එක් නුවරක ඉතාමත් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන එක්
රජෙක් විය.ඔහු දස රාජ ධර්ම වලට අනුකූලව ආගමට හිතැතිව රට පාලනය කලේය.එහෙත් ඔහුට එක්
අයහපත් ගුණාංගයක් තිබුණි. එ තමාට හිතට
සරිලන රූපසම්පත්තියකින් යුත් තරුණියක් දුටු කල ඇයට වසග වී ඇය කෙසේ හෝ තම
අන්තඃපුරයට එක් කර ගැනීමට ඇති ආසාවයි.ඔහුගේ මේ ගුනාංගයට රට වැසියෝ එතරම් කැමැත්තක්
දැක්වූයේ නැත.එහෙත් සමහර පියවරු තම දූවරුන් රජුට ජෝඩු කර අත්මිට සරු කර ගැනීමට
බොහෝ කැමැත්තෙන් සිටියහ. එපමනක් නොවේ
රජුගේ ප්‍රධාන අග බිසව පවා රජුගේ මේ ක්‍රියාවට කිසිවිටෙක පක්ෂව සිටියේ නැත.නමුත්
රජුගේ ඇති බලතල නිසා කවුරුත් මේ ගැන විරුද්ධත්වයක් පල කලේ නැත.එමෙන්ම රජු යම් තරුණියකට ප්‍රේම කලේ නම් තරුණිය රජුට කැමතිද
අකමැතිද යන්න කිසිසේත් රජුට වැදගත් නැත. තරුණිය හොද රූප සම්පත්තියකින් හෙබි නම් ද,විවාහ නොවූයේද
නම් රජුගේ අන්ත්ඃපුරයට ඇතුලත් වීමට එය ප්‍රමානවත් සුදුසු කමකි.
දිනක් රජ වාසලේ
පැවැත්වීමට නියමිත යුධ සංදර්ශනය නැරඹීමට රජ වාසල අවට සියලු ගම්මනවල උදවිය සහබාගී
වන ලෙස රාජ අණක් ලැබී තිබුණි.එහෙයින් ගමේ කවුරුත් මේ සංදර්ශනය නැරඹීමට රජ වාසල වෙත
ගියෝය. මේ සමග රජ
වාසලේ උයන්පල්ලා ලෙස සේවය කරන හීන් බණ්ඩා
ද පවුලේ සියලුදෙනා සමග රජ වාසලට ගියෝය.හීන්
බණ්ඩාට සිටියේ දියණියක් පමණි.ඈ දහනම හැවිරිදි වියේ පසු විය.ඈ බොහෝ
රූපසම්පත්තියකින් යුත් තරුණියකි.අසල ගමක මෙවැනි සුකුමාල තරුණියක් ත්වත් සිටියේ
නැත.රූපයෙන් මෙන්ම චරිත ස්වබාවයෙන්ද ඈ ගමේ අනෙක් තරුණියන්ට කිසිසේත් සමකල නොහැකි
විය. යුධ සංදර්ශනය
ජයටම සිදුවෙමින් තිබුනි.රජුද එළිමහනේ ඉදිකල කුටියට වී මේ සංදර්ශනය නරඹමින්
සිටියේය.මේ සමග රජුගේ සේවක මණ්ඩලය ද පසෙක විය.හීන් බණ්ඩා ඉතමත් රූසපුවකින් යුත්
තරුණියක් සමීපයේ සිටිනු දුටු රජුට ඇතිවූයේ කේන්තියකි.එමෙන්ම රජුගේ රාග සිත
ක්ෂණයෙන් මතු වී ආවේය.රජු රහසින් ඇය දෙස විපරම් කර බැලීය.ඒ සිංහාසනය මත සිටිය
දීමය. හීන් බණ්ඩාගේ එකම දියනිය මෑ බව රජු කිසිවිටෙක දැන
සිටියේ නැත.රජුට ඉවසා ගත නොහැකි විය.රජුට යුධ සංදර්ශනය අමතක වී තිබුනි.ඇගේ රූපශ්‍රීයෙන්
රජු වශී වී සිටියේය. නමුත් යුධ
සංදර්ශනය අවසන් වූ හෙයින් එයට සහබාගී වූ සියල්ලෝම නිවෙස් බලා යාමට සැරසුනි.ඒහෙයින්
රජුට හීන් බණ්ඩාගේ දියණිය එක්වර නොපෙනී ගියේය.රජු කලබල විය.නමුත් මේ රාජකාරී වැඩ
කටයුතු නිසා ඇය ගැන සෙවීමට රජුට නිහැකි විය.
පසු දිනක රජුගේ ප්‍රධාන රාජ පුරුෂයන් දෙදෙනා ගෙන්වා මේ සියල්ල ඔවුනට
පවසා කෙසේ හෝ හීන් බණ්ඩ සමග සිටි තරුණිය පිලිබද තොරතුරක් සොයා ගෙන එන ලෙස රජු
දැන්වීය. එමෙන්ම එයට
හොදින් සලකන බවද රජු ඔවුනට දැන්වීය.රජුගේ මෙම ක්‍රියා කලාපය ගැන මේ රාජ පුරුෂයන් හොදින් දැන සිටියේය. එබැවින් ඔවුන්
හීන් බණ්ඩා වෙසෙන ගමට ගොස් සියලු තොරතුරු
හොදින් දැන ගත්තෝය.පසුව මේ සියල්ල ඔවුන් රජුට දැන්වීය. එමෙන්ම ඔවුන් දෙදෙනා තරුණිය
ගැන බොරු වර්ණනාක් ද සිදු කර රජුගේ රාග සිත හොදින් මෝදු කලේය.මේ වර්ණනාව පැරණි
කවීන් ස්ත්‍රී දේහය ගැන කර ඇති වර්ණනාවන්ට දෙවැනි නොවීය.එසේ කිරීමෙන් තමන්ගේ අත
මිට සරු වන බව මේ රාජ පුරුෂයන් දැන
සිටියහ. දින කීපයකට
පසුව රජතුමා හා පෙර කී රාජ පුරුෂයන්
දෙදෙනා සමග හීන් බණ්ඩාගේ නිවසට සේන්දු
විය.හීන් බණ්ඩා මේ නාදුනන පුද්ගලයන් තිදෙනා දැක විස්මයට පත්විය.නමුත් එක් රාජ පුරුෂයකු තමන් සමග මේ පැමිණ ඇත්තේ අප
රජතුමා බව දැන්වීය.මෙය ඇසූ පමණින් බණ්ඩා බිමට වැටී රජුගෙන් සමාව ඉල්ලීය.
"ඒකට කාරි නෑ
හීන් බණ්ඩො,උබට තියා අග
බිසවටත් බැරි වුනා මාව අදුර ගන්න...!.ඒ තරම් හොදට මට ඇහැකි වෙස් මාරු කර
ගන්ඩ.."
"එහෙමයි දේවයන්
වහන්ස..!,ඔබතුමා ඇයි
මෙහෙ පැමිණියේ;කිව්වනම් මන්
එනව නොවැ ඔබතුමා හදි ගැහෙන්න රජ වාසලට.."
"මේ රාජ කාරියට
මටම එන්න වෙනවා බණ්ඩො..!ඒ තරම් වැදගත් මේ ගමන.."
"මොකද්ද දේවයන්
වහන්ස ඔය තරම් වැද්ගත් රාජකාරිය...? " හීන් බණ්ඩා ඇසුවේ
තරමක් කලබල වූ ස්වරූපයකිනි.රජු පසෙක තිබූ පුටුවක අසුන් ගෙන හීන් බණ්ඩා දෙස
බලා "මන් දැනන් හිටියේ නෑනේ උබට
මෙච්චර ලස්සන දුවක් ඉන්නවයි කියලා." යනුවෙන් පැවසීය.
මෙය ඇසූ හීන් බණ්ඩාට උණ ගැනුනාක් මෙන් විය.ඉස් මොළ රත්
විය.රජුගේ සැගවුනු අරමුණ බණ්ඩා තේරුම් ගත්තේය.රජුගේ මේ ක්‍රියා කලාපයට බණ්ඩ
කිසිසේත් කැමති නැත.තරුණියකගේ විවාහය තමන් කැමති පුරුෂයකු සමග සිදු විය යුතුය යන්න
හීන් බණ්ඩා දැඩිව විශ්වාස කලේය.
"එහෙමයි
හාමුදුරුවනේ..!, ඒක කියන්න
තරම් උවමනාවක් තිබුණෙ නෑ නොවැ.,ඒකයි මන්
නොකීවෙ..!"
"ඒකට කාරි නෑ
බං බණ්ඩො,මන් මේ කියන්න
තැනුවේ උඹ කැමති නැද්ද් මේ ගමේ වෙල් යාය උඹට දෙනවට,තව උඹ මගේ ප්‍රධාන උයන්පල්ලා
වෙන්නත්...."
"මොකද
හාමුදුරුවනේ මන් අකමැති වෙන්නේ.මං කැමතී එහෙම වෙනවනම්."බණ්ඩා පැවසුවේ අදි මදි
කරමිනි.
"එහෙනම්
බණ්ඩෝ..!,මං කාරනාව
කොටින්ම කියන්නම්.මං කැමතී බං උබේ කෙල්ලව මගේ බිසවක් කර ගන්ඩ.උඹ මොකද
කියන්නේ.."
මෙය ඇසූ විට තමාගේ නිගමනය නිවැරදි බව බණ්ඩාට පැහැදිලි
විය.මෙය රාජ අණක් හෙයින් මෙයට විරුද්ධ වුවහොත් තමාගේ හා පවුලේ සැමගේ අවසානය එය බව
ඔහුට වැටහුනි. එහෙයින් රජු තරහ නොකර ගත යුතු යැයි ඔහු සිතීය.
"මයේ නම්
අකමැත්තක් නෑ හාමුදුරුවනේ..!,මං කෙලීගෙනුත්
අහල ඔබ වහන්සේට දන්වන්නම්..."
"ඒකට කාරි නෑ
.උබේ කෙලීගෙනුත් අහල මට දන්වපන්.මං උඹලට සුමානයක් කල් දෙනවා එහෙනම්."
"හොදමයි දේවයන්
වහන්ස,ඔබතුමාගේ
කැමැත්තක්.."යැයි බණ්ඩා පැවසුවේ දෙකට නැමෙමිනි.පසුව රජු සිය නිවසෙන් නික්ම රජ
වාසල වෙත ගියේය.
තමාට සිදුවූ විපත ගැන බණ්ඩා පසු තැවෙන්න විය.පසුව මේ
සියල්ල රත්‍රියේ තම බිරිදට හා දියණියට පැවසීය.ඔවුන් දෙදෙනාම මෙයට අකමැති බව තරයේ
ප්‍රකාශ කලෝය.එමෙන්ම දියණිය තම බිරිදට පමනක් කියූ රහසක් හීන් බණ්ඩාට දැන ගන්නට
ලැබුණි.ඒ තම දියණිය අල්ලපු ගමේ ඉන්නා තරුණයකු සමග පෙමින් වෙලී සිටින බවයි. මෙය ඇසූ හීන් බණ්ඩා
කනස්සල්ලට පත්විය.ඒ තම දියණිය තරුණයකු සමග හාද කමක් පවත්වන නිසා නොව රජතුමා පැනවූ
අණ කෙසේ ඉටු කරන්නේද කියාය. එමෙන්ම රජතුමා
දකින දකින රූමත් තරුණියන් තමාගේ අන්තඃපුරයට එක් කර ගැනීම පිලිබදව ද බණ්ඩා සිටියේ
කේන්තියෙන්ය.අද තමාගේ දියණියට ආලය කලද හෙට තවත් තරුණියකට ආලය කිරීමට රජු
කිසිවිටෙකත් පැකිලෙන්නේ නැත.තම දියණියට මෙවන් ඉරණමක් අත් කර දීමට පියෙකු ලෙස හීන් බණ්ඩා කැමති වූයේ නැත. එමෙන්ම බණ්ඩාට සතුටු
වීමටද කාරණාවක් විය.තම දියණිය පෙමින් වෙලී සිටියේ තමා දන්නා හොද වැදගත් තම කුලයට
ගැලපෙන පවුලක තරුණයකු සමගය.එම තරුණයාට හොද ගතිගුන තිබෙන බව කවුරුත් දනිති.එහෙයින්
තම දියණිය මේ තරුණයාට විවාහ කර දීමට බ්ණ්ඩා තීරණය කලේය.
පසු දින බණ්ඩා හා බිරිද තම දියණියගේ යෝජනාවට මනාප බව
දන්වා එම තරුණයාගේ පවුලට පණිවිඩයක් යැවීය.පසුව පවුල් දෙකම එකතු වී ඉක්මනින් විවාහය
සිදු කිරීමට තීරණය කලේය.රජු දී තිබූ කාලය සුමානයක් බැවින් හතර වන දිනයේ විවාහය
සිදු විය.එහි උත්සවයක් පැවැත් වූයේ නැත.කොටින්ම බණ්ඩාගේ දියණිය තරුණයකු සමග විවාහ වූ බව ගමේ කවුරුන් හෝ
දැන සිටියේ නැත.අලුත විවාහයට පත් වූ යුවල සමග තම බිරිද සමග හීන් බණ්ඩාගේ අයියාගේ
නිවසට පිටත් කලෝය.එම නිවස පිහිටියේ රුහුණු ප්‍රදේශයේ ඈත ගමකය.මේ බව දැන සිටියේ
බණ්ඩා පමණි.මෙය ඉතා රහසිගතව සිදු විය.
රජු ලබා දුන් දින කීපය නිමා විය.හත් වන දිනයේ ද බණ්ඩා
නොපැමිණි නිසා රජු කේන්තියෙන් පිපිරෙමින් සිටියේය.පෙර කී රාජ පුරුෂයන් දෙදෙනා යවා බණ්ඩාගේ දියණිය
බලහත්කාරයෙන් හෝ ඔහු ඉදිරියට ගෙන ආ යුතු බව දැන්වීය.පසුව රාජ පුරුෂයන්
බණ්ඩාගේ නිවස වෙත ගමන් කලෝය.රජතුමා ලබා දුන් රාජ නියෝගය රාජ පුරුෂයන් බණ්ඩාට පැවසීය.ඉන් පසුව බණ්ඩා
පැවසුවේ තමාගේ දුව රජතුමාට අකමැති බවයි.නමුත් ඔහුට ලැබෙන ඉඩම් හා වස්තුව විනාශ කර
ගැනීමට අකමැති නිසා අද රාත්‍රියේ දුව නිදා
ගත් පසුව හොර රහසේ රජ වාසලට රැගෙන යන ලෙස
රාජ පුරුෂයන්ට පැවසුවේ ය. එය බණ්ඩාගේ අපූරු උපායක් විය.ඒ සමග අසල තිබූ රා
කල ගෙඩි දෙකක්ද රාජ පුරුෂයන් හට
පෙන්වීය.ඔවුන් දෙදෙනා මෙය දුටු කල ඇතිවූ
සතුට නිම් හිම් නැති විය.මෑතක දී රා බීමට නොහැකි වූ නිසා ඔවුන් දෙදෙනා රා බීමට
සැරසුනේය.බණ්ඩා ඔවුනට කීයේ තම නිවසේ නොව
ඉදිරියේ ඇති කුඩා පැල් පතට වී රා පානය කරන ලෙසයි.ඒ කවුරුන් හෝ මෙය දුටුව හොත්
ඇතිවනුයේ මහා විනාශයක් නිසාය.ඔවුන් එහි ගොස් ඇති තරම් රා පානය කලෝය.එම කුඩා
පැල්පතේ ඉතා වයස් ගත අනාත වූ මිත්තණියක් පමණක් සිටියාය.ඇයද මොවුන් රා බී මත්ව
සිදුකරනා විගඩම් දැක සිනා සෙමින් සිටියාය. රාත්‍රිය උදා
විය.කවුරුත් පාරේ ගමන් කලේද නැත.හීන් බණ්ඩා
රාජ පුරුෂයන්ට කතා කොට තම දියණිය නින්දේදීම රැගෙන යන ලෙස කීය.ඔවුන්ද මෙයට
අවනත විය.පසුව ඔවුන්ව තම නිවස යැයි පැවසූ නිවසේ දියණිය සිටින බව පවසා රා බී
මත්වූ රාජ පුරුෂයන් එහි යැවීය. ඔවුන් දෙදෙනා වැනෙමින්
ගොස් දියණිය නිදා සිටි කුඩා වැල් ඇද ඔසවාගෙන
රජ වාසල වෙත ගමන් කලේය.
යමක් ඔසවාගෙන එන
රාජ පුරුෂයන් දැක රජතුමාට ඇති වූයේ තරහකි.
"කෙල්ලව ගේන්න
යැව්ව උඹලා දැන්ද බොල එන්නේ.,ඒ මදිවට හොදටම
බීල..!"
" කෑගහන්න එපා
දේවයන් වහන්ස,ඔබතුමා කිව්ව
බණ්ඩාගේ කෙල්ල මෙන්න මේ වැල් ඇද උඩ ඉන්නේ.... වැඩේට ටිකක් රෑ වුනා."
මෙය ඇසූ රජතුමාගේ රාග සිත ඇවුස්සුනි.වහාම තම කුටිය තුලට තරුණිය රැගෙන යන ලෙස පවසා තමා පසුව එන බව දැන්වීය.මේ සියල්ල සිදු
වූයේ දැඩි අදුරේය.නමුත් දල්වා තිබූ ගිනි දැල් මගින් යන්තම් එලිය වැටී තිබුනි. වැල් ඇද සෙමෙන් කුටියේ
බිම තැබූ රාජ පුරුෂයන් එයින් නික්ම
ගියෝය.ටික වේලාවකින් රජතුමා තම ප්‍රථම විවාහ දිනයේ මධු සමයට යන ලෙස හොදින් ඇද පැලද
ගෙන සුවද හමමින් කවියක් ද මුමුණමින් තම කුටියට ඇතුලු වී දොරගුලු දැමුවේය. දැන් මේ සැරසෙන්නේ
ඉතාමත් රූපශ්‍රීයෙන් හෙබි මනරම් දෙව්දුවක් මෙන් බබලන තරුණියකගේ පහස ලබා
ගැනීමටයි.රජතුමා ආලය ලෙස හදුන්වන්නේ මෙම
ක්‍රියාවටයි.රජුගේ කුටිය තුල පවතින්නේ යන්තම් ආලෝකමත් වූ ස්වබාවයකි.මෙය මධු සමය ගත
කිරීමට සුදුසුම අවස්තාව යැයි සිතා රජතුමා සිතින් සතුටු විය.මේ සමග වැල් ඇද මත නිදා
සිටි තරුණිය පෙරවා තිබූ රෙද්ද ඉවත් කිරීමට රජතුමා සැරසුනේ ඇය අවධි කිරීමට සිතාය. එය ඉවත් කල රජතුමාට
දකින්නට ලැබුනේ ඉතා රූමත් සරාගික තරුණියක් නොව ඉතාමත් වයස් ගත වූ
ගැහැණියකි.රජතුමාට ඇති වූයේ දැඩි කේන්තිය මුසු ලැජ්ජාවකි.දෙව්දුවකගේ පහස විදීමට
සැරසුනු රජුට සිදු වූ මෙය කාහටවත් ආරංචි වීමට ප්‍රථම රජු පෙර කී මත් වූ රාජ පුරුෂයන් දෙදෙනා කැදවා නැවත මෙම මිත්තණිය
රැගෙන යන ලෙස දැන්වීය.රජුට සිදුවූ නින්දාව නිසා මෙම රාජ පුරුෂයන් දෙදෙනාට හා හීන් බණ්ඩාට දඩුවම්
කල යුතු බව රජු තරයේ සිතට ගත්තේය.
පසු දින කිසිදු හේතුවක් නොමැතිව රාජ පුරුෂයන් දෙදෙනා උල
තැබීය.නමුත් රජතුමාට කිසි දිනෙක හීන්
බණ්ඩා හෝ ඒ පවුලේ කිසිදු අයෙක් නැවත සොයා ගත
නොහැකි විය…..
….රවිඳු ගයාන් ද සිල්වා….
No comments:
Post a Comment