RAVINDU GAYAN

RAVINDU GAYAN

Tuesday, 18 October 2016

අලුත් ඉරක්---රුවන්දිකා පෙරේරා

මැදියම් රැයත් ගෙවී ගොස්ය. මාගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලිකරන්නා වූ අදහස් තුළට නිදි දෙව් දුව ලඟා නොවූ සැටියකි. මෙලෙස හිත පෙරලි කරන්නා වූ සතියට මරණය සැපතකි. ක්‍ෂණයෙන් කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එක්වරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිපවරක්ම ගසා ගත්තෙමි. ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ සිතින් ම මරණයට ඇත වනමින් සිටින්නෙමි. මා අසලට විත් වැළඳගන්නේ නම්….
මා වීදුරුව බිඳී ගිය ජනේලයෙන් අහස තුළ ඇති අන්ධකාරය තුළ ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුළින් පිටවී එනවිට මා සිත තුළ පැවති රික්තකය දෙගුණයක්, තුන් ගුණයක්, සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිර විහිදී ඇති සෙයකි.
හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැති මම මගේ හිස මම ම පිරිමැද ගතිමි. කෙහෙරැල් තුළින් ඇඟිලි තුඩු යවා පිරිමදින විට දහදිය මුහුවී එකට ඇලුණු කෙහෙ රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමි.ඒ වේදනාව ද මා හට ප්‍රියජනක විය. කාමරය ද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නාසයට ලං කළෙමි. දහදිය සමඟ මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇගිල්ලක් තබා එය සෙමෙන් පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක් ද?
අතෙහි තැවරුණු ලේ බිඳු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි. තුඃ නොදකින්! මලකඩ රසක් එන්නේ මන්ද? මා සිත මවිසින්ම යකඩයක් බවට පත් කර බොහෝ කල් ය. නමුත් එයට කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුළින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත් ඔළුකට්ට පසාරු කළ තුවාලයෙන් එළියට පැන ඇත.
මෙතෙක් මා මැවූ සිහින මාළිගා මා ඉදිරිපිටම සුන්නද්දුලි වී ගොස් ය.උසස් පෙළ සමත් වී වෛද්‍යවරයෙකු වන්නට, මාදෙස හෑල්ලුවට නෙත් හෙළුවන් දෙස ආඩම්බරයෙන් බලන්නට, දේවතාවියක් වූ අම්මාගේ අවසන් කාලයවත් සැපවත් කරන්නට මා විසින් මැවූ සිහින මාලිගාවේ අඩිතාලමෙන් ම පුපුරා ගොස් මේ වනවිට පැය ගණනාවක් ගෙවී ගොස් හමාරය.
******************
“ ඒ වෙනුර….. අද රිසාල්ට් ඇවිත් ……… යමුද ඉස්කෝලේ පැත්තේ….? “
අරවින්ද වැටට උඩින් පැන එමින් කතා කරනවිට ම විසින් අම්මාට ලුණු කැඳ කෝප්පයක් පොවා අවසන් කළා පමණි. ඔහුගේ කටහඬින් ඇගේ දෑසේ ඇති වූ දීප්තිය මා හැඳින ගත්තෙමි. ඒ ඈ සිත තුළ ඉතිරි වී ඇති අවසන් බලාපොරොත්තුව මා බැව් අප්පච්චී අප තනිකර ගිය දා සිට මා දැන සිටියෙමි.
“ පොඩ්ඩක් හිටපන් මං ලෑස්ති වෙලා එන්නම්……”
එසේ කියමින් මා ගෙතුලට ගියද පාසල වෙත ගොස් විභාග ප්‍රතිපල බැලීමේ උනන්දුවක් නොව උදාසීන කමක් මසිත තුළ ඇති විය. මා සෙමෙන් සෙමෙන් කමිසයේ බොත්තම් පියවීමි. මා මන්දගාමී වී ඇත ඉක්මන් වන්නට තැත් කළද කාන්දමකට ඇලී පවතින යකඩයක් වෙන් කරන්නට දරන වෑයම මෙන් මා මන්දගාමී තත්වයට ඇදෙමින් තිබුණි.
“ මොනවද බං මෙච්චර වෙලා කරන්නේ…?”
“හරි… හරි… යමු ….”
කියමින් මා කාමරයෙන් එලියට පැමිණියෙමි. “ මේ… මොකද මේ….?” උඹ කාමරේට වෙලා මොනව කළාද…..? ඔලුව පීරගේනවත් නෑ… නින්දෙන් නැගිටලා වගේනේ බං ……”
ළගට ආ අරවින්ද ඔළුව අතින් පීරුවේය. “හා … දැන් යමන් අපේ දොස්තර මහත්තයෝ ….” අරවින්ද පෙරමුණ ගත්තේ ය.
“ අම්මේ…. මං ගිහින් එන්නම්….” මම අම්මාට වැන්දෙමි. අරවින්ද ද මා පසුපස විත් අම්මාට වැන්දේය.
“බුදුසරණයි මයේ පුතේ… පරිස්සමෙන් ගිහින් එන්න… මං දන්නවා මයේ පුතාට වරදින්නේ නෑ….”
“හ්ම්ම්ම්… “ මට කියවුනේ එපමණකි. මසිත දැවී හළු වී ගියේය.
පාසලට යන මඟ දිගට අරවින්ද කතා කළේය.
“ මට ෂුවර් බං උඹනම් ඉතින් ආයෙත් නෑ කැම්පස් ම තමයි… අනේ ඉතින්… දෙයියනේ කියලා මටනම් එස් තුනකින් හරි ශේප් වෙන්න තිබුණොත් ඒ ඇති…. ජොබ් කට්ටක්වත් හොයාගන්න….”
ඒ අතරතුර මසිත ඇදී ගියේ උසස් පෙළ විභාගය ලියූ දින කිහිපය ය. ඇත්තෙන්ම මට සිදු වූයේ කුමක්ද? පාසලටම සිටි දක්ෂතම සිසුවා වූ මා කෙරෙහි සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියහ. ප්‍රශ්න පත්‍රය අතට ගත් මොහොතේ මුළු සිරුර පුරාවටම ඇදී ගිය විදුලියක් සමඟ මා අඩපණ වී ගියෙමි. කෙසේ පිළිතුරු ලිව්වාදැයි මා හට දැනුදු අවබෝධයක් නොමැත. දැන් කෙසේනම් ලොවට මුහුණ දෙන්නද…. ? මා පාසලට යා යුතු ද? එලෙස සිතමින් මනෝ ලොව තුළ සැරිසැරූ මා පියවි සිහිය ලැබුවේ අරවින්ද මා අතින් අදිනවාත් සමඟ ය.
“ කොහෙද යකෝ පාර මැදට යන්නේ….? අදම වාහනේකට යටවෙලා මැරෙන්නද හදන්නේ….? යමන් ඉස්කෝලේ ඇතුළට… අන්න අපේ කට්ටිය නෝටිස් බෝර්ඩ් එක ළඟ…”
ආපසු හැරෙන්නට වෙලාවක් නැත. මා බිමට හරවාගත් හිසින් යුතුව අරවින්ද පසුපස ඇදුනෙමි. අප දෙදෙනා පන්තියේ අනිත් සගයන් වෙත ගියා පමණි. ඔවුන් අතර තිබු කසු කුසුව නැවතුණි. ඔවුන් දෙස බැලීමට මා හට දැඩි ආයාසයක් ගැනීමට සිදු වූයේ වරදක් කළ හසු වුවෙකු විලසිනි.
“ කෝ…. අයින් වෙයල්ලා ….. අපේ කොල්ලගේ රිසාල්ට් බලන්න…” අරවින්ද රැස්ව සිටියවුන් දෙපසට කරමින් නෝටිස් බෝර්ඩ් එක අසලට ගියේය. මා තවත් සිටියේ බිම බලාගත්වනමය. කවුරුන් හෝ මා කරට අතක් දා ඔහු අසලට ඇදගත්තේය. වෙන කවුරුවත් නොව ඒ අරවින්ද ය. මා දියාරු හිනාවක් මුහුණට ඈදා ගැනීමට තැත් කළෙමි.
“ වරුණ…. රිසාල්ට්…. බලන්න ඕනෙද…?” අරවින්ද ගොත ගසමින් ඇසූ විට එය සිදුවී ඇති බව මට සිතාගත හැකි විය. කැම්පස් සිහිනය බොඳ වී ඇත!
“ඕනේ නෑ….. අපි යන් …..” මා අනෙක් සඟයන් දෙස බලා සිනාසුණෙමි. මද දුරක් යන තෙක් අප දෙදෙනා නිහඬව ගමන් කළෙමු.
“ ගණන් ගන්න එපා බං අපි ඔක්කොම දන්නවනේ උබ කොච්චර ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙනද එග්සෑම් කළේ කියල…. ඒ අතින් උඹ ෆේල් නොවී එස් තුනකින් හරි ගොඩ දාගත්ත එකත් ලොකු දෙයක් බං….”
“ හ්ම්ම්ම්………” එය මට විසඳුමක් නොවීය. ඉදිරියට මා කුමක් කළ යුතුද? අප්පච්චී නැති වූ දා සිට අංශභාග රෝගියෙකු වූ අම්මා බලාගන්නට මා හට මහත් වූ දුෂ්කර ක්‍රියාවක නිරත වන්නට සිදු විය. පාසල් ගොස් පැමිණ පොඩි උන් හට විද්‍යාව,ගණිතය උගන්වා සොයාගත් රුපියල් සත වලින් මෙතෙක් ජීවිතය ගැටගසා ගත්තෙමු. මින් ඉදිරියට මා කුමක් කරන්නද? සුළු රැකියාවක්? නැත ! මා ඉලක්කය සපුරාගත යුතුය.
“ ආ….. වරුණ පුතේ…. අද ප්‍රතිපල ඇවිත්ලු නේද ….? සමුපකාරයෙන් එලියට එමින් සමන්ති නැන්දා ඇසුවාය.
“ ඔව් නැන්දේ .. මේ ගිහින් එනගමන්…. අපි යන්නම් ආ….” අරවින්ද මගේ කරට අත දමා ගමන ඉක්මන් කළේ එතැනින් ගැලවීමට මගේ තිබූ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙනි.
“ඔය ගෑනිට කිව්වනම් ගමම ගිනි තියල… ගෙදර යන්න කලින්… මන් දන්නැද්ද ඔය ගෑනිගේ කට”
අප්පච්චී නැති වූ පසු ජීවිතය ගොඩ ගැනීමට මාර්ගයක් සොයන මා හට දිනක් සමන්ති නැන්දා පැමිණ යෝජනා කළේ ඇගේ සැමියාගේ කොන්ත්‍රාත් වැඩපලෙහි සිමෙන්ති අනන්න එන ලෙස ය. නමුදු ඉගෙන ගැනීමට තිබූ සිහිනය එම රැකියාවට පයින් ගැසී ය .
“පුතේ…..”
අම්මාගේ කටහඩින් මා නැවත පියවි සිහිය ලැබුවෙමි. කාමරය තවමත් අඳුරේ ගිලී ඇත. අම්මාගේ සිහින් කෙඳිරිලි හඩක් ඇසේ. මා දඩි බිඩි ගා බිමට පැන්නේ මා ආවේගයෙන් අතට හසු වූ බෝතලයෙන් දමා ගසා බිඳ දැමූ ජනේලයේ වීදුරු කටු ගොඩ මතට ය….
“අම්මේ….”
“මයේ ළඟින් වාඩිවෙන්න පුතේ…..”
මම අම්මා අසලින් වාඩි වී ඇයගේ හිස පිරිමදින්නට වීමි. ඇය එයට කැමති බැව් මා දනිමි. කුඩා කල මා නිදිකරවන විට නැලවිලි ගී කියමින් ඇය මා හිස පිරිමැදී අයුරු මතක් වී මා දෑස තෙත් විය. මා සිත ඊයම් බරු දහසක් එල්ලා ඇති ලෙසකින් බර වී ඇත.
“ පුතේ… මයෙ පුතා දුක් වෙන්න එපා මයෙ පුතේ… උඹට වරදින්නේ නෑ…. උඹ මෙච්චර දුක් කන්දරාවක් හිතේ තදකරගෙන…. ගත්තු ප්‍රතිපලේ මට මහමෙරක් තරම් පුතේ…. උඹ හෙට උදේම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න මං කියන්නේ…. ඒ උත්තමයානේ අපට මේ විදිහට ජීවත් වෙන්න උදව් කළේ …..” කියමින් ඇය මා දෙස බැලුවා ය.
“ කසුන් සර්…!” කෙසේනම් මා හට අමතක වුනිද? නැත! කෙසේ අමතක වන්නද?මේ තරම් දුරට අධ්‍යාපනය ලැබීමට තරම් මා ජීවිතය ආලෝකවත් කල ඉෂ්ඨ දේවතාවන් වූ ඔහු අසනීප වූ මවත් මාත් මෙලොව කිසිඳු හව් හරණයක් නොමැතිව අසරණ වූ දා ඔහු පෙන්වූ මග නොවන්නට කුසගින්නේම මිය යනවා හැරෙන්නට වෙන විකල්පයක් මා කුඩා සිත ට නොනැගුනි.
“ කොල්ලෝ…. උඹ ඔළුවෙන් වැඩක් ගණින්…. මම ළමයි ටිකක් හොයලා දෙන්නම් ටියුෂන් දෙන්න…”
එදා ඔහු කී ඒ වදන් මා සවනත රැව් පිළිරැව් දුනි.
පිටත අකුණු ගසමින් වහින්නට විය. වෙලාව මැදියම් රැයට මිනිත්තු කිහිපයක් විය. පිටත මෙන්ම ම සිත ඇතුළාන්තයෙන් ද කුණාටුවක් හමමින් තිබුණි.අනාගතය කුමක් ද? ! පාන්දර 5 ට පමණ වර්ෂාව නිමා විය. මා ඇඳෙන් බිමට දෙපා තබා නැගිට්ටෙමි. පෙරදා වීදුරු කටු වලට කැපුණු දෙපතුල් රිදුම් දෙන්නට විය. “ මේ හැමදේම උඹේ වැරදි…”මා මටම කියාගන්නා ගමන් කුස්සිය දෙසට පිය නැගුවෙමි. අම්මාගේ මුහුණ සෝදවා තේ එකක් සාදා දිය යුතුය.
උණු වතුර බේසමක් රැගෙන මා අම්මගේ කාමරයට ගියෙමි. වෙනදාට නම් මේ වනවිට අම්මා අවදි වී සිටින්නීය. හ්ම්ම්….ඊයේ අම්මාත් නිදාගන්නතුව ඇති. මොනවා උනත් අම්මත් හිතන් හිටියේ මං එක පාරින් කැම්පස් යයි කියල.
“ මං දන්නවා මයේ පුතා දොස්තර මහත්තයෙක් වෙනවා…”
මං පන්තියේ පළවෙනියා වූ සෑම වරකම ඇය පැවසුයේ එලෙසය. එවිට අසලින් සිටින අප්පච්චී වචනයක්වත් නොකීව ද මා ළඟට විත් ඔළුවට අත තියා මදෙස හෙලන බැල්ම තුළ ඒ සියලු දෙය කියා පෑවේය…. ඒ මා සතු අතීතයයි. සොඳුරු අතීතයයි. මා සතුව වටිනා ඉරක් හඳක් තිබුණ ද මා ලොවට පෑයූ ඉර අකාලයේ නිවී ගොස් මා ලොව අඳුරු කළේය. දෛවයේ සරදම් මෙතරම් දරුණු ද? සුපුන් සඳක් වන් වූ අම්මා ද අඩපණ කොට දැමුවේ කිමද?
“ අම්මේ….. කෝ.. නැගිටිමු බලන්න…. අපි මුණ ටිකක් හොදගමු…” මා ඇයගේ ඔළුව පිරිමැද ඇඟට අත තැබුවෙමි. ඇයි අම්මා මේ තරම් සීතල….? මා සිත තුළ අකුණු ගසන්නට විය. දෑස් ඉදිරිපිට කණ කොක් රෑනක් පියඹා ගියහ…..
“අනේ… මගේ අම්මේ…….”
කෙතරම් කෑගසුවද යන්න මා හට නිච්චියක් නොවීය. මා සිහි ලබන විට ගෙය තුළ කිහිප දෙනෙකු සිටින බැව් පෙනෙන්නට විය.
“කෝ… මගේ අම්මා…”
“කලබල වෙන්න එපා පුතේ… අපි පුතාට ඉන්නවා….” සරත් මාමා කීවද කවුරුන් හෝ කුස්සියේ සිට කියූ දෙයක් මා සිත දෙබෑ කරගෙන ගිලා බැස්සේය….
“ උගේ පව්කාරකම තමා…. කොල්ලට විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙච්ච දුකට වෙන්නැති රමණි අක්කට ඔහොම වෙන්න ඇත්තේ…”
පව්කාරකම…..? ඔව් පව්කාරකම… මගේ පව්කාරකමට තමයි මේ හැමදේම මටම උනේ නැත්නම් මේ හැමෝටම වෙන්න තිබුණානේ දෙයියනේ දැන් කව්ද මගේ කියලා ඉන්නේ…..? අම්මේ කියල මං කාටද කතා කරන්නේ….? මං ලඟට වෙලා ඔළුව අත ගාන්නේ කාගේද? මම ඇත්තටම අනාථයෙක් උනාද? මා ලොව හිරු සඳු මිලිනව ගොස් ඇත.
ඇදිවත පිටින්ම මා ගෙයින් එලියට බැස්සේ කිසිඳු අරමුණක් ඇතිව නොවුනද පෙරදා රැයේ අම්මා මට කියූ දෑ මසිතට කොහේදෝ සිට පැමිණියේය.
“ උඹ හෙට උදෙන්ම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න… මං කියන්නේ….”
“ සර්….”
මා කසුන් සර් ගේ ගෙදර දොරට තට්ටු කළෙමි. මිනිත්තු කිහිපයකින් දොරෙහි යතුරු කරකැවෙන හඬ ඇසුනේය.
“කවුද….?”
අසමින් දොර වීවෘත කළේ කසුන් සර් ය. ඔහු ඉදිරිපිට මා මෙතෙක් සිත තුළ රඳවා තබා තිබූ දුක්ඛ දෝමනස්සයන් හි පීඩාවන් සියල්ලෙහි ඉවුරු බිඳී ගියේය.
“වරුණ….? අයි පුතේ මේ….?”
“ අනේ සර්…… මගේ අම්මා………………..”
තවත් කෙලින් සිටගත නොහැකි තරමට ම හෙම්බත්ව සිටි මා .. ඔහුගේ දෙපා මුල වැටී සිත තුළ තෙරපාගෙන සිටි සියලු දේ පවසා,දෙනෙතෙහි කඳුළු හිස්ව යනතෙක් හැඬුවේමි. ඔහු කිසිවක් කීවේ නැත. මා දෙවුරෙන් අල්ලා නැගිට්ටුවාගෙන ගෙතුළට ගෙනවිත් පුටුවක ඉඳගන්නට සැලැස්සුවේය. ඔහු නිශ්ශබ්ද ය. මා හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.
“ කියන්න පුතේ.. මොකද උනේ…?” ඔහු කරුණාව දොරේ ගලායන නිවුණු ස්වරයෙන් මා ඇමතුවේය.
මා පෙරදා සිදු වූ සියල්ල කීවෙමි. ඒ ලෙවල් එස් තුන… මගේ සිහින මාළිගාව.. අම්මාගේ සමුගැනීම….. මේ සියල්ල මා කෙසේ දරාගන්නද? සියල්ල කියා අවසන් වූ පසු මා නිහඬ වීමි. මඳ වෙලාවක් ගතවන්නට ඇත. එය කල්ප කාලාන්තරයක් සේ මා හට හැඟෙමින් තිබුණි. මගේ හිස මත දයාබරිතව අත තැබූ ඔහු ආදරණීය ලෙස මා දෙස බැලුවේය.
“ පුතේ…. අද ඉඳන් මං උඹේ අප්පච්චී….”
                                                                                                              නිමි..                                                                                                                                                                                                                                                                                                       
රුවන්දිකා පෙරේරා
කොට්ටාව

1 comment:

  1. ලස්සනට ලියලා තියනවා .කතාවෙ අග, කසුන් සර් ඉන්න කොටස,, තව ඒ දෙන්නගේ දෙබස් ටිකක් ලිව්ව නම්, මීට් වැඩිය emotional වෙයි

    ReplyDelete