා සඳහා අයදුම් කළද ඒ කිසිවකගෙන් ආරංචියක්වත් නොවූවත් ඔහු මේ සඳහා උනන්දුවෙන් අයදුම් කළේ ඉල්ලා තිබුණාටත් වඩා සුදුසුකම් ඔහුට තිබුණු බැවිණි.
පාලිත කඩ කිහිපයකින්ම අම්මා කී පණිවිඩය පිළිබඳව විපරම් කළත් ඉන් ඵලක් නොවූයේ ඒ වන විටත් හන්දියේ කඩ සියල්ලම වෙනත් සැපයුම් කරුවන් විසින් ගිල ගෙන තිබූ නිසා ය.
රැකියාවක් ලැබෙන තෙක් කුලියක් මලියක් කිරීමට පාලිත උත්සාහ කළත්,ගමේ එවැනි වාතාවරණයකට අවස්ථාවන් දුලබ වූයේ ඉතා සරල ජීවන රටාවකට හුරු වූ ගම් වැසියෝ ස්වයං පෝෂිත ආර්ථික රටාවකින් දිවි ගෙවූ බැවිණි. එකිනෙකාගේ සහායෙන් තිබෙන වැඩක් පලක් සාමූහිකව කිරීම ඔවුන්ගේ පුරුද්දය.
පාලිතගේ ලොකු නංගී සඳමාලි, තාත්තාගේ මරණයෙන් මාසයක් ඉක්ම යන්නට පෙර වැඩිවියට පත් වූයේ වයස දොළහ සම්පූර්ණ වීමත් සමඟය.ලොකු අයියා මෙන් ඇයද ඉගෙනීමට ඉතා දක්ෂය. වාරාවසාන විභාගයෙන් සඳමාලි පන්තියේ පළවෙනියා වූයේ සියලුම විෂයයන් වලට වැඩිම ලකුණු ලබා ගනිමිනි.
තාත්තා ජීවත්ව සිටිද්දි මසා දුන් සුදු ගවුම දිනෙන් දින වැඩෙන ඇගේ සිරුරට හිර වැඩිය. ඒත් ඈ කිසි දිනක ඒ පිළිබඳව මැසිවිලි නොකීවාය. සැතපුම් හතරක දුරක් ගෙවා පාසලට ඇවිද යෑමෙන් සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ද පොත්තටම ගෙවී ගොස් ය. සියලුම විෂයයන් වලට වෙන් වෙන්ව අභ්‍යාස පොත් නොතිබුණ බැවින් කිහිප වර ගුරුවරුන්ගේ වේවැල් පහර කෑමට ඇයට සිදුවූයේ එකම පොත විෂයයන් කිහිපයකටම වෙන් කොට ගෙන තිබූ හෙයිනි.
පාලිතට, ගුණදාස අමරසේකරගේ “ අපටත් දවසක ඉර පායාදෝ ” කියන කෙටි කතාවේ එන සිරියාවතීව සිහිපත් වූයේ තමන්ගේ නංගීද දිනක් අම්මාගෙන් චිත්‍ර තරඟයට යාමට පාට කූරු පෙට්ටියක් ඉල්ලු දිනයේ දීය. ඇය කිසි දිනක අම්මාගෙන් කිසිවක් නොඉල්ලූවත් පාට පෙට්ටියක් ඉල්ලුවේ චිත්‍ර වලට ඇයට තිබූ උපන් හපන්කම නිසාමය. පාසලේ කණිෂ්ඨ අංශයෙන් පළවෙනියා වී පළාත් තරඟයට සඳමාලි තේරී තිබීම පාසලේ ගෞරවයටද හේතු විය.
රස්සාවක් ලැබුණු දවසක මුල්ම පඩියෙන් ඇයට සුදු ගවුම් දෙකක් මසා දීමට පාලිත සිතා ගත්තත් එය සඳමාලි සමඟ නොකීවේ රස්සාවක සේයාවක් තවම දක්නට නොතිබූ බැවිනි. පවුලක තාත්තා මිය ගිය විට එහි ලොකුම බර දැනෙන්නේ වැඩිමහල් සහෝදරයාට හෝ සහෝදරියට නොවේ දැයි පාලිතට නිතරම මතක් වූයේ පවුලේ අඟහිඟකම් දිනෙන් දින වැඩි වන විටය.
දරුවන් පස් දෙනෙකු ජීවත් කරවන්න අම්මා විඳින දුක් කන්දරාව දකින පාලිතට නිතරම දැනුණේ මහත් වේදනාවකි. බිසෝමැණිකා තම්බන ඉදි ආප්ප වලින් කොටසකින් දරුවන්ගේ කුසගින්න නිවන්නට ද සිදු වූ නිසා සිතූ තරම් ලාභයක් උපයා ගන්නට නොහැකි විය. ඇයගේ ගත දිනෙන් දින වැහැරී යන්නට පටන් ගත්තේ දරාගන්නට සිදු වූ දුක් කන්දරාව හේතුවෙන් වයසට වඩා දෙතුන් ගුණයක තලතුනා පෙනුමක් එක් කරමිනි.
ඕපාදූප සෙවීමට මහත් සේ රුචිකළ හේරත් මුදලාලි, කඩයට අල්ලපු ඉඩමේ ගේ කෑල්ලේ දින කිහිපයකට පෙර අලුතින් පදිංචියට පැමිණි අඹු සැමි යුවල පිළිබඳ විමසිල්ලෙන් පසුවූයේ වඩාත් සැලකිල්ලෙනි. සතියක් හමාරක් ගත වෙද්දී දේවාල කුටියක් අටවා ගෙන මළවුන් ගෙන්වා ඔවුන් සාස්තර කියන්නට පටන් ගත්තේ ගම්මුන් පුදුම කරමින් ය. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ට පුද සත්තාර කරමින් කල් ගෙවූ ගැමි කාන්තාවන් කිහිප දෙනෙකු සාස්තර අසා “ කිරි ගහට ඇන්නා වගේ ” යැයි කළ කී දැයින් කාගෙත් සිත් කුතුහලයෙන් යුතු විය.
දිනෙන් දින වැඩිවන සාස්තර අසන්නට එන්නවුන් නිසා හේරත් මුදලාලිගේ කඩයට ද වාසි වැඩි විය. මේ හේතුවෙන් වෙනදාට වැඩියෙන් ඉදිආප්ප දෙතුන් සීයයක් තැම්බීමට සිදුවීමෙන් බිසෝමැණිකාගේ ද අතමිට සරුවිය. දින කිහිපයකින් පසු ඇයට ඉදිආප්ප වලට අමතරව ලැවරිය සහ පිට්ටු තැම්බීමට ද හේරත් මුදලාලිගෙන් ඇනවුමක් ලැබුණි. බිසෝමැණිකාගේ දෙවෙනි පුතා වූ උපුල් පාසලට යන විට මුදලාලිගේ කඩයට කඩයප්පම් දමා ආපසු දහවලේ ගනු දෙනු බේරාගෙන පැමිණීම ඇයට මහත් පහසුවක් විය.
අවසන් වරට අයදුම් කළ ඇඟලුම්කම්හලේ රැකියාවට තමා තේරී ඇති බව සඳහන් ලිපිය පාලිත කියවූයේ රැකියා කිහිපයකට අයදුම් කළත් කෙදිනකවත් පිළිතුරු ලිපියක් නොලැබුණු නිසා ඇති වූ විශ්මයෙනි.
“ පුතේ, අද හවසට පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට වැඳලා කාරණේ කියලා වරෙං. උන්නාන්සෙ බොහෝම සතුටු වෙයි. උඹව මහණ කරගන්න කැමැත්තෙන් හිටියේ. ඒත් මං හිතන් හිටියේ උඹට හොඳට උගන්නලා ලොකු මහත්තයෙක් කරන්න. තාත්තගෙ හදිසි මරණෙන් ඒ හීන ඔක්කෝම බොඳ වුණා මයෙ පුතේ. හ්ම්……ඒකට කාරි නැහැ. උඹේ වාසනාව. ඒකයි කොළඹ රටේ රස්සාවක් ලැබුණේ. ”
සන්ධ්‍යා භාගයේ ගම ඉස්මත්තේ වැව, ඉර මල ගිල ගන්නා විට මැවෙන අපූරු සිතුවම බලන්න පාලිත කවදත් ඉතා ආසා කළේ ය. අද ඒ සුන්දරත්වය දකින අන්තිම දවස බව දැනුණු විට ඔහුගේ දෙකොපුල් තෙමමින් දෙනෙතින් කඳුළු ගැලූයේ ඔහු නොදැනුවත්මය. ජීවිතේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබූ පාලිතට එහි දිවි ගෙවන්නට සිදුවීම භාග්‍යයක් ද අභාග්‍යයක් ද යන්න නිශ්චිතව සිතාගත නොහැකි විය.
අම්මාගේ දෙපා වැඳ හිමිදිරියේ ම පාලිත කොළඹ බලා පිටත් වූයේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා දුන් සපත්තු ජෝඩුවත් ඇඳුමත් ඇඳ පැළඳ ගෙනය. කඩුල්ලෙන් පැන නියර දිගේ ඈතට ඇදෙන ලොකු පුතුගේ රූපය නොපෙනී යන තෙක්ම බිසෝමැණිකා බලා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගනිමිනි.
දේවාලය දිනෙන් දින මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේ කපුවා නොයෙක් දෑ බලා සිටියා සේ කියන්න පටන්ගත් බැවිණි. බිසෝමැණිකාගේ සිවු හැවිරිදි බාල පුතු හැර ඉතිරි තිදෙනා දේවාලයේ අත් උදව්වට ගියේ පාසල් නිවාඩු කාලය වූ නිසා ය. ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ සාස්තර ඇසීමට පැමිණෙන මිනිසුන්ගේ කතා බස් අසාගෙන සිට සාස්තර කියන ගැහැනියට පැවසීමය.
පහළොස් හැවිරිදි වියෙහි පසු වූ උපුල් එම රාජකාරිය සඳහා ගජ හපනා විය. දේවාලේ ගැහැනිය දවසේ වැඩ අවසන් කොට කීයක් හෝ අතේ ගුලිකළේ ඔවුන් තිදෙනා සන්තෝෂ කිරීමටය. බිසෝමැණිකා දරුවන් දේවාලයට යනවාට අකමැති නොවූයේ දෙවියන්ට ලැබෙන පූජා වට්ටි වලින් උන්ගේ කුස පිරෙන නිසාය. ඉතුරු පහදු වෙච්ච පලතුරක්, කැවිල්ලක් අම්මාටත් මල්ලීටත් ගෙන එන්න සඳමාලි අමතක නොකළාය.
දේවාලයෙන් ලැබෙන මුදල දවසින් දවස ඉහළ යාමෙන් සඳමාලිගේ සුදු ගවුමක් මසා ගැනීමේ සිහිනය ද සැබෑවිය. ඇය එම මුදල් කුස්සියේ පරණ ටින් කබලක් අස්සේ සැඟවූවේ පොඩි අයියා හොරකම් කරතැයි යන බියෙනි. දේවාලයේ වැඩ රාජකාරි කිහිපයක් කළ නිසා උපුල්ට ලැබුණු මුදලේ ප්‍රමාණය වැඩි වූවත් ඔහු ඒවා නාස්ති කළේ ඉන් නිසි ප්‍රයෝජනයක් නොගෙනය.
ලොකු පුතා කොළඹ රැකියාවට ගොස් දෙසතියක් ගත වූවත් ලියුමක් නොඑවීම පිළිබඳ බිසෝමැණිකා සිටියේ කනස්සල්ලෙනි. දේවාලයට පින් සිද්ධ වෙන්න පොඩි එවුන්ගේ බඩ ගින්දර නිවීමෙන් ඇය සැනසුණා ය. ගෙදරට අවශ්‍ය හාල් තුන පහ ඇය මිල දී ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දී ලැබුණු මුදලෙනි.
“ අම්මේ…… අම්මේ මෙන්න ලොකු අයියාගෙන් ලියුමක් ”
ඒ බිසෝමැණිකාගේ නව හැවිරිදි දෙටු දියණිය වූ නිර්මලීගේ හඬය. ඇය ලොකු අයියාට බොහෝ සේ ආදරය කළා ය. පාලිත කොළඹ රටින් ලස්සන බෝනික්කියක් ඇයට ගෙනවිත් දෙන්නට දුන් පොරොන්දුව නිසා ඒ ආදරය තවත් වැඩි වන්නට විය.
තෙරුවන් සරණයි!
ආදරණීය අම්මේ,
මම හොඳින් ඉන්නවා. මට ඉන්න තැනක් ලැබුණා. ලියුමක් එවන්න පරක්කු වුණාට සමාවෙන්න. අලුත් රස්සාව නිසා වැඩ ඉගෙන ගන්න ටිකක් කල් ගියා. මං මේ මාසේ අන්තිමට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්නම්. මට කරදරයක් නැහැ. බය වෙන්න එපා. අම්මාත්, නංගිලාත්,මල්ලිලාත් සුවෙන් ඇතැයි හිතනවා. හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.
මීට
ආදරණීය ලොකු පුතා
ලිපිය කියවා අවසානයේ බිසෝමැණිකා දීර්ඝ හුස්මක් හෙළුවේ මහත් සැනසීමෙනි. ඇය සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු වලත් කඩයප්පං තැම්බීමේත් නිරතව සිටියාය.
දින සති ගෙවෙද්දී පාසල් නිවාඩු කාලය අහවර වූවත් උපුල් පාසල් යාමට මැලිවූයේ ඉගෙනීමට ඇති අකමැත්ත නිසා පමණක් නොව දේවාලයෙන් ලැබෙන කෑමට හා මුදලටත් ලොල් වූ නිසාය. වයසට වඩා මුහුකුරා යමින් කරදඬු උස් මහත් වූ හිතුවක්කාරයාව මෙල්ල කිරීමට බිසෝමැණිකා අපොහොසත් වූවාය.
දේවාලයෙන් ලැබෙන මුදලට ආස හිතුනත් ඉගෙනීම ඊට වඩා වටින නිසා සඳමාලි අලුතින් මැසූ සුදු ගවුමත් හැඳගෙන වෙනදාටත් වඩා උදයෙන්ම පාසල් ගියේ ඉමහත් සතුටිනි. බිසෝමැණිකාගෙන් ඇයට ලැබුණු අලුත් සෙරෙප්පු කුට්ටම මැටි පොළොව සිඹ ගත්තේ ඇය එය පළඳමින් සීරුවට හැඩ බලමින් ඇවිද්ද විටය. සඳමාලිගේ ඊළඟ අදිටන වුයේ දේවාලයේ හවස් භාගයේ වැඩ කොට පොත් පැන්සල් මිලදී ගැනීමට යම් මුදලක් එකතු කොට ගැනීම ය.
හදිසියේම දිනක ගමට පොලිස් ජීප් රියක් පැමිණීමෙන් ගම්මූ කලබලයට පත්වූයේ පොලිස් වාහනයක් ගමට පැමිණියේ ඉතා කලාතුරකින් නිසා ය. දේවාලය වැටලූ පොලිස් නිලධාරීන් සාස්තර ගැහැනියට හා කපුවාට මාංචු දමා රැගෙන ගියේ මීට හත් අට මාසයකට ඉහතදී සිදු වූ මිනී මැරුමක ප්‍රධාන සැකකරුවන් වීම හේතුවෙනි.
රැස්ව හුන් මිනිසුන් අතර සිටි බිසෝමැණිකාට දැනුණේ තමාට මාංචු දැම්මා සේය. දේවාලයේ දොර වැසීමත් සමඟ තම දරුවන්ගේ කුස ගින්දරේ දොර ඇරෙන බව ඇය සිතුවේ වේදනාවෙනි.
දේවාලය වැසීයාම නිසා හේරත් මුදලාලිගේ කඩයටද වෙනදා මෙන් සාරයක් නොවූයෙන් බිසෝමැණිකාගේ ඉදිආප්ප තැම්බීම ද අඩු විය. ලොකු පුතා කොළඹ ගොස් තුන් මාසයක් ගෙවී ඇතත් ඔහුගේ නොපැමිණීම ඇයට දරාගන්නට නොහැකිය. දිනෙන් දින ගෙදර අඟහිඟකම් දළු දාන්න පටන් ගත් විට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් තම්බා පොඩි උන්ගේ බඩගින්දර නිවන්නට ඇයට සිදු විය.
කුස්සිය මුල්ලේ මැටි මුට්ටියක හාල් හුණ්ඩුවක් ඇය සඟවා තැබූයේ ලොකු පුතා පැමිණි දිනක උයා දීමේ චේතනාවෙනි. තුන් වේලටම බත් ඇටයක් නැති දාට ඇය හාල්ටික මුට්ටියෙන් ගෙන අතගා නැවත මුට්ටියටම දැමූයේ සුසුමක් හෙළමින් ය. හාල් හුණ්ඩුවක් දරුවන් හතර දෙනෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවූමුත් ඇය එසේ කළේ ලොකු පුතුට ඇති සෙනෙහස නිසා මය.
“ මද්දු පුතේ, හිච්චි මාමලාගෙ කොස් ගහෙන් හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩන් වරෙන්කො. අද දවල්ට පොඩි එවුන්ට කොස් ටිකක්වත් තම්බලා දෙන්න. ඊයේ කෑවෙත් දෙල්නෙ මයෙ පුතේ ”
යොවුන් වියට එළැඹිමින් සිටි උපුල් අනුන්ට අතපාන්නට සිදුවීම පිළිබඳව සිටියේ බඩගින්නට යට වුණු ලැජ්ජාවකිනි.
“ අනේ අම්මේ, හැමදාම ඔහොම අනුන්ගෙ ගස්වලින් ගෙඩි කඩාගෙන එන්න පුළුවන්ද? මොකක්ද මේකේ තේරුම. කෝ…අම්මගේ මහලොකු පුතා සල්ලි එවුවද? සල්ලි එවන්න තියා මිනිහා ගෙදරවත් ආවේ නැහැ. දැන් මාස පහක් ගියා. මාත් මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. එතකල් සිරාගේ කසිප්පු වාඩියේ වැඩට යනවා. හැමදාම කොස් දෙල් කකා ඉන්නද……? ”
* * *
ගෝල්ෆේස් පිටියේ මුහුද මළහිරු ගිල ගනිද්දී නිම්මි, පාලිතගේ උරහිසේ හිස තබා ගත්තේ ඔහුගේ ඇඟිලි තුඩු තදින් මිරිකමිනි.
“ අනේ පාලිත, හැමදාම මෙහෙම මුහුද දිහා බලන් ඉඳලා , කඩල ගොට්ටක් එක්ක බැදපු ඉස්සෝ කාලා රෑ වුණාම ආයෙත් යනවා. අපි දවසක ගල්කිස්සේ බීච් එකේ තියෙන හට් එකකටවත් යමුකො. ටිකක් නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. මෙතන හතර වටේම මිනිස්සු බලාගෙන ඉන්නවා. මට ඔයාගෙ ආදරය තාම හරියට දැනිලවත් නැහැනේ ”
පාලිත ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ නිම්මි විසින් කියල ලද ගල්කිස්ස මුහුදු වෙරළේ ඇති ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති කමිනි. ඒ ගැන විමසා දැන ගන්නට ඔහු කළ උත්සාහය ඇයගේ හාස්‍යයට ලක්විය.
“ අයියෝ ළමයෝ, ඔයා නම් මහ ගොඩයෙක්. ඒ වගේ දෙයක්වත් දන්නෙ නැද්ද? දැන් කොළඹට ඇවිත් මාස කීයක් ගියාද? ඔයා කමල්ගෙන්වත් අහලා දැන ගන්නකෝ ”
පාලිත, නිම්මිව ළඟින් ඇසුරු කරන්න පටන්ගෙන සිවුමසක් ඉක්මවූවා පමණි. හැම මසකම අවසානයේ ගමේ යන්නට සිතා සිටියත් ඇගේ නොයෙක් ඉල්ලීම් ඉටු කිරීමට සිදුවීමෙන් ඔහුගේ අතේ ගමේ යාමට තරම් මුදලක් ඉතිරි වූයේ නැත.
නිම්මි සේවය කළේ පාලිත වැඩ කළ ඇඟලුම් කම්හලේ මය. ඇය සිනාසෙන විට මුහුණේ දකුණු පස කම්මුල වළ ගැසෙයි. පාලිත ගමේ ඉස්කෝලයට යන විට ඔහුගේ පන්තියේ සිටි කුසුම්ගේ දකුණු කම්මුලද සිනාසෙන විට වළ ගැසුණ බව ඔහුට මතක් විය. කුසුම්ගේ අව්‍යාජ බවටත් අහිංසක කමටත් වඩා ඔහු ලොල් වූයේ ඇගේ කම්මුලේ වළ ගැසීමටය. ඇය පිළිබඳ ආදර හැඟීමක් ඇති වූවත් දිනෙන් දින ඒ ගැන කුසුම්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාලිත කල් දැම්මේ මිත්‍රකම අහිමි වේ යැයි ඇති වූ බියටය. ඒ අතර කාලයේ පන්තියේ සිටි වෙන අයෙක් කුසුම්ට ළං වීමෙන් ඇය පිළිබඳ උපන් සිතුවිලි ඔහු යටපත් කරගත්තේ හිත් වේදනාවෙනි.
අතීත සුන්දර මතකයන් මෙනෙහි කරමින් සිටින විට නොදැනුවත්වම නිම්මි පාලිතට ළං විය. ඇය පාලිතට ඉක්මනින්ම ආකර්ෂණය වූයේ මනා පෞරුෂයකින් හෙබි කඩවසම් පෙනුමකින් ඔහු පොහොසත් වීම නිසාය.
නිම්මි, පාලිත සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සිටම විටින් විට ඔහුගෙන් නොයෙක් හේතු කියා ණයට මුදල් ඉල්ලා ගත්ත ද ඒවා නැවත නොදුන් බොල් ණය විය.
සති අන්තයේ නිවාඩු දිනවල හා පෝය දිනවල පාලිත කල් ගෙවූයේ නිම්මිගේ ඇසුර ලබමින් ය. ඔවුන් කොළඹින් පිටත්වන පාන්දර කෝච්චියේ නැගී නොයෙක් පැති වලට ගොස් කාලය ගෙවා දමන්නට පුරුදු වූයේ අතේ ඇති මුදල රෙස්ටුරන්ට් වලට පූජා කරමින්ය. සතියේ දිනවල රෑ නිදිවරමින් ලබා ගන්නා අතිකාල දීමනාව මෙසේ නිම්මිගේ සුඛ විහරණයට ඔහු වියදම් කළේ කිසිම ලෝබ කමක් නොමැතිවය.
නිම්මි නොයෙක් පිරිමි රවටා මුදල් ගන්නා බවත් ඔවුන් සමඟ විවිධ සම්බන්ධකම් පවත්වන බවත් කමල් කිහිප විටෙක පැවසුව ද පාලිත සිටියේ ඇයගේ ආලිංගනයෙන් මත් වීය. ඇය වෙනුවෙන් හිතු හිතු ලෙස වියදම් කළේ ගැහැනියකගේ ඇසුර මින් පෙර කෙදිනකවත් නොලැබ සිටි නිසා ය. ඔහුට නිම්මිගේ පහසින් මිදෙන්නට නොහැකි වූයේ රාගයෙන් මත් වී සිටි බැවිණි. අම්මා ගැන විටින් විට මතක් වූවත් නිම්මිව එක් මොහොතක් හෝ අත්හැර යන්නට නොහැකි තරම් මානසිකත්වයකින් ඔහු පෙළුණු බැවින් ගමේ යාම දිනෙන් දින කල් යන්ට විය. පාලිත ඔහුගේ ජීවිතයේ අංගයක් ලෙස සලකා නිම්මිට ආදරය කළ ද ඇය එසේ නොවූයේ ඔහු ඇයට තව එක් පිරිමියෙකු පමණක් වූ බැවිනි.
පාලිතගේ අහිසංකකමත් අවංකබවත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා නිම්මි පිළිබඳ ඔහුගේ බෝඩිම් සගයා වූ කමල්ට තිබුණේ වේදනාවකි. කෙසේ හෝ මේ මර උගුලෙන් තම මිතුරා ගලවා ගන්නට ඔහු නිතර උත්සාහ කළේ පාලිත කෙරෙහි ඇති ළැදියාවෙනි.
“ මචං පාලිත, මං උඹට හිතවත් නිසා කියන්නෙ. ඔය ගෑනිව විශ්වාස කරන්න එපා බං. බලපන් දැන් මාස කීයක්ද?. උඹ අම්මව බලන්න ගමේ ගියාද? අඩුම තරමින් අම්මට සල්ලි කීයක්වත් යැව්වද? උඹෙ මුළු පඩියම ඒකිට පුදනවා. උඹට මාව විශ්වාස නැහැනේ. දවසක මං පෙන්වන්නංකො උඹේ ඔය උර චක්කරමාලේ වැඩ කොහොමද කියලා. ”
කමල්ගේ චවන පාලිතට දැනුණේ තියුණු පිහි පහරවල් ලෙසය. පුරා සත් මසක් දුක් මහන්සියෙන් ඉපයූ දෑ ගෑනියක් නිසා දිය වී ගොස් ඇති බව ඔහු තේරුම් ගත්තේ නිම්මි ගල්කිස්ස මුහුදු වෙරළේ වෙනත් පිරිමියෙක් සමඟ වෙළී පැටලී සිටි අයුරු දුටු දවසේ ය.
* * *
මාස ගණනක් තිස්සේ වැස්සක සේයාවක් නොලැබූ ඈත වෙල්යායට ඉහළින් සුදු වළා රොදක් පාවී යන අයුරු බිසෝමැණිකා බලා සිටියේ සාංකාවෙනි. කසිප්පු වාඩියේ වැඩට ගොස් දෙමාසයකින් උපුල්, මහ උළු ගෙදර බත් කෑමට ගියේ චවන හුවමරුවකින් ඇති වූ පිහි ඇනුමෙන් කසිප්පු මුදලාලි සදාතනික නින්දට යැවීමෙනි.
කුස්සිය මුල්ලේ සඟවා තිබූ හාල් හුණ්ඩුව‍ මේ අවස්ථාව වන විට බිසෝමැණිකා විසිතිස් වතාවක් අතගා නැවත මුට්ටියටම දමා තිබුණි. සත් මසක් ගත වූවත් විටින් විට ගෙදරට හාල් සේරුවක් දෙකක් ගෙනාවද ඇය ලොකු පුතා වෙනුවෙන් වෙන් කළ හාල් හුණ්ඩුව ආහාරයට නොගත්තාය. දවස් දෙකකින් බත් ඇටයක් නොකෑ අනිත් ළමයි තිදෙනාගේ කුසගිනි නිවනු වස් ඇය සැඟවු හාල් හුණ්ඩුව පිටතට ගෙන සුසුම්ළමින්ම ලිප තබා මදි පාඩුවට කොස් ගෙඩියක් ද තැම්බී ය.
වත්ත පහළ කලපු දියේ සරුවට වැවී තිබුණු කැරන් කොකු දළු ටිකක් කඩාගෙනවිත් ගෙදර තිබුණු අන්තිම පහේ සියල්ල දමා කැරන් කොකු මාලුව ඇය රසට ඉවුවේ ලොකු පුතුව සිහිකර ගෙනය.
“ ලොකු පුතා හරිම ආසයි කැරන්කොකු මාලුවට ”
කුස්සියේ පොල් ගාමින් සිටි සඳමාලිට ඇය එසේ කීවේ දෙනෙතින් කඳුළු වගුරවමිනි.
“ මොනවා කරන්නද අම්මේ, අයියා ගැන අපි කොහෙන් හොයන්නද? ”
පොල් සම්බෝලය සාදා අහවරව බත් බෙදන්නට සූදානම් වූ බිසෝමැණිකා පොඩි දියණියගේ කෑ ගැසීමෙන් තිගැස්සිණි.
“ අම්මේ…… අම්මේ….. ලොකු අයියා……….”
බිසෝමැණිකාගේ හදවත නතර වූවා සේ දැනිණි. ඇය ගෙයි ඉදිරිපසට දිව ආයේ දෑසට නැගුණු කඳුළු දෙකොපුලේ රූ රා වැටෙද්දීමය.
“ ලොකු පුතේ, ඇයි මයෙ රත්තරං පුතේ උඹට මොකද වෙලා තිබ්බේ. මං කී දවසක් නම් මේ ගින්දර උහුලන් හිටියද? ඇයි උඹට අම්මව අමතක වුණාද? උඹ ඉන්න ඉසව්වක් දන්නව නම් මං මෙලහකට උඹව හොයා ගෙන ඇවිත්. උඹ ඇදිලා ගිහින් මයෙ පුතේ. වැඩරාජකාරි නිසා වෙන්න ඇති මයෙ හිතේ. අනේ වරෙං. උඹ බඩ ගින්නෙ ඇත්තෙ. උඹ ආස කෑම අද උයලා තියෙන්නෙ.මට හීනෙන් වගෙ හිතුණා උඹ අද එයි කියලා….. ”
පුරා සත් මසක් මුලුල්ලේ සඟවා තැබූ හාල් හුණ්ඩුවේ උරුමක්කාරයා වූයේ පාලිතමය. අනෙක් දරුවන්ට ලොකු අයියා වෙනුවෙන් තම බත්පත පිදීමට සිදු වූවත් කිසිවෙකුත් මැසිවිලි නොනැගුවේ ඔහුට ඇති සෙනෙහසිනි. සිහියක් පතක් නැතිව බත්පත ගිල දමන ලොකු පුතු දෙස බිසෝමැණිකා බලා සිටියේ සතුටත් වේදනාවත් මුසු බැල්මෙනි.
“ අනේ අම්මේ, පුදුම රසක් තියෙන්නෙ. මට තව බත් ටිකක් දෙනවද….? ”
ලොකු පුතුගේ අනපේක්ෂිත ඉල්ලීමෙන් අසරණ වූ බිසෝමැණිකා කිසිවක් කියාගත නොහැකිව සිටිද්දී පාලිත බත් පත ඇයට දිගු කොට බලා සිටියේය.
“ අයියේ, වෙන බත් නැහැ ගෙදර. අපිත් දවස් දෙකකින් බත් කාලා නැහැ. ”
තම පුංචි නැගණියගේ චවන පාලිතගේ දෙසවන් බිහිරි කරන්නට තරම් දෝංකාර දුණි. ඇඳි වත පමණක් රැගෙන ගෙදර ඒමට සිදුවීම ගැන පාලිත මහත්සේ කම්පාවට පත්වූවේ නැගණියට ලස්සන බෝනික්කියෙකු ගෙන ඒමට දුන් පොරොන්දුව ද මෙනෙහි කරමිනි.
රුක්ෂිලා වෙත්තමුණි
වේයන්ගොඩ

Friday, 14 October 2016

මොණරු--රුක්ෂිලා වෙත්තමුණි

“පත්තර කීයක කියල මංගල දැන්වීම් දැම්මද? අප්පේ…, කොහොම හරි අන්තිමට හොඳ කෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මට නම් හරිම සතුටුයි”
“ඒක නම් සහතික ඇත්ත අමාලිලැ අප්පච්චි. මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිම තිබ්බ වගෙ දැනෙන්නෙ. පුදුම සහනයක්. මං බයේ හිටියෙ මේ ළමයට හතළිහ පැන්නොත් කොහොම මඟුලක් කරල දෙන්නද කියල. මොකද දැන් කාලෙ මිනිස්සු හොයන්නෙ විස්සෙ තිහෙ කෙල්ලන්වනෙ. යාන්තම් හතලිහ පෙනි පෙනීවත් බන්ඳලා දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. පියල්ට කියලත් ඉතිං වයසක්යැ. අවුරුදු 49 යි නේ. හොඳට සල්ලි භාගෙ තියෙන එකේ කාල බීල සැපවත් ජීවිතයක් ගත කරන්න අපේ ලොකු දුවට බැරියැ”
අමාලිගේ දෙමව්පියන් පියල්ට මහත් සේ ආදරය කළේ, ඔහු ඉතා නිර්ලෝබිව වියදම් කරන මුදල් නිසාය. විශ්‍රාමික රජයේ සේවයකු වූ අමාලිගේ අප්පච්චීට තම වැඩිමහල් දියණියගේ මංගල්‍යය ඉතා සරුවීම මහත් සැනසිල්ලට හේතුවක් වූයේ ද පියල්ගේ මුදල්මය.
කුඩා කල ගංගා, ඇල දොළ පනිමින් ලියදි දිගේ දිව ගිය අමාලි, දෙමහල් නිවසක අතට පයට සේවයට මෙහෙකාරියන්ගේ ද වත්තේ පිටියේ සේවයට මෙහෙකරුවන්ගේ ද සහායයෙන් ගත කළේ ඉතා සැපවත් ජීවිතයකි.
දින, සති, මාස ඉක්ම වී විවාහ දිවියට වසරක් සම්පූර්ණ වුවද ඇය මවක් වීමට වාසනා නොලද්දීය. විවිධ විශේෂඥ නාම පුවරු යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ රැකවරණය පතා නොයෙක් වර ගියත්, බෝධි පූජා පවත්වමින්, හොර සාස්තරකාරයන්ගේ හා හොර වෙද්දු පසු පස ගියත් පලක් නොවූ කල දරුවෙකු ළමා නිවාසයකින් හෝ රැගෙන හදා වඩා ගන්නට කළ ඉල්ලීම ද දෙතුන් වරකදීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇය දරුවෙකුගේ සුරතල් බැලීමේ ආශාව දවසින් දවස අත් හැරියේ පොත පතට වඩාත් ළංවෙමිනි.
අමාලිගේ දළ පැහැති සමත් රූපශ්‍රීයත් නිසා ඇගේ දුප්පත්කම තමාගේ අනාගතයට බාධාවක් නොවන බව මුදල් මතම සියල්ල තීරණය කරන පියල්ට නිතර සිහිවිය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පියල් බොහෝ සේ ඇලුම් කළේ ඉක්මනින්ම පොහොසතෙකු වීමටය.
සාම්ප්‍රදායික රාමුවට කොටු වී සමාජයේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට කටයුතු කළ අමාලිගේ දෙමව්පියන් බරින් නිදහස් වීම සඳහා වැඩිමහල් දියණිය සල්ලිකාරයෙකුට විවාහකර දී උදම් අනිමින් දිවි ගෙවූ නමුත්, තම දියණිය විඳින මානසික පීඩාව පිළිබඳ සිටියේ අනවබෝධයෙනි.
“අමාලි…… ඔන්න අපිට වාලම්පූරියක් ලැබෙන්න යන්නෙ” “ඒ මොකද පියල්…….? ”
“මං පොඩි බිස්නස් එකකට අත ගැහුව. ඇත්තම කිව්වොත් ඒක හවුල් ව්‍යාපාරයක්. මාත්තෙක්ක තව තුන් දෙනෙක් ඉන්නව. ඔයා දන්නවද, මට ඒකෙන් ලැබෙන පළවෙනි කමිෂන් එක ලක්ෂ දහයක්.හැබැයි මං පොඩි කැපකිරීමකුත් කරනව.”
“ඒ කිවුවෙ, ඔයා මොකද්ද කරන කැපකිරීම…..? ”
“ඒක සුළු දෙයක් ළමයො. මමත් සල්ලි කොටසක් දානව. තව පොඩි පොඩි කාරණා කිහිපයක් ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්නව අපෙ හවුල් කාරයන්ව සතුටු කරන්න. ඒක නෙමෙ අමාලි, ඔයත් මේ ගෙදර හිර වෙලානෙ ඉන්නෙ. අපි යමු නුවර එළියෙ පැත්තෙ පොඩි සංචාරයකට. අපිත් එක්ක තව දෙතුන් දෙනෙක්ම යනව. මං ඔයාට කිව්ව හවුල් කාරයො තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඉන්නෙ නුවර එළියෙ. ඉතිං අපි එහෙදි මීටින් එකක් තියන්න හදන්නෙ. මං හිතුවා ඔයාවත් එක්ක යන්න”
අමාලිගේ සිත සතුටින් ඉපිලී ගියේ ඇය රටතොටේ ඇවිදීමට බෙහෙවින්ම ප්‍රියකළ හෙයිනි. නිතරම මුදල් එක්ක ඔට්ටු වන තම සැමියා විවාහ වී වසරක් ඉක්ම වූ පසු යාමට සූදානම් වන ප්‍රථම සංචාරය ගැන ඇය සිටියේ ඉමහත් සතුටිනි.
පීඩාකාරි කොළඹ නගරයෙන් මිදී පැමිණි අමාලිට, හරිත වර්ණයෙන් බැබලෙන තේ දළු අතවනා ආචාර කළේ ඉතා සොම්නසිනි. උදුවප් සීතලෙන් ඇගේ ගත මෙන්ම සිතත් හිරිවැටුණේ දළ පැහැති කම්මුල් රෝස පැහැ නංවමිනි. අමාලිලාගේ නවාතැන්පොළ වූයේ තේ වත්තක හිමිකරුවෙකු වූ අමරසිංහගේ බංගලාවයි. ඔහුගේ පවුලේ සියලු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන බව අමාලි දැන ගත්තේ පසු දා උදෑසන තේ මේසයේදී ඇති වූ කතා බහිනි.
“මිසිස් බොතේජු කොහොමද ? ඊයෙ රෑ හොඳට නින්ද ගියාද ? ”
“අනේ ඔවු මිස්ටර් අමරසිංහ, ගමන් මහන්සියයි මේ සීතලයි නිසා වෙන්න ඇති දන්නෙම නැතිව නින්ද ගියෙ ”
“පියල්, අද කීයට විතරද අනිත් අය එනව කිවුවෙ ? ”
“මං හිතන්නෙ අමරෙ, හවස තුන හතර වෙද්දි එයි”
“අද එහෙනම් අපි හැමෝටම සුන්දර රාත්‍රියක් වෙයි නේද ? ”
“ඔව්, ඔව්, ….නැතිව, නැතිව”
හිරිගඩු පිපෙන සීතලෙන් ගුලිවී බංගලා වත්තේ ඇවිදීමට අමාලිගේ සිත බල කළත් කූඩැල්ලන්ට තියෙන බියෙන් ඇය එම අදහස උපන් ගෙයිහිම මරා දැමීය. අමරසිංහගේ පොත් ගුලට රිංගු අමාලි පොත් අතර සැරිසරා ‘මහල්ලා සහ මුහුද’ සොයා ගත්තේ පොඩි දරුවෙකු පැණි රස කෑමක් දැකීමෙන් ඇතිවන ගිජුකමිනි. මීට වසර ගණනාවකට උඩ දී විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මේ පොත කියවා තිබුණද ඇයට නැවත කියවීමේ ආසාව ඇති කළේ බංගලාවේ ඇති හුදකලාවත් සමඟිනි. ‘මහල්ලා සහ මුහුද’ ඇයගේ අතීතයේ සුන්දර දවස් සිහිපත් කළේ නොදැනුවත්මය. විශ්වවිද්‍යාල භූමියේ අමල්ගේ අතේ එල්ලී කුඩා දැරිවියක සේ ආගිය තැන් සහ කළ කතාබස් ඇයට සිහි ගැන්වූයේ හදවතේ මහත් වේදනාවක් ඇති කරමිනි.
“අමාලි, අමල්……..ෂා නියමෙට ගැලපෙනව. උඹල දෙන්න පතාගෙන ආව ජෝඩුවක් වගෙ. ඇත්තමයි බං, නම් වලිනුයි ගති ගුණයි හැම අතින්ම උඹල දෙන්න ගානට සෙට්”
“අනේ නිකං පලයං බං උදලු දාන්නෙ නැතුව. උඹත් අල්ලගනිංකො උඹටම හරියට කෙල්ලෙක්ව. මං ඕන නම් පොඩි පෝස්ටර් ව්‍යාපාරයක් දෙන්නම්” ‘උපුල්ගෙ අත ගැනීමට සුදුසු පෙම්වතියක් සොයයි’
“අපිට කොහිද මල්ලි…. එහෙම වාසනාවක්. උඹල ඉතිං පින් කඳන්නෙ”
උපුල්ගේ මුඛරි කතාවලට අමාලිත්, අමලුත් සිනාසුනේ මුලු විශ්වවිද්‍යාල භූමියේම දෝංකාරය නංවමිනි.
විශ්වවිද්‍යාලයේ දෙවන වසරට පිවිසෙන විට අමල්ගේ නිහඬ චරිතය ටිකෙන් ටික වෙනස් වන්නට පටන් ගත්තේ අමල්, ‘ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ ’ සාමාජිකත්වය ගැනීමත් සමඟය. වෙනදා මෙන් අත්වැල් පටලවා, පෙම්බස් දොඩමින් පාරක් පාරක් ගානේ ඇවිදින්නට දැන් අමල්ට වෙලාවක් කලාවක් නැත. ඊටත් වඩා එසේ යන්නට කැමැත්තක්ද නැත.
“ඇයි අමල්, ඔයාට ඉස්සර වගෙ සැහැල්ලුවෙන් ඉන්න බැරිද…? ”
“මාව තේරුම් ගන්න අමාලි. අපේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන. මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටින්න ඕන. ඉතිං ඔයයි මායි විතරක් සැප විඳින්න හිතන්න එපා. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවෙන්න ඕන අමාලි…… ”
අමල්ගේ දේශපාලන ජීවිතයත් සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් දිනපතා මුණ ගැහිච්ච අමල්ව සතියකට හමාරකටවත් දකින්නට නොලැබීමෙන් අමාලි කල්ගෙවුවේ ඉමහත් වේදනාවෙනි. දිනෙන් දින රටේ තත්ත්වය අඳුරු අගාධයකට ඇද වැටෙද්දී විශ්වවිද්‍යාලය වසා දැම්මේ දින නියමයක් නොමැතිවය.
පියල් බොතේජුගේ බිරිඳ වී වත්මනේ දිවි ගෙවන්නට ඇයට සිදු වූයේ අමල් නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ගොදුරු වීමෙනි. අමාලිට බාල සොයුරියන් දෙදෙනාම විවාහ දිවියට එළඹුනද ඇය දිනෙන් දින තම කසාදය කල්ඇරියේ අමල්ගේ මතකය විටින් විට ඇගේ සිතේ හොල්මන් කළ බැවිනි.
කොළඹින් පිටත්ව නුවර එළියේ සංචාරයට පැමිණි අමාලිට පසු දා හිරු උදා වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.
“අමාලි, අපි යමුද ටිකක් ඇවිදින්න. ඔයා ඊයෙ හිටන් කාමරයට වෙලානෙ හිටියෙ. දැනට අපි අමරෙ එක්ක යං. අද හවසට ඉතිං තව දෙතුන් දෙනෙක්ම එකතු වෙනවනෙ. එතකොට බැරියැ තව තැන්වල ඇවිදින්න යන්න”
“අනේ යමු පියල්, ඇත්තටම මං හරිම කම්මැලිකමෙන් හිටියෙ. එළියට බහින්නත් බයයි කූඩැල්ලො නිසා”
“අපොයි ළමයො, මොකටද උංට බය වෙන්නෙ. ඔයා ඉතිං ෆොටෝ ගන්න ආසයිනෙ. මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියෙනව කියල අමරෙ කිව්ව. අපි එහෙ යං. එතකොට ඔයාට හිතේ හැටියට ෆොටෝ ගන්න බැරියැ…..”
අමරසිංහගේ ජීප් රථයේ නැගි තිදෙනාම දිය ඇල්ල ඇති ඉසව්වට ගියත් රථයෙන් බැසීමට පියලුත් අමරසිංහත් මැලි විය. එහෙත් අමාලි නම් සිටියේ උතුරා යන සතුටිනි. පාරෙන් මදක් ඉවත් කොට වාහනය නතර කළ සැනින් ඉන් බැසගත් අමාලි වශීකෘත වූයේ පරිසරයේ මනස්කාන්ත දර්ශන දැකීමෙනි . ව්‍යාපාර ලෝකයේ සිර වී සිටි පියල්ටත් අමරසිංහටත් ස්වභාය ධර්මයේ ඇති සුන්දරත්වය විඳීමට තරම් සංවේදී බවක් නොතිබුණි. හිතේ හැටියට පරිසරය විඳගත් අමාලි එක් එක් කෝණයන්ගෙන් ඡායාරූප කිහිපයක්ම ගනු ලැබූයේ දක්ෂ කැමරා ශිල්පිනියක ලෙසිනි.
විවාහයෙන් පසු සතුටින්ම සිටි දවස එදින බව නැවත බංගලාවට පැමිණි මොහොතේම තම දිනපොතේ සටහන් කිරීමට ඇය අමතක නොකළාය.
පියලුත් අමරසිංහත් බංගලා වත්තේ පෙයාර්ස් ගස් පේළිය යට ඉදි වූ බංකුවේ හිඳගෙන බැරෑරුම් සාකාච්ඡාවක නිරතව සිටිද්දී මැද සාලයේ ඉතා සුව පහසු සෝපාවේ දිගෑදී අමාලි නැවතත් ‘මහල්ලා සහ මුහුද’ කියවන්නට පටන් ගත්තේ කතාබස් කිරීමටවත් එකදු ගෑනු පුළුටක් බංගලාවේ නොසිටි බැවිනි.
පොත අතේ තිබෙද්දීම සුව නින්දකට වැටී සිටි අමාලි එක් වරම තිගැස්සී ඇහැරුණේ වාහනයක දොරවල් වැසීමත් කොක් හඬ නඟා සිනාසෙන හඬවල් කිහිපයක් එකවර ඇසීමත් සමඟය. අවුල් වූ හිසකෙස් තම ඇඟිලි තුඩු වලින් සකස් කළ ඇය සෝපාවෙන් නැගී සිටියේ තම කාමරය වෙත යාමට වුවද පියල්ගේ ඇරයුමෙන් ඇයට රැදී සිටීමට සිදුවිය.
“අමාලි, මේ තමයි සමරවික්‍රම. මේ හැන්ඩියා තමයි විජේපාල. අමරසිංහත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්නෙ මේ දෙන්න. මං ඉතිං සහායට ඩැනී නේ …. නේද ?” පියල්ගේ කතාවට අනිත් තිදෙනාම මහා හයියෙන් සිනාසුනත් පිරිමි ගොඩක් මැද තනි වූ අමාලි බලා සිටියේ අසරණ ගැහැනියක් ලෙසය.
“මිසිස් බොතේජු, පොත් කියවන්න ආසයි වගෙ. අපි පස්සෙ නිදහසෙ කතා කරමුකො ඉතිං”
අමාලි කිසිවක් නොකියා කට කොනින් සිහින් සිනහවකින් සංග්‍රහ කළේ පියල්, සමරවික්‍රමව හඳුන්වා දුන් මොහොතේ ඔහු ඇයගේ අත තදින් මිරිකීම හේතුවෙනි.
“ ඔය සමරෙ අපේ නංගිගෙ පොතක්. උඹ දන්නවනෙ ඉතිං එයා පොත් පිස්සියක් කියල. කැම්පස් යන කාලේ තමයි එයාගේ පිස්සුව වැඩිවුණෙ. එයා නැතිවුණාට පස්සෙ ඔය පොත් රාක්කයේ පොතක් ඇද්ද පළවෙනි කෙනා තමයි මිසිස් බොතේජු.“
“ ඒ ළමයගෙ වටිනා ජීවිතය අපරාදෙ නැති වුණෙ. දැන් හිටිය නම් මිසිස් බොතේජු වගෙ හිටියි නේද..? “
“ඔව් සමරෙ. පොඩි කාලෙ හිටන්ම එයා හරිම වෙනස් විදියට හිතුවෙ. කැම්පස් එකේදී විප්ලව කරන්න ගිහින් ඔය අකරතැබ්බ වුණේ නැත්නම් අද කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණද…..“
අමාලිගේ හිත නැවතත් අතීතය කරා දිව ගියේ එක් සැනින්ය. උණ්ඩ වලට ගොදුරු වී වටිනා ජීවිත අහිමි වෙච්ච තරුණ තරුණියෝ අතර අමරසිංහගේ නැගණිය තවත් එක් චරිතයක් පමණි.අපේ සමාජයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන් තරුණ පිරිස කෙතරම් දැයි කිව හැක්කේ කාටද….?
“හරි අපි එහෙනම් මුලින්ම තේ ටිකක් බීලා ඉමු නේද ? මේවා ඉතිං ෆ්‍රෙෂ් ටී. හවස් වෙද්දි බැරියෑ ඇඟ රත්වෙන දේවල් පානය කරන්න”
“ඔව්, ඔව් අමරෙ, ඒක නම් ඉතිං නැතුව බැහැනේ. වල් ඌරු මස් කෑල්ලක් එක්ක කොහොමද ගානට සෙට් වෙද්දී……..”
ඉතා නිහඬ චරිතයක් වූ විජේපාල, සමරවික්‍රමගේ තොරතෝංචියක් නැති කියවීමට කිසිවක් නොකියාම සිනාසුණා පමණි.
රාත්‍රි හතට පමණ සිවු යහළු වික්‍රමය බෝතල් මූඩි අරින්නට පටන් ගත් විට, අමාලි සිටියේ ‘මහල්ලා සහ මුහුදේ’ අවසන් භාගයට ළංවෙමිනි. එක් වරම කාමරයේ දොරට සන් කරන හඬක් ඇසීමෙන් තිගැස්සුණු ඇය දොර වෙත ගියේ දෙගෙඩියාවෙනි.
“නෝනා, කෑම ලෑස්තියි. අපේ මහත්තය කිවුවා නෝනට කන්න දෙන්න කියල. මහත්තයල කද්දි ගොඩාක් රෑ වෙයි කිව්ව”
පියල්ගේ ලෝකයේ මේ අවස්ථාව වෙද්දි සිටියේ අමරෙත්, සමරෙත්, විජේත් පමණි. ඇයට කෑමට පවා ආරාධනය ලැබුණේ අමරසිංහ හරහාය. ඉතා සතුටින් ආරම්භ කළ දවස රාත්‍රිය උදාවෙත්ම මොකක්දෝ මූසල හැඟීමකින් වෙළාගත් බව අමාලිට දැනුණේ තමා බංගලාවේ හුදකලා වීමෙන් ඇති වූ පාළුවෙනි. උදුවප් සීතලෙන් මුළු ඇඟම ගල් ගැහී ඇතැයි ඇයට දැනුණි. ඉතා රසවත්ව කෑම පිළියෙළ කොට තිබුණත් අනාගත් බත්කට කෑමටවත් ඇයට රුචියක් නොවීය. පෙයාර්ස් ගෙඩි දෙකක් රාත්‍රී ආහාරයට ගත් අමාලි තම කුටියට වැදුණේ ඉක්මනින්ම නින්දට යාමටය.
රාත්‍රී නිදන ඇඳුමෙන් සැරසුණු ඇය නින්දත් නොනින්දත් අතර පසුවූයේ පියල් ඇතුළු කණ්ඩායමේ කෑකෝ ගැසීම් නිසාය. පැයකට පමණ පසු යාන්තමට දෑස් පියවී ගෙන එන විටම කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසුණත් ඇය ඇඳටම වී සිටියේ පියල් නම් දොර ඇරගෙන එතැයි යන හැඟීමෙනි. එහෙත් පියල් වෙනුවට දොරෙන් ඇතුළු වූයේ සමරවික්‍රමයි.
“අං……ආ.. ඇයි මිස්ටර් සමරවික්‍රම ? ඔයාට කාමරය පැටලුනාද ? ”
“නැහැ නැහැ ඩාලිං. ඔයා හිතුවද මට වෙරි කියල. අපි තාම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැ. මං මේ ඔයාව හොයාගෙනම තමයි ආවෙ. බය වෙන්න එපා. අයිතිකාරයා ගෙදර නැහැ. ඒ ගොල්ල ටවුමට ගියා මොනාද අරං එන්න”
සීතලෙන් හිරිගඩු පිපී තිබුණු ඇගේ මුළු සිරුරම ගිනි ජාලාවක් මැද දැවී ගියේ නිමේෂයකිනි. සමරවික්‍රමගේ හැඩි දැඩි සිරුර සමඟ ඔට්ටු ඇල්ලීමට නොහැකි වූ අමාලි ඔහුගේ ගොදුරට හසුවූයේ ඇගේ දුබල ස්ත්‍රීත්වය හමුවේය.
සතර දිග්භාගයේම මිනිස් වාසස්ථානයක් නැති අක්කර තිහ හතලිහක තේ වත්තක් මැද පිහිටි බංගලාවේ තනි වූ ඇයට පියල්ගේ ව්‍යාපාරික හවුල්කාරයන්ව සතුටු කිරීමට සිදුවූයේ, ඔහු ඇස් කන් නැත්තෙකු සේ සිටීම හේතුවෙනි. පසුදා පාන්දරින්ම බංගලාවෙන් පැන යාමට දෙතුන්වර උත්සාහ කළද ඇගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ අසාර්ථක විය. තෙදිනක් තිස්සේ ගත කළ අපුල ජීවිතයෙන් මිදී නැවත කොළඹ පැමිණි මොහොතේ අමාලි වඩාත් කම්පාවට පත්වූයේ පියල් කිවූ කතාවෙනි.
“අයියෝ අමාලි, මොකටද මූණ එල්ලගෙන ඉන්නෙ. ඕක සුළු දෙයක්නෙ. ඇත්තටම මං ඔයාව කසාද බැන්ඳෙ ඔයාගේ ලස්සන හින්ද. මං හිතුව කවද හරි මගෙ ව්‍යාපාර දියුණුකර ගන්න ඔයාව පාවිච්චි කරනව කියල. අන්න ඒ නිසා තමයි මං ඔයාගෙ දුප්පත්කම ගණන් ගත්තෙ නැත්තෙ. මට කියන්න, දැන් ඔයාට මොනවයින්ද අඩු කියල. යාන වාහන, ගෙවල් දොරවල්, අතට පයට වැඩකාරයො හැම දෙයක්ම තියෙනව. ඉතිං මං වෙනුවෙන් සුළු උදව්වක් කරාට මොකද වෙන්නෙ…… ”
සැදෑසමයට පා තබා සිටින තම දෙමව්පියන්ගේ හිත් අසතුටු කිරීමට අපොහොසත් වූ අමාලි මෙතරම් නිහීන වැඩක් කළ, නීතියෙන් පමණක් සැමියා වූ පියල් සමඟ කල් යැවුවේ ඉමහත් පිළිකුලකිනි.
අප්‍රසන්න නුවර එළි සංචාරයෙන් මාසයක් ඉක්ම යාමෙන් පසු අමාලි හදිස්සියේම අසනීප වූයේ ඇගේ දෙමව්පියන්ද පැමිණ සිටි මොහොතකය. තදින් හටගත් හිසරදයත් සමඟ නිතර නිතර ක්ලාන්ත වීම හේතුවෙන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමට අමාලිගේ දෙමව්පියන්ට සිදුවූයේ පියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව සිටි නිසාය. වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ වීමෙන් අමාලිගේ හිසේ රුදාව තවත් වැඩි විය. එහෙත් ඇයගේ ගැබ් ගැනීමේ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේ අමාලිගේ දෙමාපියන් බොහෝ සතුටු කරමිනි.
ඇය ගැබිනියක් බව දැන ගත් දා සිටම අමාලිගේ දෙමාපියන් ඇයත් සමඟ එම නිවසේ වාසය කිරීම හේතුවෙන් හදිසියේ ගැබ්ගත් කළලය සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගන්නට අමාලිට නොහැකි විය.
දිනෙන් දින වර්ධනය වන ඇගේ දරු ගැබ දෙස බලා ඔවුන් බොහෝ සතුටු වූයේ පවුලේ වැඩිමහල් දියණියගේ කුළුදුල් දරුවා වීම හේතුවෙනි. අමාලිගේ රුචි අරුචිකම් හොඳින් දන්නා මව ඇයට උවමනා සියලු කෑම බීම තමන්ගේ අතින්ම පිළියෙල කර දුන්නේ ඉමහත් සැලකිල්ලෙනි.
පියල්ගේ හැසිරීමේ රටාවද වෙනස් වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක් විය.
දරුවෙකුගේ සුරතල් බැලීමට පෙරුම් පුරමින් සිටි අමාලි තමන්ට උදා වී තිබෙන්නේ භාග්‍යයක්? දැයි අභාග්‍යයක්? දැයි යන මහත් පීඩාකාරි හැඟීමෙන් කල්ගෙවත්ම ඇගේ දරු ගැබ මෝරා දරුවා ප්‍රසූත කිරීමේ කාල වකවානු ළංවිය. දහසක් සිත් තැවුල් මත ඇය බිහිකළේ පුතෙකි. “මොණරු“ මතම පියාඹන පියල්ට දරුවා කාගේ වූවත් කම්නැත. සමාජය ඉදිරියේ පාරම්බාන්නට දැන් ඔහුට පුතෙකු ඇත.
පියාගේ නම පියල් බොතේජු ලෙස උප්පැන්නයේ ලියවිණි. එහෙත් මේ දරුවාගේ පියා කවුරුන් විය හැකි දැයි දන්නේ අමාලිත් පියලුත් පමණි. ඒත් ඔවුනුත් නිවැරැදිව නොදන්නා ගානය.
පුතාගේ තාත්තා අමරසිංහද? සමරවික්‍රමද? විජේපාලද ? යන නොවිසදුණු පැනයෙන් යුක්තව ඇය තම පුතුව තරයේ වැළඳ ගත්තේ ඉමහත් මාතෘ සෙනෙහසිනි.
රුක්ෂිලා වෙත්තමුණි
වේයන්ගොඩ

Thursday, 13 October 2016

සෙනුර----ප්‍රියාශා රන්වල

වෙලාව රෑ හතට විතර වුණත් මහ කොළඹ ට ඒ වෙලාව එතරම් වෙලාවක් නෙමේ කියල රෝහල් කාර් පාර්ක් එකේ කාර් එක නවත්තගෙන රස්නෙ නැතිවෙන්න දොරත් ඇරගෙන රෑ අහස දිහා බලා උන්න සෙනුරට හිතුනා.උස උස බිල්ඩින් වල පත්තු වුන විදුලි බුබුළු ආකාසේ තාරුකා වලට දිලිහෙන්න ඉඩ අහුරල තිබුණ එකට ඔහු ට ආවෙ හීන් තරහක්..ඩොක්ටර් ආවත් සෙනුරගෙ ඇපොයින්ට්මන්ට් එක ඩොක්ටර් එක්ක තිබුණෙ සෑහෙන පහුවෙලා.විදුලි බුබුළු එක්ක තරඟයට වගේ එහෙන් මෙහෙන් අහසේ දිලෙන්නට ගත්ත තාරුකා දිහා ටිකක් වෙලා බලා හිටපු සෙනුර එයාගෙ ස්මාර්ට් ෆෝන් එක අතට ගත්තෙ කාලෙ ටිකක් හරි කාලදාන්න..
ෆේස්බුක්,වයිබර්,වට්ස්ඇප්,ඉන්ස්ටග්‍රෑම් නොටිෆිකේෂන්ස් සෙනුර ඩේටා ඕන් කරල එනකම් ඉවසිල්ලක් නැතිව බලා හිටියා වගේ පෝලිමට එන්න ගත්තා.ඒ හැම එකක් ම බැලුව සෙනුරගෙ ඇහැ ඉන්ස්ටග්‍රෑම් එකේ තිබුණ ෆොටෝ එකක් ළඟ නතර වුණා.ඒ ඊජිප්තු පිරමිඩයක් ළඟ,තමන්ගේ ජීවිතෙත් ගොඩනැගුනේ පිරමිඩයක් වගේ රහස් හංගගෙන නේද කියල හිතෙන කොට සෙනුර ට තමන් ගැන කළකිරීමක් එන එක නවත්ත ගන්න බැරි වුණා.බැන්ඩේජ් වලින් එතුව හැඟීම් විරහිත මමියක් වගෙයි ඔහුට ඔහු ගැන හැඟුනෙ.හදිසියෙ ම ආව කැස්සක් ඔහුගෙ ලේන්සුවල ලේ පැල්ලම් ඉතුරු කරන්න ගත්තෙ මාස දෙකක වෙලේ ඉඳලමයි.ඔෆිස් එකේ වැඩ කර කර ඉන්න ගමන් වොෂ්‍ රූම් එකට දුවල ගිහින් සින්ක් එක වැහෙන්න දවසක් ලේ ගිය එක එවෙලෙ එතනට ආව යාළුවෙක් ට පේන්නෙ නැති වෙන්න ලේ ටික හෝදල යවන්න සෙනුරට සෑහෙන මහන්සියක් දරන්න වුණා.සියල්ල එකපිට එක තමන්ට ම සිදුවෙන හැටි සිත සිතා සෙනුර ෆෝන් එකේ ඩේටා ඕෆ් කරල කාර් එකෙන් බැස්සෙ තව කොච්චර වෙලා ඩොක්ටර් හම්බ වෙන්න ඉන්න ඕනදැයි හිතමින්..දොස්තරල හම්බවෙන්න ආව මිනිස්සු පෝලිමට වාඩිවෙලා රෝහල දිගේ තනියම ඇවිද යන තමන් දිහා හැඟීමක් නැතිව බලා ඉන්නකොට සෙනුරට බයක් ආවෙ කැස්ස නොහිතූ විදිහට ආයෙමත් එයි ද කියල…..
තවත් වෙලා තියෙන බව දැක්ක සෙනුර ආපහු එළියට ආවෙ බඩගින්නක් දැනෙන්න ගත්ත නිසා.කිසිම පාළු ගතියක් නොවුන කොළඹ වීදිවල මිනිස්සු ලයිට් කණු යට,හෝටල් ළඟ රස්තියාදු වෙන හැටි බලාගෙනම සෙනුර එක හෝටලයක් ළඟ නතර වෙලා ෆ්‍රයිඩ් රයිස් එකක් ඇණවුම් කළේ ඒ වෙලාවෙ හැටියට නිකන් බත්මාළු කන්න ආසාවක් නොතිබුණ නිසා.ඒක ඇණවුම් කරල එළියට වෙලා බලාගෙන හිටිය සෙනුරට හෝටලේ කොත්තු ගහන සද්දෙ හරිම හිසරදයක් වගේම සියුම් වේදනාවක් ද ගෙනාවෙ තමන් ගොඩක් ආදරේ කළ සිත්මා මාස පහකට කලින් තමන්ව සැක කරල දාල ගිය හැටි මතක් වීමෙනුයි.රිදී පාටින් දිලිසි දිලිසී කොත්තු ගහන කෑලි දෙක සෙනුරගේ අතීතය දිගහරවන්න සමත් වෙලා වර්තමානයේ අතරමං කරවන්නට සමත් වුනා.
ෆ්‍රයිඩ් රයිස් එක කාර් එකට අරන් ඇවිත් හිමින් සැරේ කාල ඉවර වුණ සෙනුර යළි රෝහල ඇතුළට ගියේ ඩොක්ටර් හම්බවෙන්න ඕන වෙලාව හරි බව දැකල.
රෝහල ඇතුළෙ තිබුණ ඝෝෂාව ඩොක්ටර් ඉන්න කාමරේ ඇතුලට ඇහුනෙ ම නෑ.තදබල නිහැඬියාවක් එක්ක ඩොක්ටයි නර්සුයි සෙනුර දිහා බලා ඉන්නකොට සෙනුර කලින් ගත්ත එක්ස් රේ පින්තූරෙ ඩොක්ටර් අතට දුන්නා.
“ලේ එහෙම ගොඩක් ගියා ද?”
ඩොක්ටර් සෙනුරගෙන් ප්‍රශ්න කරද්දි සෙනුරගෙ හිත කීරි ගැහුන.
“ඔව් ඩොක්ටර්.මාස දෙකක් විතර වෙලේ ඉදල.” සෙනුර එහෙම උත්තර දුන්නෙ ඔහුගෙ හෘද සාක්ෂියට හොරා.
“අපි බලමු.එක්ස් රේ එකේ හැටියට පපුවෙ සෙම තියෙනව.කෝකටත් මේ ස්කෑන් එකත් කරගෙන එන්න දැන්මම.” ඩොක්ටර් වැඩි වෙනසක් නොපෙන්නා කොළ කෑල්ලක ලියල දුන්න එකත් අරගෙනම සෙනුර හීනෙන් වගේ ඇවිදගෙන රෝහල් අතරින් ස්කෑන් කරන කාමරේ වෙත ගියා.ගොඩක් රෑ බෝ වෙලා නිසා රෝහල පාළුවට යමින් තිබුණෙ.සේවක මණ්ඩලේ දෙතුන් දෙනෙක් සෙනුර එක්ක හිනා වෙලා ගියා..ඔෆිස් එකෙන් මෙඩිකල් බිල් ක්ලේම් කරන්න පුළුවන් නිසා ස්කෑන් එකට ගිය වියදම ගැන සෙනුර ළතවුනේ නෑ.
ඒත් ස්කෑන් කාමරේ ඇතුළට යනකොට සෙනුරට මහා පාළුවක් තනිකමක් දැනෙන්න ගත්තා.අම්මා,තාත්තා,මල්ලි,දාලාගිය සිත්මා මේ හැමෝගෙම මූණු ස්කෑන් මැෂිම ඇතුලට යද්දි මැවෙන්න ගත්තා..ඒ මතක් වෙනකොට සෙනුරට හුස්ම ගන්න ඕන නේද කියලත් අමතක වුණා. ස්කෑනරය ක්‍රියාත්මක කරන කෙනා “හරියට හුස්ම ගන්න කියල” කීපවරක්ම මතක් කරනකොටයි සෙනුරට දැනුනෙ තමන්ටත් හුස්ම ගන්න පුළුවන් කියල..මහා තනිකමකින් ස්කෑන් රිපෝට් එක ගන්න ගියාම එතැන හිටිය ඩොක්ටර් තමන් දිහා හොඳින් බලද්දි සෙනුරට පොළව පලාගෙන යන්න හිතුනා.
“තනියම ද ආවෙ?” ඩොක්ටර් ඇහුවෙ කාරුණික හඬකින්.
“ඔ.ඔව් ඩොක්ටර්.”සෙනුරගෙ කටහඬ වෙවුලුම් කෑවා.
“ඕකේ එහෙනම් මේ රිපෝට් එක ඔයා චැනල් කළ මිස්ට වෙත්තසිංහ ළඟට අරන් ගිහින් පෙන්නන්න.”කියමින් රිපෝට් එක දුන්න ඩොක්ටර් කිසිම වෙනසක් පෙන්නන්නෙ නැතිව හිනාවුණා.
රෝහලේ ඕ.පී ඩී අංශයම පාළුවට ගිහින් සෙනුර විතරක් තනිවෙලා.රිපෝට් එක ඩොක්ටර් වෙත්තසිංහට පෙන්නුව සෙනුර ආපහු කාර් එකට ඇවිදගෙන ආවෙ හීනෙන් වගේ.රාත්‍රියේ උල්කාපාත වැස්සක් දකින්න පුළුවන් කියල ප්‍රවෘත්ති වලට කියද්දි අහසේ තාරුකා පොළවට පතිත වෙනවා සෙනුර දැක්කා.
“අනිද්දා ඉදල මහරගම කැන්සර් හොස්පිටල් ක්ලිනික් එන්න පටන් ගන්න.” ඩොක්ටර් වෙත්තසිංහගෙ වදන් දෝංකාර දෙද්දී සෙනුර අතින් කාර් එක පාළු හයිලෙවල් පාරෙ බ්‍රේක් වෙලා නැවතුනේ ඉබේටමයි.
නිමි.
ප්‍රියාශා රන්වල
නුගේගොඩ