රත්නපුර පැල්මඬුල්ලේ උපත ලද සීලවතී සිය ගම් පළාතට බෝම ආදරය ඇත්තියකි. සිය ගම් පළාතට මෙන්ම සිය පවුලේ උදවියගේ කරුමාන්තය වූ පතල් කරුමාන්තය ගැන ද සීලවතීගේ හිතේ තිබුණේ එක්තරා ආකාරයක ගරු ගාම්භීර හැඟීමකි. සුමනදාස හා හාද වී හිතුවක්කාර තීරණයක් ගෙන සිය ගමෙන් වහන් වී සුමනදාසගේ ගම් පළාත වූ රුවන්වැල්ල පළාතට පදිංචියට එන්නට සිදු වූවත්, ඈ යටි හිතින් හැමදාමත් පැල්මඬුල්ලට ආදරය කළේ ගම අතහැර ඒම පිළිබඳ දුකක් ද සමඟිනි.
කොහොමින් කොහොම නමුත් මේ වනවිට සුමනදාස සමඟ පුරා වසර විසිපහකට ආසන්න කාලයක් දීග කෑ සීලවතී, සුමනදාසට දාව දියණියන් දෙදෙනෙකු වැදුවා ය. දිනෙන් දින උස් මහත් වූ දියණියන් දෙස බලමින් සුමනදාසත්, සීලවතීත් ගත කළේ බොහොම නිස්කාන්සු දිවි පෙවෙතකි. දෛවයේ ඇති පුදුමාකාර බව පසක් කරන්නට මෙන් ඔවුන්ගේ ලොකු කෙලී වූ අමාලි ඉස්කෝලේ යන අතරතුරේ බසයේදී හමු වූ තරුණයෙකු සමඟ හාද වී සීලවතී මෙන් ම හිතුවක්කාර ලෙසින් හඳපානේ ම ගෙන් පිටමං වූවා ය. දෑස් මෙන් බලා කියා ගත් දැරිවියන්ගෙන් එකෙකු මෙවන් තීරණයක් ගනීවී යැ´යි සිහිනෙනුකුඳු නොසිතූ සීලවතීත්, සුමනදාසත් කළකිරීමෙන් කල් ගත කල ද, සීලවතීට සිය බෑණා කෙරෙහි පැහැදීමක් ඇතිවන්නට පටන් ගත්තේ, මේ තරුණයාද, සිය ගම් පළාතේ අයෙකු බව කණ වැකුණු පසු ය. දෛවයේ සරදමින් ඈත් වන්නට සිදු වූවත්, ඈ හැමදාම ආදරය කළ ගම් පළාත සමඟ නැවතත් සමීප සබඳතාවයක් ඇති කිරීම, සීලවතී දුටුවේ සමන් දෙයිහාන්දුරුවන්ගේ කරුණාවෙන්ම සිදු වූවක් බව ය.
දැන් ඔය ලොක්කිගේ සියලු අලකලංචි සිදු වී වසර පහකටත් වැඩිය. දැන් නම් පොඩි දියණියත් දෙමාපියන්ගේ ආශිර්වාද මැද දීගතල ගොසිනි. දැන් ලොකු එකීට හුරතල් කොලු පැංචෙක් සිටී. මුලින් මුලින් සුමනදාසගේ හිතේ තිබූ නොරිස්සුම් සියල්ල පැංචාගේ හුරතල් මූණ දැකීමෙන් ම දුරුව ගියේ ය. පොඩී එකීත් දැන් දෑ අවුරුදු පැටික්කියකගේ මවකි. දැන් ඉතිං සීලවතීටත්, සුමනදාසටත් එහෙමයි කියා බරක් නැත.
දිනෙන් දින ගත ව ගොස් අවුරුදු ගණන් ගෙවී ගියමුත් මියෙනතුරු ම දෙමාපියන් බලන්නට යාමටත්, කුඩා කල නැරඹුවාට පසුව මහ සමන් දේවාලයේ පෙරහැර බලන්නටත් සීලවතීට අවස්ථාවක් නොලැබුණු තරමි. ලොක්කිගේ ගෙදොර ගොස් ආවත්, දීග දුන් දුවලගේ නිවෙස්වල නතර වී දරුවන්ට කරදර කිරීමට අකැමැති වූ සුමනදාස නිසා සීලවතී කෙදිනකවත් සිය හිතේ තැන්පත් ව තිබූ ආසාව ගැන සුමනදාසට නොකීවා ය. ලොකු දියණියත් සිය පියාගේ දැඩි මත පිළිබඳ දන්නා බැවින් එවන් ආරාධනාවක් නොකළේ, පියා නැවතත් තමා සමඟ උරණ වේ යැ´යි බියෙනි. සීලවතී සිය සැමියාගෙන් සිතැඟි සැඟවූව ද, ලොක්කී හා නිතර නිතර මේ කතාව කියා තිබූ නිසා ම, පියාගෙන් ලැබෙන ඕනෑම ප්‍රතිචාරයකට මුහුණ දීමට සූදානම් ව
"තාත්තේ, මෙදා සැරේ පෙරහැර බලන්න අපේ දිහා එන්නැ"යි
පියාට කීවේ හිතේ පොඩි තිගැස්මකුත් ඇතිවම යි. සීලවතී කෙදිනකවත් සිය සිතැඟි ප්‍රකාශ කර නොතිබුණත් සුමනදාසට සීලවතීව දැනෙයි. වසර ගණනක් දීග කෑ ගෑණිගේ හා හූවන් සුමනදාසට දැන් දැන් තේරෙයි. එහෙයින් සුමනදාස ද ලොක්කීත් මෙය අසනකම් මඟ බලමින් සිටියාක් මෙන්,
"අම්මත් ආසාවේ නැතැ´යි. අපි එන්නම් නේද දුවලගේ අම්මේ. බොහෝම ජයේට තියෙන නිසා අවසන් පෙරහැරම බලමු එහෙනම්"
යැ´යි කී විට අසළ සිටි සීලවතීගේ ඉහේ මලක් පිපුණි.
කුඩා කල මතකය ආවර්ජනය කරමින් පෙරහැර පොළෙන් මිල දී ගත හැකි දේවල් ඈ නිතර සිහියට නැඟුවා ය. කුඩා පන් හැඹිලියක් ගත යුතු බව ඈ කලින්ම සිතේ සනිටුහන් කර ගත් අතර ලොක්කිගේ පැංචාටත්, පොඩ්ඩිගේ කෙලි පැටික්කිටත් සෙල්ලම් බඩුව බැගින් මිල දී ගත යුතු බවත් ඈ තරයේ ම සිහි තබා ගත්තේ මුවඟ සිනහාවකින් ද සරසාගනිමිනි. ඒ වෙනුවෙන් ඈ කාසි පනම් ටිකක් ද පෙර සිටම එකතු කර ගත්තේ හිත පුරා පැතිර ගිය සතුටිනි.
රත්නපුර මහ සමන් දේවාල අවසන් පෙරහැර දිනට පෙර දින උදේ රැයින් අවදි වී පෙර දින කිරි දමා හින්ඳවා ගත් පොළොස් මාලුවත්, සිංහල අච්චාරුත් කෙසෙල් කොළ වල ඔතා ගත්තේ ලොක්කීත්, බෑණාත් පොළොස් මාලුවටත්, සිංහල අච්චාරුවටත් හා හූවක් නැතිවම වග කියන බව දන්නා බැවිනි. සුමනදාසත් සමඟ බස් නැවතුම් පොළ වෙත ගොස් බසයකට නැඟී මුල්ලක වාඩි වී ඔළුව ලේන්සුවකින් වසා බැඳ ගත්තේ, පින්න බෑවී පීනස් අමාරුව ඇති වේ යැ´යි සැකයෙනි.
ලොක්කීගේ ගෙදර යන විට දවල් ආහාරය ගන්නා වෙලාවටත් කිට්ටු වී තිබිණි. අම්මා ගෙනා සිංහල අච්චාරුවත්, පොළොස් මාලුවත් තලු මරමින් කෑ ලොක්කීත්, බෑණාත් දෙස බලමින් ලොක්කී උයා තිබූ දලු කොළ මාලුවත් සමඟ සිංහල හාලේ බත් කෑ සුමනදාස නිවසේ ඉදිරිපස තබා ඇති ඇඳි පුටුවේ ඈඳි ගත්තේ මද වේලාවක් නිස්කාසුවේ සිටීමටයි. ගෙතුළ සිට දිව ආ ලොක්කිගේ කොලු පැංචා සීයා ඈදි ගෙන සිටි පුටු ඇන්දේ වාඩි වී සීයා සමඟ හුරතලයට වැටී සිටිනයුරු දෙස බල බලා සුමනදාසට විටක් කොටා දුන් සීලවතී ගෙතුළට ගියේ ලොක්කී මක් කරන්නේදැ´යි බැලීමට යි. ලොක්කී හරි හරියට වැලිතලප හදමින් සිටී. ඒ දුටු සීලවතීගේ කට කොණට සිනාවක් නැඟිණි.
මොහොතින් මොහොත ගත ව යන්නට විය. දැන් රාත්‍රී දහයත් පසු වී ඇතැයි සීලවතී සිතන්නට වන. බලන බලන අත පොරකමින්, තල්ලු කරමින්, තැනින් තැන ඇවිදිමින් පෙරහැර නැරඹීමට සුදුසු තැනක් සොයන ජන ගඟ ය. මුණුබුරාත් දැන් දැන් නිදි මත පෙරමින් සිටී. එවිටම වාගේ මහා කලබැගෑනියක සලකුණු පෙනෙන්නට ගති. සෙනඟ හිස් ලූ ලූ අත දුවනවාත් සමඟ ම ශබ්ද විකාශන යන්ත්‍රයෙන් මුර ගා කීවේ, අලියෙකු කුලප්පු වී ඇති බවත්, ඉන් බැතිමතුන්ට කිසිඳු හානියක් වන්නට ඉඩ නොදෙන බැවින් කලබල නොකර සිටින ලෙසත් ය. දේවාල පොලිස් මුර පොළට විරුද්ධ පස හිඳ සිටි සීලවතී ඇතුළු පවුලේ සියල්ලෝම ලහි ලහියේ නැඟිට්ටේ විස්මිත ව ලොකුව තිබූ ඇස් ගෙඩි වලින් හාත්පස බලමිනි. ඒත් සමඟ ම කහ පැහැති ඇඳුමකින් සැරසුණු දැවැන්තයෙකු පොලිස් මුර පොළ පිටුපසට දිව යනු සීලවතී දුටුවේ යාන්තමිනි. ඉන් මිනිත්තු කිහිපයක් ගත වීමටත් මත්තෙන් රතු පැහැති ඇඳුමකින් සැරසුණු ඇතෙකු දේවාලයේ සිට පාර දිගේ සෙනඟ දෙසට දිව එන්නට වූයේ හොඬය ද උස්සාගෙන කුංචනාද ද කරමින් පිරී සිටි ජනකාය ගේ සිත්වල භීතිය පුරවමිනි. ඒ දුටුවන ම සීලවතී ගේ දෙපා ඔස්සේ පටන් ගත් හීන් හිරිවැටීමක් සමඟ ම හීතලක් විදුලියක් මෙන් ඇඟ පුරා පැතිර යන්නට විය. හීන් දාඩිය බිංඳු උඩුතොල මතටත්, දෙකණඟිනුත් පහළට රූ රා වැටෙන්නට වන. කුමක් කර කියා ගන්නදැ´යි සීලවතීට නොහැඟේ. හදවත වේගයෙන් ගැහෙනයුරු පිටතටත් ඇසෙන තරමි. දුවා ගන්නට දෙපා වලට වාරු නැතුවාක් මෙනි. කෙලි පැටික්කි වෙනුවෙන් ගත් බෝනික්කි ඇති මල්ල පාගමින් සෙනඟ ඒ මේ අත දිව යයි. මේ අතරතුරේ ය, සුමනදාස සීලවතීගෙ අතින් ඇද ගෙන ම නිලමේ බංගලාව වෙත දුවන්නට වූයේ. සීලවතී දිව්වේ නැත. දිවවිණි. සද්දන්තයා දේවාල මාර්ගයෙහි දිව ගොස් එක්වරම සෙනඟ පිරී සිටි පිට්ටනිය වෙත පැන දුවන්නට විය. සීලවතී සහ සුමනදාස ඊට විරුද්ධ දෙසින් වූ නිලමේ බංගලාව අසළට අමාරුවෙන් දිව යන අතරතුර සීලවතී ගේ හැඹිලිය ද කොහේ හෝ වැටී තිබේ. සීලවතී හැඹිලියත්, බෝනික්කීත් සොයන්නට සිතූව ද,
"දැන් හැඹිලියෙන් කම් නැත. බෝනික්කෙකු ද පසුව මිල දී ගත හැක. මේ වෙලාවේ වැදගත් ම දේ වන්නේ ජීවිත ආරක්ෂා කර ගැනීම යි".
යනුවෙන් සිතන විට ය, සීලවතීට මුණුබුරාත්, දියණියත්, බෑණාත් සිහියට ආවේ. වේගයෙන් ගැහෙමින් හීනි රිදුමකින් බුර බුරා හිරකරවමින් ගැහෙන, උණුසුම් වූ පපුව උඩින් අත තබා ගත් ඈ දැනෙන්නට වූ හතිය අතරින් ම ඒ අසන්නට මුව විවර කරනවාත් සමඟ ම ඈ අවට තිබූ සියල්ල ඇගෙන් ඈතට පාවී බොඳ වී කෙමෙන් මැකී යන්නට විය.
* * * * * * * * * * *
පසු දින සුදු කොඩි වලිනුත් ගොක් කොළ රැහැන් වලිනුත් සැරසී ගත් නිහඬ, මුස්පේන්තු තාන්තුවාවකින් වැසී ගිය පරිසරයක් තුළ ගිලී ගිය නිවසක් වීදීයේ ඈත කොණට පෙනෙන්නට තිබිණි.
ගොක් කොළ රැහැන් ගැට ගසන සෙනඟ අතර දෑ අවුරුදු පමණ වූ දැරියක් මඩ වැකුණු, තැලී පොඩි වී ගිය රෝස පැහැ බෝනික්කියක් තුරුළු කොට ගෙන නිවස තුළ තිබූ සුදු ඔසරිය හැඳි නිසල වූ දේහය දෙස දෑස් දල්වා බලා සිටියේ නොකී කතාවක් දෑස් තුළ තෙරප ගනිමිනි.........
නිමි --රසාංගි චන්ද්‍රසිරි--
No comments:
Post a Comment