RAVINDU GAYAN

RAVINDU GAYAN

Monday, 31 October 2016

රසාංගි චන්ද්‍රසිරි ගේ අලුත්ම කෙටි කතාව

සිව් වෙනි මහලට නැඟි එල්වෝර්ට දකින්නට ලැබුණේ කිසිඳු අයුරකින් ඔහු අපේක්ෂා නොකළ සිත මන්මත් කරවන දසුනකි. එල්සා කවුළුපියන් පත් හැර තමාට පිටු පා ඈත මිහිඳුම් සේලයෙන් වැසී ගියා වූ කඳු පංතීන් දෙස බලා හිඳින්නේ මන්මත් ව ගිය සෙයිනි. තුනී මීදුම් සේලය පසුබිම් ව, ලා නිල් පැහැති විනිවිද පෙනෙන දුහුල් කඩා හැලෙන ගවොමොකින් සැරසී සිටින එල්සාගේ රුව අන් කවරදාටත් වඩා කැපී පෙනේන්නට විය. ඇගේ සිහින් ඇත් දළ පැහැ ගත් සිරුරට කිටි කිටියේ තදව ඇති චාම් ගවොමෙන් සිහින් ඉඟටියත්, දෙඅත් සහ පිටෙහි හැඩය තවත් ඔප් නැංවෙන බවක් එල්වෝර්ට සිතෙයි. කවුළුවෙන් ගලා ආ සුළං කෝඩයෙන් ඉඟටියේ සිට නිදහසේ පහළට කඩා හැලී තිබූ ගවොමේ රැළි, සර සර නදින් ලෙළෙදෙන අයුරු එල්වෝර්ගේ සිතෙහි බරැ´ති ආදර හැඟීමක් එල්සා කෙරෙහි ඇති කිරීමට සමත් ව ඇත්තේ ය. අඩවන් වූ දෙනෙතින් ඇඟේ මන බඳින රූ සපුව උරා ගන්නා එල්වෝර්ට ඇඟේ සුන්දරත්වය විනිවිද යනෙන සියුම් ශෝකාකූල බවක් ද පැතිරෙන බව දැනෙන්නට ගත්තේ සියුම් තැති ගැන්මක් ද හිතේ ඇති කරවමිනි.
පියන්පත් සම්පූර්ණයෙන්ම හැර දමා ඇති කවුළුවෙන් නිවෙස්නට ඇතුල් වීමට අවසර ලැබූ සුළං රැල් අවට වාතය සිසිල් කරවූයේ ඇඟේ හීගඩු ද පිපෙන තරමිනි. තමන් ආ පා හඬ එල්සාට නොඇසුණේ දැ´යි සිතමින්ම බර කොට පියවරක් ඉදිරියට තැබූයේ එල්සාට තමා පැමිණි බව සංකේතවත් කරනු පිණිසම ය. එහෙත් එල්සාගෙන් ප්‍රතිචාරයක් නොමැත. තවත් පියවරක් ඉදිරියට තැබූ එල්වෝර් , ඇමතූ එල්සා
`මා ප්‍රිය එල්වෝර්, ඔබ මෙහි පැමිණි බව දැන්වීම සඳහා මහත් බර පියවර තැබිය යුතු නොවේ... ඔබේ හුස්ම පවා මට දැනේනවා.. ඔබේ හෘද ස්පන්දනය පවා මට ඇසෙනවා... ඔබ ප්‍රාශ්වාස කරන වාතයෙහි සිසිල පවා මට දැනෙනවා මා ප්‍රිය එල්වෝර්...´ යැ´යි පැවසූවේ එල්වෝර් දෙසවත් නොබලමිනි..´
කවුළුවේ දෙපට අත් තබා ගෙන සිටි ඇගේ පිටුපසින්, ඈ වෙත එළැඹි එල්වෝර්... දෙඅත් ඇගේ මන බන්ඳනීය උකුල මතින් ඉදිරියට යවා ඈ සිය සිරුරට තද කර ගනිමින්,
` මා ප්‍රියාවිය, එල්සා..... මට ඒ බව දැන සිටින්නට තිබුණා... සමාවුව මැන...´
යැ´යි පවසමින් මුදුනට කොට බැඳ ඇති ඇගේ සුදු පැහැ කෙස් කළඹට හසු නොවී, නිදහසේ සුළඟ හා එක්ව බෙල්ල මත දඟ කරන කෙහෙ රැළි එකිනෙක සිප ගත්තේ, ඇගේ බෙල්ලද එකී හාදු වලින් නැහැ වී යන අයුරිනි. වෙනදා එවැනි ස්පර්ශයකින් කිති කැවී යන එල්සා නොසෙල්වී.... එක එල්ලේ ඈත කඳු මත ම සිය දෙනෙත රඳවමින් සිටියේ එල්වෝර්ගේ ආදරැ´ති හිත ද තවමිනි. ඇඟේ මේ වෙනස්කම නොතරම් කෙරූ එල්වෝර්,
`මා ප්‍රියාවිය, මේ තෙත් වැහි කෝඩය සහිත සුළං වැදී ඔබව අසනීප කරාවී.... ඔබට සුළඟින්වත් හිරිහැර වෙනවාට මා අකමැතියි එල්සා. අප ගිනි උදුන වෙත ගොස් උණුසුමව හිඳිමු...´
` මා අසනීප කරවීමට කාරණා ඕනෑ තරම් ඇතිවිට, මා අසනීප කරවීමට මේ සුළඟට හැකියාවක් නෑ එල්වෝර්... අනික සී සුළඟින් අසනීප වීමට තරම් මා දුර්වල කාන්තාවක් ද නොවේ..´
` දුර්වල නොවුණත්, ඔබ ඉතාම සියුමැළියි මා ප්‍රියාවිය.. එම නිසා මේ සීත සුළං ඔබට ඔරොත්තු නොදේවි.....´යි
එල්වෝර් පැවසුවේ එල්සාගේ උරහිස් මතින් දෙඅත් තබමිනි.
`සුළඟින් මට කම් නැත එල්වෝර්... මා සවන් යොමු කර සිටින්නේ දුර කඳු මතින් සිහින්ව ඇඳී එන මනෝහර පියානෝ වාදනය වෙතයි. ඒ වාදනය මා මුසපත් කරවනවා එල්වෝර්.... ඔබටත් එය ඇසෙනවා ද??? අසන්න...... එය කෙතරම් මිහිරිද කියා... ඔබට ඇසෙනවාද මා ප්‍රිය එල්වෝර්?.......´
එල්සා පිටුපස හැරී එල්වෝර්ගේ දෑතින් මිදී ඔහුගේ දෙඇස් දෙස බැලුවේ, සීතලෙන් මිදී ගිය වීදුරු මෙන් තියුණු දෙනෙතිනි. ඇගේ විනිවිද යන දෙනෙතෙහි කාන්තිය දරා ගැනීම අසමත් වූ එල්වෝර් ඈත ඉම දෙස බලා ගෙන, අවට පරිසරයට දෙසවන් යොමු කරන්නට විය. ඈත....... ඈත.... පෙදෙසෙක සිට ගලා එන දුබල පියානෝ වාදනය ඔහු සවන්පත් මත රැඳුනෙන්, එල්සා දෙසට දෑස් යොමු කර,
`එසේ ය.... ප්‍රිය එල්සා.... මට ඇසේ... නමුත්.... නමුත්...´
එල්වෝර්ගේ සුදුමැලිව ගිය ප්‍රිය දෙකම්මුල් මත සිය සීතල දෙඅත්ල තැබූ එල්සා, ඔහුගේ සකල ශරීරයම විනිවිදින බැල්මක් ඔහුගේ දෙනුවන සෘජුව රඳවමින්,
`කියන්න ප්‍රිය එල්වෝර්, ඇයි ඔබ පැකිළෙන්නේ..... ඒ පියානෝ වාදනය හදවත පැහැර ගන්නා සුළු නොවෙද? එය මනමෝහනීය වාදනයක් නේද එල්වෝර්....´
`මට සමා වෙන්න එල්සා....´ එල්වෝර් සිය දෙකම්මුල් මත රැදුණු එල්සාගේ සීතල දිගැටි දෙඅත් තුඩු මත සිය දෙඅත රඳවමින්,
`එහි සුන්දරනීය බවට යටින් දිවෙන, ශරීරය කිළිපොලා යන අන්දමේ විස්තර කළ නොහැකි අන්දමේ මහා භයානක බවක් රැඳී ඇති බවක් මට හැඟෙනවා..... හරියට...... හරියට මිනීමරු වාදනයක් වගේ........ ම.....මට සමාවෙන්න එල්සා.... ඒ වාදනය මා පීඩාවට පත් කරවන සුළුයි …………´
`නැහැ මා ප්‍රිය එල්වෝර්, නැවතත් හොඳින් ඔබේ සවන් යොමු කරන්න. වඩාත් සංකීර්ණ වන්නට එපා.... ඔබේ දැන් සිතුවිල්ලට කිට්ටු, එහෙත් ඊට ඉඳුරා වෙනස් යමක් ඔබට හැඟේ දැ´යි අසා බලන්න...´
නැවතත් දුබල සිතින් ගැස්මකින් යුතුව, දුබල මූසල පියානෝ වාදනයට සවන් යොමු කෙරූ එල්වෝර්.... සිය බෙල්ල වටා අත පටළා ගෙන මුහුණට එබී ගෙන නිසොල්මනේ සිටින එල්සාගේ උකුළ වටා අත් දවටා ගනිමින්, විශ්මය මුසු සැළෙන දෙනෙතින් එල්සා දෙස බලා...
`අහෝ එල්සා, එය නම් හරිම බයංකරයි... එය හරියට ළතෝනියක් වගේයි...දිගු කලක් දුක සඟවා සිටි අයෙක්ට හඬක් ලැබී ඇතුවා වාගෙයි... හරිම ජුගුප්සාජනකයි..... ගුප්ත යි..... වේදනාකාරී යි..... අසා සිටින්නන් හඬවන සුළුයි... බිය වද්දන සුළුයි...´
එල්වෝර්ගේ දෙඋර මතින් අත් තබා ගත් එල්සා... ඔහුගේ දෙඋර තදින් සොළවමින්, සිනාමුසු මුවඟින්,
`හරියටම හරි එල්වෝර්... ඔබ හරියටම හරි.... එය වින්දිතයෙකුගේ විලාපයක්... ශෝක ගීයක්... ලේ තැවරුණු ශෝකයක්... ඔබ කිවූ සේම, ඒ වාදනය ජුගුප්සාජනකයි, බියකරුයි, ගුප්තයි, වේදනාකාරියි.... ඔබට එය ඇසුණා ම සිතෙන්නෙ නැද්ද එල්වෝර්.... මේ උදා වී තිබෙන්නේ මිනීමරුවන්ගේ වාරය නොවෙයි, වින්දිතයන්ගේ වාරය බව...... කියන්න එල්වෝර් මට හැඟෙන දේම ඔබටත් දැනෙනවාද.....?´
වියරුවෙන් මෙන් ඔහුගේ උරහිස් සොළවමින් කෑ මොර දෙන එල්සා දෙස විශ්මයාවහ දෙනෙතින් බලා සිටින එල්වෝර්
`එල්සා.... එල්සා.... ඔවැනි භයානක කතා ඔබේ මනසට එන්නේ කොහින්ද? එළැඹෙන සතියෙහි යෙදී ඇති අපගේ විවාහයට ඔබේ මනස යොමු කරන්න මා ප්‍රියාවිය... ඔවැනි නොවැදගත්, අප්‍රිය සහගත විශ කැවුණු සිතුවිලි වලින් ඔබේ සියුමැළි හදවත පුරවා ගෙන දුක් වන්නට එපා... සිහියෙන් පසුවන්න මා ප්‍රියාවිය.. සිහියෙන් පසු වන්න...´
`එසේ නම් ඔබත් සිතන්නේ මා උමතුවෙන් බව ද එල්වෝර්? ඇයි කිසිවෙකුටත්, මගේ හදවත තේරුම් ගත නොහැකි....? මොහොතකටවත් ඔබට සිතෙන්නේ නැද්ද එල්වෝර්.... මේ මිහිඳුමින් වැසී ගිය නිහඬ, ගුප්ත කඳුකරය සඟවා ගත් යමක්, නිතර අප වටා සැරිසරන බව... ඇයි ඔබට නොවැටහෙන්නේ....? කියන්න ඔබට එවැන්නක් හැඟේ නේද? ´
කියූ එල්සා, එල්වෝර්ගෙන් මිදී නැවතත්, කවුළුව වෙත හැරී ගොස් විනිවිද යන බැල්මකින් නැවතත් කඳුකරය වෙත නෙත් රඳවා දෙඅත් පටලා නිසොල්මන් විය.
`එල්සා ඔබ.....´ කී එල්වෝර් දෙස පිටුපස හැරී බලා කිසිවක් නොපවසන ලෙස අතින් සන් කළ එල්සා,
` මගේ කැඳවීමට මෙහි පැමිණියාට ස්තූතියි මා ප්‍රේමවන්ත එල්වොර්... කරුණාකර මට හුදෙකලා වීමට දෙන්නේ නම් තවත් ස්තූතිවන්ත වෙමි. නැවත හමුවෙමු මා ප්‍රිය එල්වෝර්... ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ´යි
පවසා නැවතත් අනෙක් පස හැරී කඳු දෙස නෙත් රැඳ වූ එල්සා දෙස බලා හුන් එල්වෝර් නිහඬව ම, ආ ලෙසින් ම තරප්පු පෙළින් පහළට බැස ගියේ නොපහන් සිතිනි. ඉක් ඉක්මණින් සිව් මහලින් බැස එළිමහනට විවෘත ව ඇති ප්‍රධාන දොරටුවෙන් ප්‍රධාන උද්‍යාන මාවත දිගේ මඳ දුරක් ගොස් එල්සා සිටි සිව් මහල් කවුළුව දෙස බලන විටත්, එල්සා නොසෙල්වී දුර කඳු දෙස අයා ගත් දෑසින් යුතුව බලා සිටිනු එල්වෝර්ට පෙණුනි. පැතළි ගනකම් වාටිය සහිත හම් හිස්වැස්ම හිස ලා, රිදී කොපුවක් එබ්බ වූ බස්තම ගල් ඇල්ලූ උද්‍යාන මාර්ගය මත හඬ නැඟෙන පරිදි පතිත කරමින්, පහතට යොමු කර ගත් හිසින් යුතුව එල්වෝර් ගමන් ගත්තේ එල්සාගේ අමුතු හැසිරීම පිළිබඳ වූ සිතිනි. ...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      --රසාංගි චන්ද්‍රසිරි--                

Saturday, 22 October 2016

අසූ තුනේ කලබලේ---දිල්ෂාරා පීරිස්

අපේ අම්මා අදටත් සමහරදාට ඉට්ලි සමඟ කුලම්බු හොද්දක් කටට රසට පිළියෙල කරයි. උප්පුමා,උළුදු වඩේ,චපාති එකී මෙකී නොකී රසවත් ආහාරයන්ගෙන් අපේ බඩ කට පුරවයි.හකුරුයි,මුං ඇටයි දාල හදන මෝදගම් කෑමට රුසියා මමය. අලුත් අවුරුද්දට අපේ නැන්දලා අපේ ගෙදරට දුව එන්නේ උඳු පිටි වලින් හදපු මුරුක්කු කන්න මහත් ආසාවෙනි.පිල්ලේ දොස්තර මහතාගේ තුන් මහේ දානේ පන්සලටත් කෝවිලටත් දීමට දූ දරු පිරිස ලහි ලහියේ සූදානම් විය.ගේ දොර අස්පස් විය.
‘මේ කොළ පාට පිඟන් ටික පරිස්සමින් සෝදලා දෙන්න ලොකු දුව’ කියමින් අම්මා මගේ අතට පිඟන් කිහිපයක් දුන්නාය.
‘මේ පරණ පිඟන් වගයක්නේ අම්මේ..’
‘පරණ වුණාට කමක් නෑ හෝදලා දෙන්න අරන් තියන්න.අසූ තුනේ ගෙට ගහපු වේලාවේ ඉතුරු වුණ පිඟන් ටික ඔය.’
‘අම්මට ඒ පිඟන් තාම මතකයිනේ’
අම්මා නිහැඬියාවක නිමග්න විය.
යාපනය ගම්දොර වූ සෙල්ලප්පා ගණපති පිල්ලේ ලංකා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා ලංකාවේ හතර දිසාවේ තම සේවය නොපිරිහෙලා ඉටු කළ පුද්ගලයෙකි.අසූ ගණන් වල සේවා ස්ථානය වූයේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවය. එහා ගමේ පිහිටි ඔහුගේ නිවසද රෝගීන්ට බෙහෙත් ශාලාවක් විය.
ලේ නෑ සබඳකමට අනුව බත් පිඟාන නොබෙදු පිල්ලේ දොස්තර මහතාත් මාතර පාතේගම පදිංචිකාරියක වූ ඔහුගේ බිරිඳ ක්ලේරා වික්‍රමසිංහත් මා පිය සෙනෙහස රැකවරණය නොදත් මගේ අම්මාට ජාතියට ජම්මෙට එහා ගිය මා පිය සෙනෙහසක් ලබා දුණි.
කිළිනොච්චියේදී දකුණේ හමුදා සෙබළු දහතුන් දෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කොට ඇති බව රත්මලානෙන් මළ සිරුරු ගොඩ බෑමත් සමඟ කොළඹ අවට මිනිසුන්ගේ පපු කුහරයන්ට එය ආරංචි විය. දඬු මුගුරු මන්නා පිහියා මදින්නට විය. භූමිතෙල් බෝම්බ හැදිණි.කුපිත වූ සිංහල මිනිස්සු කොළඹ පදිංචිව සිටින දෙමළ මිනිස්සු සොයමින් පන්නා පන්නා මරන්නට සූදානමි විය. එකම කළු වළාවකි. ආමර් වීදියේ සිට බේරුවල දක්වා වූ කඩ එක පෙළට එකිනෙක එකිනෙක වැසි වැසී යන්නට විය. ටයර් රෝද නොව නිරයේ ගිනි රෝද විය. කුමක්දෝ මේ භයංකරත්වය .කුමක්ද මෙය. මහාදුම් වළාවන් කොළඹ ලැව් ගිනි කොහෙන්ද. ගාලු මුවදොර සමුද්‍රයා සැරසී සිටින්නේ අඳුරු පුවතක් හා දොඩමළු වන්නටය.
‘කෝ මේ හැතිකරේ ..’
‘පර බල්ලෝ’
‘දෙමළ පාදඩයෝ’
‘බැහැපිය දොට්ට..’
‘බොලට මේකේ ඉඩක් නෑ බොලව් පලයව් වන්නියටම’
එදා තරම් බය වුණ දවසක් මගේ ජීවිතේ නැහැ.අම්මා යළිත් අසූ තුනට ගියේ මාත් සමඟය.‘ඉස්සර තිබුණේ යකඩ ලයිට් කණුනේ,ගැහුවම ලොකු සද්දයක් යනවා. මෝදර සොල්දර කඩේ ජිනරතන යකඩකින් ලයිට් කණුවට ගැහුවා.බැහැපිය දෙමළ හැතිකරේ එළියට කියාගෙන.නෝනා එළියට බහින්න හැදුවා මමයි සෝමෙයි ඉඩ දුන්නේ නෑ අපි බෙරිහන් දීලා කෑ ගැහුවා.
ඔය මිනිස්සුන්ම තමයි මහ රෑට ළමයින්ට වලිප්පුව හැදුනම ඩිස්පැන්සරියට විතරක් නෙවේ ගෙදරටත් දුවගෙන එන්නේ.අපේ මහත්තයා වෙනම ලොකු බේසමක් තියන් ඉන්නේ ගෙදරත්;බේසමේ වතුරට දාලා තමයි කටට හැන්දක් දීලා තමයි බෙහෙත් දෙන්නේ.විශ්ව විද්‍යාල ළමයින් අර උද්‍‍ඝෝෂණවල ගේට්ටු කඩාගෙන එන්නේ .ඒ වගේ තමයි එදා මුළු මොරටු ගම් දහ අටේම මිනිස්සු අපේ මහ ගේට්ටුව කඩා ගෙන ආවේ මහත්තයව මරන්න.ගෙදර මේ වෙනකොටත් මායි සෝමෙයි නෝනයි හිටියේ..අපි තුන් දෙනාම සිංහල හන්දා මුකුත් කළේ නැහැ.ගෙදර තිබුණු දේවල් අරන් ගියා සේරම. උදේ හත වෙද්දි බ්‍රෝකර් ධනපාලගේ පුතා “නීල්”ලොකු ඔරලෝසුව කරේ තියන් ගියේ.
මගෙයි සෝමෙගෙයි ඇදුම් අපි වත්තේ තිබුණු ටැංකියව දාලා පොල් අතු වලින් වැහුවා. තව ගෙදර බඩු වගයක් වත්ත පහළට අරන් යනකොට ‘නිලියොන් අප්පු’ කසිප්පු ගහලා කෑ ගහගෙන ඇවිත් ‘දොස්තර නෝනව මං බේර ගන්නව’ ‘නෝන අතවත් තියන්න එපා මේ බඩු වලට මං කාටවත් මේවට අත තියන්න දෙන්නේ නැහැ.’ කිය කිය ඉන්නවා.අපිට බඩු ටික හංගන්න හම්බුනෙ නැහැ නිලියොන් අප්පුගේ වදෙ පොරේ හන්දා.පස්සේ දැන ගත්තේ ඌත් ඇවිත් තියෙන්නේ බොරු කියාගෙන.ගෙට ගහපු උදවිය එවලා තියෙන්නේ ඔත්තු බලන්නයි.බඩු හංගන එක නවත්තන්නයි.මුරට ආපු පොලිස්කාරයෝ දෙන්නා පැයක් විතර ඉදලා එස්.පී මහත්තයාගේ ගේ මුර කරන්න ඕන කියලා ගියා. පැයක් එකහා මාරක් යද්දි හැංගිලා හිටපු මිනිස්සු අමෝරාගෙන ආවා.
‘දෙමලුන්ට මෙහෙ ඉන්න දෙන්නෙ නෑ .බැහැපියව්’ කිය කිය කඩා වැදුනා ගෙට. කැති, මාළු කපන පිහි,මන්න,දිග තුවක්කු බට අරගෙන ආවේ. විටා ගෑනිගේ අතේ ලොකු භූමිතෙල් කෑන් එකක් තිබුණා මට මතකයි.මායි සෝමෙයි උදේ කලබල වෙලාවේ තාප්පෙට තියලා තිබුණු ඉණිමගෙන් එහා වත්තට පැනලා. ලොකු පඳුරක් තිබුණා.ඒකට මුවා වෙලා හිටියේ.
මං බලන් ඉන්නවා ගෙයි වහල දිහා දුමක් එනකන්. ඇයි ඉතින් මේ මිනිස්සු ආවේ ගෙට බෝම්බ දානවයි කියාගෙනනේ.ටිකක් වෙලා යද්දි මහා වෙඩි හඬක් ඇහුණා.සෝමෙයි මමයි තබ්බීරි වෙලා බලන් හිටියා.හිමින් නැගිටලා බලද්දි පොලීසියෙන් අහසට වෙඩි තියනවා. ගත්තු බඩු තැන් තැන්වල දම දමා මිනිස්සු සී සී කඩ දුවනවා.
අපි දෙන්නා ගෙදරට යන්න තාප්පෙට නැග්ගා රූටලා රූටලා.ඉස්සරහ යතුර තියෙන පෝච්චිය ළඟ නෝනගේ හවරිය දැකලා මගේ පපුව හෝස් ගලා ගියා තාම මතකයි.දෙයියනේ මහ හයියෙන් කෑ ගහගෙන මායි සෝමෙයි ගෙට පැන්නා. අපි දෙන්නම හිතුවෙ නෝනව ගෙයි මරා දාලා කියලා.බැලින්නම් නෝනා අපිට කලින් ඉණිමගෙන් එහා වත්තට පැනලා ගෙවල් අස්සෙන් අස්සෙන් සියල්ගේ අම්මවත් තල්ලුකර ගෙන ගිහින් තියෙන්නේ තිස් නමයේ ගෙදරට. පොලිස් කාරයෝ එක්කන් එන්න.
සෙන්ද්‍රික් ලේන් එකේ ඉඳන්ම මරලතෝනි දිදී ගිහින් තියෙන්නේ දොස්තර මහත්තයගේ ගේ කඩනවෝ කියා ගෙන.යනකොට පොලිස් මහත්තුරු දෙන්නා ජීප් එකේ තේ බොනවලු ඒවා එතනම දාලා පොලීසියෙන් ආවා ඉක්මණට. ඒ නිසා ගේ ගිනි තියන්න උණේ නැහැ උන්ට.කොළඹ හිටිය දෙමළ මිනිස්සු විතරක් නෙවේ. හොරණ බේරුවල දර්ගා වල හිටපු දෙමළ මිනිස්සු මරලා දාලා කියලා ආරංචි උණා අපිට. මරණ බයෙන් ගැහි ගැහි හිටියේ. සිංහල උණත් අපිව මරා දායි කියලා. අපිවත් දැනන් හිටියේ නැහැ මහත්තයා කොහේ හැංගිලා ඉන්නවද කියලා. සතියක් විතර හැංගිලා ඉදලා තියෙන්නේ වැල්ලවත්තේ කරුණාදාස කියලා ලොකු කරවල මුදලාලි කෙනෙකුගේ බංගලාවක.
ඒ වෙනකොට කොළඹ දෙමළ මිනිස්සුන්ව නැවෙන් යාපනයට පැටෙව්වා
මහත්තයත් නැවෙන් යාපනයට ගිහින්.
පහුවෙනිදා රෑත් පෙන්සියා වත්තේ සුමනෙ දුවගෙන ආවා. ගඟේ ගිහින් කකුලක් කාවට්ටියකට කපාගෙන ලේ පෙරාගෙන.‘මහත්තයෝ මහත්තයෝ වදින්නම් බුදු මහත්තයෝ මේකට බෙහෙත් ටිකත් වක් කරන්න.ඇදුන් කනවා මහත්තයෝ ඉන්න බෑ දෙයියනේ.’කියාගෙන.
නෝනා මහත්තයෝ පිල්ලේ මහත්තයා ආවද?
‘පපුව මහන්සිය ඉන්න බෑ. අනේ මහත්තයා ඉන්නවනම් මහන්සි පෙත්තක් ඉල්ලලා දෙන්න නැත්නම් මෙතනම කූරියා ගහයි නෝනේ’ වැල්ලේ මයිකලයගේ ගෑණී එහෙම අඳෝනාව කිය කිය ඉදලා එක පයින්ම ‘දෙමළු මුන් කෙහේද අපට බෙහෙතක් දෙන්නේ.හෙණම ගහපිය.’කියා ගෙන ගියා යන්න.දවස් හයක් හතක් ගියා ජූලි 29 එදා ‘කොටි කොළඹට ආවෝ’ කියාගෙන දුවගෙන එනවා බස්වල මිනිස්සු .
“පිල්ලෙගෙ ගෙට ගිනි තියාපියව් මොකටද තව බලන් ඉන්නෙ.”
ඊට කලින් ඉදලම මෙහෙම කලබල ඇති වුණාම රිචඩ් බාසුන්නෙහැලගේ ගෙදර තමා හැංගිලා ඉන්නේ.එදා එහේ යන්නවත් ලැබුණේ නැහැ.
ලොකු ට්‍රක් වගේ වාහනේකින් තුන් දෙනෙක් ආවා.කතුරක් දික් කරගෙන ආවේ.ඇඳන් යටයි දොර මුළු අස්සෙයි වත්තෙයි හැමතැනම මහත්තයව හෙව්වා .හොයා ගන්න බැරි තැන කකුලේ තිබිලා වේළුණු පරණ තුවාලයක් පෙන්නලා . ‘නෝනා මහත්තයා කරන්න දෙයක් නෑ මහත්තයා අපිට බෙහෙත් දාලා තියෙනවා අපි මහත්තයව මරන්න ආවේ’.සමාවෙන්න කියලා තමා ඒ මිනිස්සු තුන්දෙනා ගියේ.එදා පොලීසියෙන් වටේට මුර හිටපු නිසා ගේ ගිනි තියන්න ඉඩක් ලැබුණේ නැහැ.
පොලිස් පොතේ පැමිණිලි වලට අනුව ගෙට ගැහුව මිනිස්සුන්ව ඇල්ලුවා.ගෙට ගහනකොට ගෙදර බඩු මුට්ටු හංගපු තැන් කියලා පොලීසියෙන්ම ඒවා අරන් ආවා. මට දෑවැද්දට දුන්න මැෂිමක් තිබුණේ එගොඩඋයන ස්ටේෂම ගාව වැල්ලේ වලදාලා.අසු පහේ වත්තෙයි ස්කාගාරවත්තෙයි හංගපු බඩු ආයේ අපිට හම්බුණා.ජනෙල්වලට කොල අලවගෙන තමා පිරිමියෙක් නැතිවත් සෝමෙයි මායි නෝනයි හිටියේ.මාස ගණනකට පස්සේ මහත්තයා ආවා නැවෙන් ආපහු.ගරා වැටිච්ච ගේ දැකලා රෑ දවල් නොබලා මහන්සියයි සල්ලියි නොබලා බෙහෙත් දුන්න මිනිස්සු කරල තියෙන දේ දැකලා මහත්තයා හරියට කලකිරුණා.ගෙට ගහපු කීප දෙනෙක්ට නඩුත් වැටුණා. පැන්සියා වත්තේ ජිනරතනට සොල්දර කඩේ ඉඩම පවා උකස් තියන්න උණා නඩුවලට සල්ලි නැතුව.
පස්සේ නෝනගෙනුයි මහත්තයාගෙනුයි සමාව ඉල්ලලා වැඳ වැටුණා. නඩුව ඉල්ලලා අස්කරලා දෙන්න කියලා.
උසාවියේදී පැන්සියා වත්තේ නඩු වැටුණ හැමෝටම වන්දියක් නැතුවම සමාව දුන්නට දණ ගහලා වැන්දා උසාවියෙදීම මුළු පැන්සියා වත්තම.....                                                                                                                                                                                                                                                
දිල්ෂාරා පීරිස්
කොළඹ විශ්වවිද්‍යාලය

Friday, 21 October 2016

දෙයතක දෑත්--ප්‍රියාශා රන්වල

කොටුවට කෝච්චියෙන් ඇවිත් හා හා පුරා කියලා ඔහුව සෙව්වෙ හිතකින් නෙමේ.දහසක් දේවල් ඇගේ ඔලුව ඇතුළෙ කැරකි කැරකි තිබ්බ.ගැහැණු පිරිමි වෙලා දෙගොල්ලක් උපදින්නෙ ඇයි කියන එක ඇගේ ඔලුවට වද දුන්නා.තුන්වෙනි වේදිකාවෙ ඉඳල මඟුල් මුදුව දාගෙන උන්න අතෙන් ඔහු අත වනද්දී, ඈ විවාහ ගිවිස ගෙන උන්න මුදුව දාගෙන හිටිය අත ඔහුට වැනුව..ඔහුගෙ මඟුල් මුදුව ඇගේ ඇහේ කොනක් නිලංකාර කරද්දීම ඈ ඔහු වෙත පියමැන්නෙ විවාහ ගිවිසි මුදුවත් පිරිමදිමිනුයි.
ඈ දුටු ඔහුගේ සතුට ඉපිලුන දෑස්,කිණිස්සක් ළය මඬල පසාරු කරන් යනවා වගේ ඇයට දැනුණා..දත් අස්සෙ පුළුන් ගුලියක් හිර වෙලා වගේ ඈ අමාරුවෙන් හිනාවක් එළියට දැම්මෙ හිතකින් ද අහිතකින් ද කියන එක ඇයටම සිතා ගන්න බැරි වුණා.මොහොතකට අංගවිකල වුණා වගේ ඇයට දැනුණා..ඒත් ඔහුට නම් ඒක වගක්වත් වුණ පාටක් පෙනුනෙ නෑ..
“ගෝල්ෆේස් යමු”
ඔහු එක එල්ලෙ ඇගේ දෑස් දිහා බලල කියද්දි මැරිල ඉපදුණ වගේ ඇයට දැනුණා..මඟුල් මුදුව රැඳි ඒ අත ගැන ඇයට මහ පිලිකුලක් වගේ දැනුණත් ඉස්සරහට තිබ්බ කකුල ආයෙ පස්සට ගන්න බැරි විකාර සිතිවිල්ලක් ආවා.ෆෙයරි ටේල් ෆැන්ටසි ලෝකේ නා නා සිතිවිලි බඹරයක් වගේ ඔලුවෙ කැරකෙන්න ගනිද්දි බස් එකට නැගල ඔහුගෙ උරිසෙ නොගෑවී ඉන්න මුද්ද තිබ්බ අත දිහා නොබල ඉන්න ඈට දුෂ්කර ක්‍රියා කරන්නත් බය හිතුණෙ කවුරුහරි දකී කියන සුපුරුදු අදහසෙන්.ඇගේ විවාහ ගිවිසි මුදුව ඔහු කිසිදු පිලිකුලක් නැතුව පිරිමැද්දා.ඔලුවේ මහ බර ගතියක් දැනෙද්දිම දෙන්නම ගෝල්ෆේස් එක ළඟින් බැස්සෙ මුනිවත රැකල….
ගෝල්ෆේස් හෝටලේ වෙඩින් කපල් එකක් ෆොටෝ ගන්නව දකිද්දි ඇගේ හිත කීරි ගැහිල ගියා.ඉක්මනටම ඈ කුඩෙන් ඔහුවත්,ඇයවත් වසා ගත්තෙ කවුරුහරි දෙන්නගෙ අත් දකී කියල බයේ.මුහුදු රැලි වෙනදටත් වඩා වේගෙන් පෙරලෙන සද්දෙ ඈට ඇහුනා.මඟුල් මුදුව අව්වට දිලිසෙනව ඈ දැක්කෙ සර්පයෙක්ගෙ හැවක් දිලිහෙනව වගේ.ගෝල්ෆේස් සරුංගල් ඉබාගාතේ අහසේ පාවෙවී තියෙනව ඈ දැක්ක.
“අපේ ජීවිත දෙකත් හරියට මුහුද වගේ”
කියල ඔහුගේ හඬ යට ගියා මූදෙ රැල්ලත් එක්කම.ඉක්මනටම ඈ පියමැන්නෙ අනිත් කපල්ස් වාඩි වෙලා ඉන්න බංකු දිහාවට.මූදු රැලි ගොඩක් ඈතයි කියල ඈට හිතුන.
“මං වගේමදෝ මෙයාලත්?” හිතෙන ගමන්ම වාඩි වුණ සැරේ ඉක්මනටම කුඩෙන් දෑත් වසා ගත්ත දෙන්නගෙම.දැන් මූණු දෙක විතරයි පේන්නෙ රතු වෙලා සුදුමැලි වෙලා ගිය.අව් රැල්ලට ගෝල්ෆේස් සරුංගල් හෙම්බත් වෙලා වගේ ඔහේ පාවි පාවි තියෙද්දි ඔහුගේ ඔලුව ඇගේ උරිස මත නතර වුණා.විවාහ ගිවිස ගත් මුදුව තිබුණ අතෙන් කාටත් නොපෙනෙන්න ඔහුගෙ හිස හෙමිහිට පිරිමැද්දෙ ඇගෙ අත ගිනියම් වෙලා යද්දි.ඔහුත් මඟුල් මුදුව තිබ්බ අතෙන් ඇගේ කම්මුල අල්ලල ඒ ඇස් දිහා බලා උන්නා.ඒකෙ ගිනියමත් ඈට දැනුණ.මුහුදෙ හෝ ගාන සද්දෙ කන් ඇතුළෙ පෙරලෙනවා වගේ ඈට හිතුනා.
විවාහ ගිවිස ගත් මුද්දෙ පාට අව්වට වියැකිල යනව වගේ පෙනෙද්දි ඔහුගේ මඟුල් මුද්ද රත්තරන් පාට පෙන්නන්න වලි කෑවා.කුඩේකින් වැහිල තිබුණ ඒ අත් දෙක ඇතුළේ තමන්ගේ ලෝකේ තමන්ට හොයා ගන්න බැරිව දෙන්නම අතරමං වෙලා උන්නා.ඔහුගේ කිසිම විලවුන් සුවඳක් ඈට හොයා ගන්න නොහැකි වෙද්දි ඔහු ඇගේ උරිස උඩින් මඟුල් මුදුව රැඳි අත තිබ්බා.හඳුන් කූරක ගිනි පුපුරු වැටිල වෙන ක්ෂණික පිච්චීම වගෙයි ඈට එය දැනුණෙ.විවාහ ගිවිස ගත්ත මුද්දෙ තිබුණ මැණික් ගල ඉගිලිල යන්න හදනවා වගේ අත වෙව්ලුන් කෑවා.ඔහු තමන්ට ආදරේ කියන වචනෙ ඇහුනෙ චිරි චිරි ගාන රේඩියෝ එකෙන් වචන කැඩි කැඩි ඇහෙනව වගේ.ඈට කිසි දෙයක් කියන්නවත් විදියක් නැතිව උගුර බැරැණ්ඬි වෙලා වගේ දැනුණ.නොදැනුණ ලුණු රහකින් ඇගේ තොල් තෙත් වෙලා ගියා.
“මගේ ලෝකේ මට ඔයා ළඟ මුණගැහුණා”
ඒක ඈට ඇහුනෙ හීන ලෝකෙක දෝංකාර දිදී වගේ.කාට දොස් පවරන්න දැයි හිතා ගන්න බැරි වෙද්දි සරුංගලේක නූල කැඩිල මූද දිහාට ඇදෙනව ඈ බලා හිටියා.ඔහුගේ මඟුල් මුදුව තාම රන් පාටට දිලිසුන හැන්දෑ අව්වට.ඈට යන්න ඕන වුණා,ඒ අත මඟ ඇරල.ඒ නිසා ඈ එතනින් නැගිට්ටෙ කුඩේ අකුලන ගමන්ම.ඔහුත් ඇගේ අත අවසාන වතාවට පිරිමදින්න හදද්දි ඈ ඒක ප්‍රතික්ෂේප කළේ කොහෙන්දෝ ආව පිලිකුලක් ඈව වසා ගනිද්දි.දෙන්නම කොටුව කෝච්චියට නගින්න ආවෙ කිසිම කතාවක් නැතිව.වේදිකා දෙකක කෝච්චි දෙකක් දෙපැත්තට යන්න ලෑස්ති වෙද්දි ඔහු නැවතත් මඟුල් මුදුව තිබුණ අතින් ඈට අත වැනුවත් හිත හදාගෙන විවාහ ගිවිසි මුදුව රැඳි අත ඔසවන්න ඈට හයියක් තිබ්බෙ නෑ.ඒ අතින් අල්ලන් ඈ අමාරුවෙන් කෝච්චියට නැග්ගා.ආයෙමත් ඒ මඟුල් මුදුවෙ අත ඈ දිහා බලා ඉන්නවා කෝච්චියෙ ජනේලෙන් ඈ යන්තම් දැක්කා.
නිමි
                                         ප්‍රියාශා රන්වල
                                          බොරලැස්ගමුව

Thursday, 20 October 2016

--රජුගේ අලුත් බිසව----රවිඳු ගයාන් ද සිල්වා

එක් නුවරක ඉතාමත් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන එක් රජෙක් විය.ඔහු දස රාජ ධර්ම වලට අනුකූලව ආගමට හිතැතිව රට පාලනය කලේය.එහෙත් ඔහුට එක් අයහපත් ගුණාංගයක් තිබුණි. එ තමාට හිතට සරිලන රූපසම්පත්තියකින් යුත් තරුණියක් දුටු කල ඇයට වසග වී ඇය කෙසේ හෝ තම අන්තඃපුරයට එක් කර ගැනීමට ඇති ආසාවයි.ඔහුගේ මේ ගුනාංගයට රට වැසියෝ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.එහෙත් සමහර පියවරු තම දූවරුන් රජුට ජෝඩු කර අත්මිට සරු කර ගැනීමට බොහෝ කැමැත්තෙන් සිටියහ. එපමනක් නොවේ රජුගේ ප්‍රධාන අග බිසව පවා රජුගේ මේ ක්‍රියාවට කිසිවිටෙක පක්ෂව සිටියේ නැත.නමුත් රජුගේ ඇති බලතල නිසා කවුරුත් මේ ගැන විරුද්ධත්වයක් පල කලේ නැත.එමෙන්ම රජු යම්  තරුණියකට ප්‍රේම කලේ නම් තරුණිය රජුට කැමතිද අකමැතිද යන්න කිසිසේත් රජුට වැදගත් නැත. තරුණිය හොද රූප සම්පත්තියකින් හෙබි නම් ද,විවාහ නොවූයේද නම් රජුගේ අන්ත්ඃපුරයට ඇතුලත් වීමට එය ප්‍රමානවත් සුදුසු කමකි.
දිනක් රජ වාසලේ පැවැත්වීමට නියමිත යුධ සංදර්ශනය නැරඹීමට රජ වාසල අවට සියලු ගම්මනවල උදවිය සහබාගී වන ලෙස රාජ අණක් ලැබී තිබුණි.එහෙයින් ගමේ කවුරුත් මේ සංදර්ශනය නැරඹීමට රජ වාසල වෙත ගියෝය. මේ සමග රජ වාසලේ උයන්පල්ලා ලෙස සේවය කරන හීන්  බණ්ඩා ද පවුලේ සියලුදෙනා සමග රජ වාසලට ගියෝය.හීන්  බණ්ඩාට සිටියේ දියණියක් පමණි.ඈ දහනම හැවිරිදි වියේ පසු විය.ඈ බොහෝ රූපසම්පත්තියකින් යුත් තරුණියකි.අසල ගමක මෙවැනි සුකුමාල තරුණියක් ත්වත් සිටියේ නැත.රූපයෙන් මෙන්ම චරිත ස්වබාවයෙන්ද ඈ ගමේ අනෙක් තරුණියන්ට කිසිසේත් සමකල නොහැකි විය. යුධ සංදර්ශනය ජයටම සිදුවෙමින් තිබුනි.රජුද එළිමහනේ ඉදිකල කුටියට වී මේ සංදර්ශනය නරඹමින් සිටියේය.මේ සමග රජුගේ සේවක මණ්ඩලය ද පසෙක විය.හීන් බණ්ඩා ඉතමත් රූසපුවකින් යුත් තරුණියක් සමීපයේ සිටිනු දුටු රජුට ඇතිවූයේ කේන්තියකි.එමෙන්ම රජුගේ රාග සිත ක්ෂණයෙන් මතු වී ආවේය.රජු රහසින් ඇය දෙස විපරම් කර බැලීය.ඒ සිංහාසනය මත සිටිය දීමය. හීන්  බණ්ඩාගේ එකම දියනිය මෑ බව රජු කිසිවිටෙක දැන සිටියේ නැත.රජුට ඉවසා ගත නොහැකි විය.රජුට යුධ සංදර්ශනය අමතක වී තිබුනි.ඇගේ රූපශ්‍රීයෙන් රජු වශී වී සිටියේය. නමුත් යුධ සංදර්ශනය අවසන් වූ හෙයින් එයට සහබාගී වූ සියල්ලෝම නිවෙස් බලා යාමට සැරසුනි.ඒහෙයින් රජුට හීන් බණ්ඩාගේ දියණිය එක්වර නොපෙනී ගියේය.රජු කලබල විය.නමුත් මේ රාජකාරී වැඩ කටයුතු නිසා ඇය ගැන සෙවීමට රජුට නිහැකි විය.
            පසු දිනක රජුගේ ප්‍රධාන  රාජ පුරුෂයන් දෙදෙනා ගෙන්වා මේ සියල්ල ඔවුනට පවසා කෙසේ හෝ හීන් බණ්ඩ සමග සිටි තරුණිය පිලිබද තොරතුරක් සොයා ගෙන එන ලෙස රජු දැන්වීය. එමෙන්ම එයට හොදින් සලකන බවද රජු ඔවුනට දැන්වීය.රජුගේ මෙම ක්‍රියා කලාපය ගැන මේ   රාජ පුරුෂයන් හොදින් දැන සිටියේය. එබැවින් ඔවුන් හීන්  බණ්ඩා වෙසෙන ගමට ගොස් සියලු තොරතුරු හොදින් දැන ගත්තෝය.පසුව මේ සියල්ල ඔවුන් රජුට දැන්වීය. එමෙන්ම ඔවුන් දෙදෙනා තරුණිය ගැන බොරු වර්ණනාක් ද සිදු කර රජුගේ රාග සිත හොදින් මෝදු කලේය.මේ වර්ණනාව පැරණි කවීන් ස්ත්‍රී දේහය ගැන කර ඇති වර්ණනාවන්ට දෙවැනි නොවීය.එසේ කිරීමෙන් තමන්ගේ අත මිට සරු වන බව මේ  රාජ පුරුෂයන් දැන සිටියහ.                                                                                                                                                                                   දින කීපයකට පසුව රජතුමා හා පෙර කී  රාජ පුරුෂයන් දෙදෙනා සමග හීන්   බණ්ඩාගේ නිවසට සේන්දු විය.හීන් බණ්ඩා මේ නාදුනන පුද්ගලයන් තිදෙනා දැක විස්මයට පත්විය.නමුත් එක්   රාජ පුරුෂයකු තමන් සමග මේ පැමිණ ඇත්තේ අප රජතුමා බව දැන්වීය.මෙය ඇසූ පමණින් බණ්ඩා බිමට වැටී රජුගෙන් සමාව ඉල්ලීය.        
"ඒකට කාරි නෑ හීන් බණ්ඩො,උබට තියා අග බිසවටත් බැරි වුනා මාව අදුර ගන්න...!.ඒ තරම් හොදට මට ඇහැකි වෙස් මාරු කර ගන්ඩ.."
"එහෙමයි දේවයන් වහන්ස..!,ඔබතුමා ඇයි මෙහෙ පැමිණියේ;කිව්වනම් මන් එනව නොවැ ඔබතුමා හදි ගැහෙන්න රජ වාසලට.."
"මේ රාජ කාරියට මටම එන්න වෙනවා බණ්ඩො..!ඒ තරම් වැදගත් මේ ගමන.."
"මොකද්ද දේවයන් වහන්ස ඔය තරම් වැද්ගත් රාජකාරිය...?  " හීන් බණ්ඩා ඇසුවේ තරමක් කලබල වූ ස්වරූපයකිනි.රජු පසෙක තිබූ පුටුවක අසුන් ගෙන හීන් බණ්ඩා දෙස බලා  "මන් දැනන් හිටියේ නෑනේ උබට මෙච්චර ලස්සන දුවක් ඉන්නවයි කියලා." යනුවෙන් පැවසීය.
මෙය ඇසූ හීන් බණ්ඩාට උණ ගැනුනාක් මෙන් විය.ඉස් මොළ රත් විය.රජුගේ සැගවුනු අරමුණ බණ්ඩා තේරුම් ගත්තේය.රජුගේ මේ ක්‍රියා කලාපයට බණ්ඩ කිසිසේත් කැමති නැත.තරුණියකගේ විවාහය තමන් කැමති පුරුෂයකු සමග සිදු විය යුතුය යන්න හීන් බණ්ඩා දැඩිව විශ්වාස කලේය.
"එහෙමයි හාමුදුරුවනේ..!, ඒක කියන්න තරම් උවමනාවක් තිබුණෙ නෑ නොවැ.,ඒකයි මන් නොකීවෙ..!"
"ඒකට කාරි නෑ බං බණ්ඩො,මන් මේ කියන්න තැනුවේ උඹ කැමති නැද්ද් මේ ගමේ වෙල් යාය උඹට දෙනවට,තව උඹ මගේ ප්‍රධාන උයන්පල්ලා වෙන්නත්...."
"මොකද හාමුදුරුවනේ මන් අකමැති වෙන්නේ.මං කැමතී එහෙම වෙනවනම්."බණ්ඩා පැවසුවේ අදි මදි කරමිනි.
"එහෙනම් බණ්ඩෝ..!,මං කාරනාව කොටින්ම කියන්නම්.මං කැමතී බං උබේ කෙල්ලව මගේ බිසවක් කර ගන්ඩ.උඹ මොකද කියන්නේ.."
මෙය ඇසූ විට තමාගේ නිගමනය නිවැරදි බව බණ්ඩාට පැහැදිලි විය.මෙය රාජ අණක් හෙයින් මෙයට විරුද්ධ වුවහොත් තමාගේ හා පවුලේ සැමගේ අවසානය එය බව ඔහුට වැටහුනි. එහෙයින් රජු තරහ නොකර ගත යුතු යැයි ඔහු සිතීය.
"මයේ නම් අකමැත්තක් නෑ හාමුදුරුවනේ..!,මං කෙලීගෙනුත් අහල ඔබ වහන්සේට දන්වන්නම්..."
"ඒකට කාරි නෑ .උබේ කෙලීගෙනුත් අහල මට දන්වපන්.මං උඹලට සුමානයක් කල් දෙනවා එහෙනම්."
"හොදමයි දේවයන් වහන්ස,ඔබතුමාගේ කැමැත්තක්.."යැයි බණ්ඩා පැවසුවේ දෙකට නැමෙමිනි.පසුව රජු සිය නිවසෙන් නික්ම රජ වාසල වෙත ගියේය.
තමාට සිදුවූ විපත ගැන බණ්ඩා පසු තැවෙන්න විය.පසුව මේ සියල්ල රත්‍රියේ තම බිරිදට හා දියණියට පැවසීය.ඔවුන් දෙදෙනාම මෙයට අකමැති බව තරයේ ප්‍රකාශ කලෝය.එමෙන්ම දියණිය තම බිරිදට පමනක් කියූ රහසක් හීන් බණ්ඩාට දැන ගන්නට ලැබුණි.ඒ තම දියණිය අල්ලපු ගමේ ඉන්නා තරුණයකු සමග පෙමින් වෙලී සිටින බවයි. මෙය ඇසූ හීන් බණ්ඩා කනස්සල්ලට පත්විය.ඒ තම දියණිය තරුණයකු සමග හාද කමක් පවත්වන නිසා නොව රජතුමා පැනවූ අණ කෙසේ ඉටු කරන්නේද කියාය. එමෙන්ම රජතුමා දකින දකින රූමත් තරුණියන් තමාගේ අන්තඃපුරයට එක් කර ගැනීම පිලිබදව ද බණ්ඩා සිටියේ කේන්තියෙන්ය.අද තමාගේ දියණියට ආලය කලද හෙට තවත් තරුණියකට ආලය කිරීමට රජු කිසිවිටෙකත් පැකිලෙන්නේ නැත.තම දියණියට මෙවන් ඉරණමක් අත් කර දීමට  පියෙකු ලෙස හීන් බණ්ඩා කැමති වූයේ නැත. එමෙන්ම බණ්ඩාට සතුටු වීමටද කාරණාවක් විය.තම දියණිය පෙමින් වෙලී සිටියේ තමා දන්නා හොද වැදගත් තම කුලයට ගැලපෙන පවුලක තරුණයකු සමගය.එම තරුණයාට හොද ගතිගුන තිබෙන බව කවුරුත් දනිති.එහෙයින් තම දියණිය මේ තරුණයාට විවාහ කර දීමට බ්ණ්ඩා තීරණය කලේය.
පසු දින බණ්ඩා හා බිරිද තම දියණියගේ යෝජනාවට මනාප බව දන්වා එම තරුණයාගේ පවුලට පණිවිඩයක් යැවීය.පසුව පවුල් දෙකම එකතු වී ඉක්මනින් විවාහය සිදු කිරීමට තීරණය කලේය.රජු දී තිබූ කාලය සුමානයක් බැවින් හතර වන දිනයේ විවාහය සිදු විය.එහි උත්සවයක් පැවැත් වූයේ නැත.කොටින්ම බණ්ඩාගේ  දියණිය තරුණයකු සමග විවාහ වූ බව ගමේ කවුරුන් හෝ දැන සිටියේ නැත.අලුත විවාහයට පත් වූ යුවල සමග තම බිරිද සමග හීන් බණ්ඩාගේ අයියාගේ නිවසට පිටත් කලෝය.එම නිවස පිහිටියේ රුහුණු ප්‍රදේශයේ ඈත ගමකය.මේ බව දැන සිටියේ බණ්ඩා පමණි.මෙය ඉතා රහසිගතව සිදු විය.
රජු ලබා දුන් දින කීපය නිමා විය.හත් වන දිනයේ ද බණ්ඩා නොපැමිණි නිසා රජු කේන්තියෙන් පිපිරෙමින් සිටියේය.පෙර කී  රාජ පුරුෂයන් දෙදෙනා යවා බණ්ඩාගේ දියණිය බලහත්කාරයෙන් හෝ ඔහු ඉදිරියට ගෙන ආ යුතු බව දැන්වීය.පසුව  රාජ පුරුෂයන්  බණ්ඩාගේ නිවස වෙත ගමන් කලෝය.රජතුමා ලබා දුන් රාජ නියෝගය   රාජ පුරුෂයන් බණ්ඩාට පැවසීය.ඉන් පසුව බණ්ඩා පැවසුවේ තමාගේ දුව රජතුමාට අකමැති බවයි.නමුත් ඔහුට ලැබෙන ඉඩම් හා වස්තුව විනාශ කර ගැනීමට අකමැති නිසා අද රාත්‍රියේ  දුව නිදා ගත් පසුව හොර රහසේ රජ වාසලට රැගෙන යන ලෙස   රාජ පුරුෂයන්ට පැවසුවේ ය. එය බණ්ඩාගේ අපූරු උපායක් විය.ඒ සමග අසල තිබූ රා කල ගෙඩි දෙකක්ද  රාජ පුරුෂයන් හට පෙන්වීය.ඔවුන් දෙදෙනා මෙය දුටු කල  ඇතිවූ සතුට නිම් හිම් නැති විය.මෑතක දී රා බීමට නොහැකි වූ නිසා ඔවුන් දෙදෙනා රා බීමට සැරසුනේය.බණ්ඩා ඔවුනට කීයේ  තම නිවසේ නොව ඉදිරියේ ඇති කුඩා පැල් පතට වී රා පානය කරන ලෙසයි.ඒ කවුරුන් හෝ මෙය දුටුව හොත් ඇතිවනුයේ මහා විනාශයක් නිසාය.ඔවුන් එහි ගොස් ඇති තරම් රා පානය කලෝය.එම කුඩා පැල්පතේ ඉතා වයස් ගත අනාත වූ මිත්තණියක් පමණක් සිටියාය.ඇයද මොවුන් රා බී මත්ව සිදුකරනා විගඩම් දැක සිනා සෙමින් සිටියාය.                                                                                                                                                                         රාත්‍රිය උදා විය.කවුරුත් පාරේ ගමන් කලේද නැත.හීන් බණ්ඩා   රාජ පුරුෂයන්ට කතා කොට තම දියණිය නින්දේදීම රැගෙන යන ලෙස කීය.ඔවුන්ද මෙයට අවනත විය.පසුව ඔවුන්ව තම නිවස යැයි පැවසූ නිවසේ දියණිය සිටින බව පවසා රා බී මත්වූ   රාජ පුරුෂයන් එහි යැවීය. ඔවුන් දෙදෙනා වැනෙමින් ගොස් දියණිය නිදා සිටි කුඩා වැල් ඇද ඔසවාගෙන  රජ වාසල වෙත ගමන් කලේය.
යමක් ඔසවාගෙන එන  රාජ පුරුෂයන් දැක රජතුමාට ඇති වූයේ තරහකි.
"කෙල්ලව ගේන්න යැව්ව උඹලා දැන්ද බොල එන්නේ.,ඒ මදිවට හොදටම බීල..!"
" කෑගහන්න එපා දේවයන් වහන්ස,ඔබතුමා කිව්ව බණ්ඩාගේ කෙල්ල මෙන්න මේ වැල් ඇද උඩ ඉන්නේ.... වැඩේට ටිකක් රෑ වුනා."
මෙය ඇසූ රජතුමාගේ රාග සිත ඇවුස්සුනි.වහාම  තම කුටිය තුලට තරුණිය රැගෙන යන ලෙස  පවසා තමා පසුව එන බව දැන්වීය.මේ සියල්ල සිදු වූයේ දැඩි අදුරේය.නමුත් දල්වා තිබූ ගිනි දැල් මගින් යන්තම් එලිය වැටී තිබුනි. වැල් ඇද සෙමෙන් කුටියේ බිම තැබූ  රාජ පුරුෂයන් එයින් නික්ම ගියෝය.ටික වේලාවකින් රජතුමා තම ප්‍රථම විවාහ දිනයේ මධු සමයට යන ලෙස හොදින් ඇද පැලද ගෙන සුවද හමමින් කවියක් ද මුමුණමින් තම කුටියට ඇතුලු වී දොරගුලු දැමුවේය. දැන් මේ සැරසෙන්නේ ඉතාමත් රූපශ්‍රීයෙන් හෙබි මනරම් දෙව්දුවක් මෙන් බබලන තරුණියකගේ පහස ලබා ගැනීමටයි.රජතුමා ආලය ලෙස හදුන්වන්නේ  මෙම ක්‍රියාවටයි.රජුගේ කුටිය තුල පවතින්නේ යන්තම් ආලෝකමත් වූ ස්වබාවයකි.මෙය මධු සමය ගත කිරීමට සුදුසුම අවස්තාව යැයි සිතා රජතුමා සිතින් සතුටු විය.මේ සමග වැල් ඇද මත නිදා සිටි තරුණිය පෙරවා තිබූ රෙද්ද ඉවත් කිරීමට රජතුමා සැරසුනේ  ඇය අවධි කිරීමට සිතාය. එය ඉවත් කල රජතුමාට දකින්නට ලැබුනේ ඉතා රූමත් සරාගික තරුණියක් නොව ඉතාමත් වයස් ගත වූ ගැහැණියකි.රජතුමාට ඇති වූයේ දැඩි කේන්තිය මුසු ලැජ්ජාවකි.දෙව්දුවකගේ පහස විදීමට සැරසුනු රජුට සිදු වූ මෙය කාහටවත් ආරංචි වීමට ප්‍රථම රජු පෙර කී මත් වූ  රාජ පුරුෂයන් දෙදෙනා කැදවා නැවත මෙම මිත්තණිය රැගෙන යන ලෙස දැන්වීය.රජුට සිදුවූ නින්දාව නිසා මෙම   රාජ පුරුෂයන් දෙදෙනාට හා හීන් බණ්ඩාට දඩුවම් කල යුතු බව රජු තරයේ සිතට ගත්තේය.

පසු දින කිසිදු හේතුවක් නොමැතිව රාජ පුරුෂයන් දෙදෙනා උල තැබීය.නමුත් රජතුමාට කිසි දිනෙක  හීන් බණ්ඩා හෝ ඒ පවුලේ කිසිදු  අයෙක් නැවත සොයා ගත නොහැකි විය…..                                                                  
….රවිඳු ගයාන් ද සිල්වා…. 

Tuesday, 18 October 2016

අලුත් ඉරක්---රුවන්දිකා පෙරේරා

මැදියම් රැයත් ගෙවී ගොස්ය. මාගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලිකරන්නා වූ අදහස් තුළට නිදි දෙව් දුව ලඟා නොවූ සැටියකි. මෙලෙස හිත පෙරලි කරන්නා වූ සතියට මරණය සැපතකි. ක්‍ෂණයෙන් කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එක්වරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිපවරක්ම ගසා ගත්තෙමි. ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ සිතින් ම මරණයට ඇත වනමින් සිටින්නෙමි. මා අසලට විත් වැළඳගන්නේ නම්….
මා වීදුරුව බිඳී ගිය ජනේලයෙන් අහස තුළ ඇති අන්ධකාරය තුළ ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුළින් පිටවී එනවිට මා සිත තුළ පැවති රික්තකය දෙගුණයක්, තුන් ගුණයක්, සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිර විහිදී ඇති සෙයකි.
හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැති මම මගේ හිස මම ම පිරිමැද ගතිමි. කෙහෙරැල් තුළින් ඇඟිලි තුඩු යවා පිරිමදින විට දහදිය මුහුවී එකට ඇලුණු කෙහෙ රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමි.ඒ වේදනාව ද මා හට ප්‍රියජනක විය. කාමරය ද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නාසයට ලං කළෙමි. දහදිය සමඟ මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇගිල්ලක් තබා එය සෙමෙන් පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක් ද?
අතෙහි තැවරුණු ලේ බිඳු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි. තුඃ නොදකින්! මලකඩ රසක් එන්නේ මන්ද? මා සිත මවිසින්ම යකඩයක් බවට පත් කර බොහෝ කල් ය. නමුත් එයට කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුළින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත් ඔළුකට්ට පසාරු කළ තුවාලයෙන් එළියට පැන ඇත.
මෙතෙක් මා මැවූ සිහින මාළිගා මා ඉදිරිපිටම සුන්නද්දුලි වී ගොස් ය.උසස් පෙළ සමත් වී වෛද්‍යවරයෙකු වන්නට, මාදෙස හෑල්ලුවට නෙත් හෙළුවන් දෙස ආඩම්බරයෙන් බලන්නට, දේවතාවියක් වූ අම්මාගේ අවසන් කාලයවත් සැපවත් කරන්නට මා විසින් මැවූ සිහින මාලිගාවේ අඩිතාලමෙන් ම පුපුරා ගොස් මේ වනවිට පැය ගණනාවක් ගෙවී ගොස් හමාරය.
******************
“ ඒ වෙනුර….. අද රිසාල්ට් ඇවිත් ……… යමුද ඉස්කෝලේ පැත්තේ….? “
අරවින්ද වැටට උඩින් පැන එමින් කතා කරනවිට ම විසින් අම්මාට ලුණු කැඳ කෝප්පයක් පොවා අවසන් කළා පමණි. ඔහුගේ කටහඬින් ඇගේ දෑසේ ඇති වූ දීප්තිය මා හැඳින ගත්තෙමි. ඒ ඈ සිත තුළ ඉතිරි වී ඇති අවසන් බලාපොරොත්තුව මා බැව් අප්පච්චී අප තනිකර ගිය දා සිට මා දැන සිටියෙමි.
“ පොඩ්ඩක් හිටපන් මං ලෑස්ති වෙලා එන්නම්……”
එසේ කියමින් මා ගෙතුලට ගියද පාසල වෙත ගොස් විභාග ප්‍රතිපල බැලීමේ උනන්දුවක් නොව උදාසීන කමක් මසිත තුළ ඇති විය. මා සෙමෙන් සෙමෙන් කමිසයේ බොත්තම් පියවීමි. මා මන්දගාමී වී ඇත ඉක්මන් වන්නට තැත් කළද කාන්දමකට ඇලී පවතින යකඩයක් වෙන් කරන්නට දරන වෑයම මෙන් මා මන්දගාමී තත්වයට ඇදෙමින් තිබුණි.
“ මොනවද බං මෙච්චර වෙලා කරන්නේ…?”
“හරි… හරි… යමු ….”
කියමින් මා කාමරයෙන් එලියට පැමිණියෙමි. “ මේ… මොකද මේ….?” උඹ කාමරේට වෙලා මොනව කළාද…..? ඔලුව පීරගේනවත් නෑ… නින්දෙන් නැගිටලා වගේනේ බං ……”
ළගට ආ අරවින්ද ඔළුව අතින් පීරුවේය. “හා … දැන් යමන් අපේ දොස්තර මහත්තයෝ ….” අරවින්ද පෙරමුණ ගත්තේ ය.
“ අම්මේ…. මං ගිහින් එන්නම්….” මම අම්මාට වැන්දෙමි. අරවින්ද ද මා පසුපස විත් අම්මාට වැන්දේය.
“බුදුසරණයි මයේ පුතේ… පරිස්සමෙන් ගිහින් එන්න… මං දන්නවා මයේ පුතාට වරදින්නේ නෑ….”
“හ්ම්ම්ම්… “ මට කියවුනේ එපමණකි. මසිත දැවී හළු වී ගියේය.
පාසලට යන මඟ දිගට අරවින්ද කතා කළේය.
“ මට ෂුවර් බං උඹනම් ඉතින් ආයෙත් නෑ කැම්පස් ම තමයි… අනේ ඉතින්… දෙයියනේ කියලා මටනම් එස් තුනකින් හරි ශේප් වෙන්න තිබුණොත් ඒ ඇති…. ජොබ් කට්ටක්වත් හොයාගන්න….”
ඒ අතරතුර මසිත ඇදී ගියේ උසස් පෙළ විභාගය ලියූ දින කිහිපය ය. ඇත්තෙන්ම මට සිදු වූයේ කුමක්ද? පාසලටම සිටි දක්ෂතම සිසුවා වූ මා කෙරෙහි සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියහ. ප්‍රශ්න පත්‍රය අතට ගත් මොහොතේ මුළු සිරුර පුරාවටම ඇදී ගිය විදුලියක් සමඟ මා අඩපණ වී ගියෙමි. කෙසේ පිළිතුරු ලිව්වාදැයි මා හට දැනුදු අවබෝධයක් නොමැත. දැන් කෙසේනම් ලොවට මුහුණ දෙන්නද…. ? මා පාසලට යා යුතු ද? එලෙස සිතමින් මනෝ ලොව තුළ සැරිසැරූ මා පියවි සිහිය ලැබුවේ අරවින්ද මා අතින් අදිනවාත් සමඟ ය.
“ කොහෙද යකෝ පාර මැදට යන්නේ….? අදම වාහනේකට යටවෙලා මැරෙන්නද හදන්නේ….? යමන් ඉස්කෝලේ ඇතුළට… අන්න අපේ කට්ටිය නෝටිස් බෝර්ඩ් එක ළඟ…”
ආපසු හැරෙන්නට වෙලාවක් නැත. මා බිමට හරවාගත් හිසින් යුතුව අරවින්ද පසුපස ඇදුනෙමි. අප දෙදෙනා පන්තියේ අනිත් සගයන් වෙත ගියා පමණි. ඔවුන් අතර තිබු කසු කුසුව නැවතුණි. ඔවුන් දෙස බැලීමට මා හට දැඩි ආයාසයක් ගැනීමට සිදු වූයේ වරදක් කළ හසු වුවෙකු විලසිනි.
“ කෝ…. අයින් වෙයල්ලා ….. අපේ කොල්ලගේ රිසාල්ට් බලන්න…” අරවින්ද රැස්ව සිටියවුන් දෙපසට කරමින් නෝටිස් බෝර්ඩ් එක අසලට ගියේය. මා තවත් සිටියේ බිම බලාගත්වනමය. කවුරුන් හෝ මා කරට අතක් දා ඔහු අසලට ඇදගත්තේය. වෙන කවුරුවත් නොව ඒ අරවින්ද ය. මා දියාරු හිනාවක් මුහුණට ඈදා ගැනීමට තැත් කළෙමි.
“ වරුණ…. රිසාල්ට්…. බලන්න ඕනෙද…?” අරවින්ද ගොත ගසමින් ඇසූ විට එය සිදුවී ඇති බව මට සිතාගත හැකි විය. කැම්පස් සිහිනය බොඳ වී ඇත!
“ඕනේ නෑ….. අපි යන් …..” මා අනෙක් සඟයන් දෙස බලා සිනාසුණෙමි. මද දුරක් යන තෙක් අප දෙදෙනා නිහඬව ගමන් කළෙමු.
“ ගණන් ගන්න එපා බං අපි ඔක්කොම දන්නවනේ උබ කොච්චර ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙනද එග්සෑම් කළේ කියල…. ඒ අතින් උඹ ෆේල් නොවී එස් තුනකින් හරි ගොඩ දාගත්ත එකත් ලොකු දෙයක් බං….”
“ හ්ම්ම්ම්………” එය මට විසඳුමක් නොවීය. ඉදිරියට මා කුමක් කළ යුතුද? අප්පච්චී නැති වූ දා සිට අංශභාග රෝගියෙකු වූ අම්මා බලාගන්නට මා හට මහත් වූ දුෂ්කර ක්‍රියාවක නිරත වන්නට සිදු විය. පාසල් ගොස් පැමිණ පොඩි උන් හට විද්‍යාව,ගණිතය උගන්වා සොයාගත් රුපියල් සත වලින් මෙතෙක් ජීවිතය ගැටගසා ගත්තෙමු. මින් ඉදිරියට මා කුමක් කරන්නද? සුළු රැකියාවක්? නැත ! මා ඉලක්කය සපුරාගත යුතුය.
“ ආ….. වරුණ පුතේ…. අද ප්‍රතිපල ඇවිත්ලු නේද ….? සමුපකාරයෙන් එලියට එමින් සමන්ති නැන්දා ඇසුවාය.
“ ඔව් නැන්දේ .. මේ ගිහින් එනගමන්…. අපි යන්නම් ආ….” අරවින්ද මගේ කරට අත දමා ගමන ඉක්මන් කළේ එතැනින් ගැලවීමට මගේ තිබූ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙනි.
“ඔය ගෑනිට කිව්වනම් ගමම ගිනි තියල… ගෙදර යන්න කලින්… මන් දන්නැද්ද ඔය ගෑනිගේ කට”
අප්පච්චී නැති වූ පසු ජීවිතය ගොඩ ගැනීමට මාර්ගයක් සොයන මා හට දිනක් සමන්ති නැන්දා පැමිණ යෝජනා කළේ ඇගේ සැමියාගේ කොන්ත්‍රාත් වැඩපලෙහි සිමෙන්ති අනන්න එන ලෙස ය. නමුදු ඉගෙන ගැනීමට තිබූ සිහිනය එම රැකියාවට පයින් ගැසී ය .
“පුතේ…..”
අම්මාගේ කටහඩින් මා නැවත පියවි සිහිය ලැබුවෙමි. කාමරය තවමත් අඳුරේ ගිලී ඇත. අම්මාගේ සිහින් කෙඳිරිලි හඩක් ඇසේ. මා දඩි බිඩි ගා බිමට පැන්නේ මා ආවේගයෙන් අතට හසු වූ බෝතලයෙන් දමා ගසා බිඳ දැමූ ජනේලයේ වීදුරු කටු ගොඩ මතට ය….
“අම්මේ….”
“මයේ ළඟින් වාඩිවෙන්න පුතේ…..”
මම අම්මා අසලින් වාඩි වී ඇයගේ හිස පිරිමදින්නට වීමි. ඇය එයට කැමති බැව් මා දනිමි. කුඩා කල මා නිදිකරවන විට නැලවිලි ගී කියමින් ඇය මා හිස පිරිමැදී අයුරු මතක් වී මා දෑස තෙත් විය. මා සිත ඊයම් බරු දහසක් එල්ලා ඇති ලෙසකින් බර වී ඇත.
“ පුතේ… මයෙ පුතා දුක් වෙන්න එපා මයෙ පුතේ… උඹට වරදින්නේ නෑ…. උඹ මෙච්චර දුක් කන්දරාවක් හිතේ තදකරගෙන…. ගත්තු ප්‍රතිපලේ මට මහමෙරක් තරම් පුතේ…. උඹ හෙට උදේම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න මං කියන්නේ…. ඒ උත්තමයානේ අපට මේ විදිහට ජීවත් වෙන්න උදව් කළේ …..” කියමින් ඇය මා දෙස බැලුවා ය.
“ කසුන් සර්…!” කෙසේනම් මා හට අමතක වුනිද? නැත! කෙසේ අමතක වන්නද?මේ තරම් දුරට අධ්‍යාපනය ලැබීමට තරම් මා ජීවිතය ආලෝකවත් කල ඉෂ්ඨ දේවතාවන් වූ ඔහු අසනීප වූ මවත් මාත් මෙලොව කිසිඳු හව් හරණයක් නොමැතිව අසරණ වූ දා ඔහු පෙන්වූ මග නොවන්නට කුසගින්නේම මිය යනවා හැරෙන්නට වෙන විකල්පයක් මා කුඩා සිත ට නොනැගුනි.
“ කොල්ලෝ…. උඹ ඔළුවෙන් වැඩක් ගණින්…. මම ළමයි ටිකක් හොයලා දෙන්නම් ටියුෂන් දෙන්න…”
එදා ඔහු කී ඒ වදන් මා සවනත රැව් පිළිරැව් දුනි.
පිටත අකුණු ගසමින් වහින්නට විය. වෙලාව මැදියම් රැයට මිනිත්තු කිහිපයක් විය. පිටත මෙන්ම ම සිත ඇතුළාන්තයෙන් ද කුණාටුවක් හමමින් තිබුණි.අනාගතය කුමක් ද? ! පාන්දර 5 ට පමණ වර්ෂාව නිමා විය. මා ඇඳෙන් බිමට දෙපා තබා නැගිට්ටෙමි. පෙරදා වීදුරු කටු වලට කැපුණු දෙපතුල් රිදුම් දෙන්නට විය. “ මේ හැමදේම උඹේ වැරදි…”මා මටම කියාගන්නා ගමන් කුස්සිය දෙසට පිය නැගුවෙමි. අම්මාගේ මුහුණ සෝදවා තේ එකක් සාදා දිය යුතුය.
උණු වතුර බේසමක් රැගෙන මා අම්මගේ කාමරයට ගියෙමි. වෙනදාට නම් මේ වනවිට අම්මා අවදි වී සිටින්නීය. හ්ම්ම්….ඊයේ අම්මාත් නිදාගන්නතුව ඇති. මොනවා උනත් අම්මත් හිතන් හිටියේ මං එක පාරින් කැම්පස් යයි කියල.
“ මං දන්නවා මයේ පුතා දොස්තර මහත්තයෙක් වෙනවා…”
මං පන්තියේ පළවෙනියා වූ සෑම වරකම ඇය පැවසුයේ එලෙසය. එවිට අසලින් සිටින අප්පච්චී වචනයක්වත් නොකීව ද මා ළඟට විත් ඔළුවට අත තියා මදෙස හෙලන බැල්ම තුළ ඒ සියලු දෙය කියා පෑවේය…. ඒ මා සතු අතීතයයි. සොඳුරු අතීතයයි. මා සතුව වටිනා ඉරක් හඳක් තිබුණ ද මා ලොවට පෑයූ ඉර අකාලයේ නිවී ගොස් මා ලොව අඳුරු කළේය. දෛවයේ සරදම් මෙතරම් දරුණු ද? සුපුන් සඳක් වන් වූ අම්මා ද අඩපණ කොට දැමුවේ කිමද?
“ අම්මේ….. කෝ.. නැගිටිමු බලන්න…. අපි මුණ ටිකක් හොදගමු…” මා ඇයගේ ඔළුව පිරිමැද ඇඟට අත තැබුවෙමි. ඇයි අම්මා මේ තරම් සීතල….? මා සිත තුළ අකුණු ගසන්නට විය. දෑස් ඉදිරිපිට කණ කොක් රෑනක් පියඹා ගියහ…..
“අනේ… මගේ අම්මේ…….”
කෙතරම් කෑගසුවද යන්න මා හට නිච්චියක් නොවීය. මා සිහි ලබන විට ගෙය තුළ කිහිප දෙනෙකු සිටින බැව් පෙනෙන්නට විය.
“කෝ… මගේ අම්මා…”
“කලබල වෙන්න එපා පුතේ… අපි පුතාට ඉන්නවා….” සරත් මාමා කීවද කවුරුන් හෝ කුස්සියේ සිට කියූ දෙයක් මා සිත දෙබෑ කරගෙන ගිලා බැස්සේය….
“ උගේ පව්කාරකම තමා…. කොල්ලට විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙච්ච දුකට වෙන්නැති රමණි අක්කට ඔහොම වෙන්න ඇත්තේ…”
පව්කාරකම…..? ඔව් පව්කාරකම… මගේ පව්කාරකමට තමයි මේ හැමදේම මටම උනේ නැත්නම් මේ හැමෝටම වෙන්න තිබුණානේ දෙයියනේ දැන් කව්ද මගේ කියලා ඉන්නේ…..? අම්මේ කියල මං කාටද කතා කරන්නේ….? මං ලඟට වෙලා ඔළුව අත ගාන්නේ කාගේද? මම ඇත්තටම අනාථයෙක් උනාද? මා ලොව හිරු සඳු මිලිනව ගොස් ඇත.
ඇදිවත පිටින්ම මා ගෙයින් එලියට බැස්සේ කිසිඳු අරමුණක් ඇතිව නොවුනද පෙරදා රැයේ අම්මා මට කියූ දෑ මසිතට කොහේදෝ සිට පැමිණියේය.
“ උඹ හෙට උදෙන්ම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න… මං කියන්නේ….”
“ සර්….”
මා කසුන් සර් ගේ ගෙදර දොරට තට්ටු කළෙමි. මිනිත්තු කිහිපයකින් දොරෙහි යතුරු කරකැවෙන හඬ ඇසුනේය.
“කවුද….?”
අසමින් දොර වීවෘත කළේ කසුන් සර් ය. ඔහු ඉදිරිපිට මා මෙතෙක් සිත තුළ රඳවා තබා තිබූ දුක්ඛ දෝමනස්සයන් හි පීඩාවන් සියල්ලෙහි ඉවුරු බිඳී ගියේය.
“වරුණ….? අයි පුතේ මේ….?”
“ අනේ සර්…… මගේ අම්මා………………..”
තවත් කෙලින් සිටගත නොහැකි තරමට ම හෙම්බත්ව සිටි මා .. ඔහුගේ දෙපා මුල වැටී සිත තුළ තෙරපාගෙන සිටි සියලු දේ පවසා,දෙනෙතෙහි කඳුළු හිස්ව යනතෙක් හැඬුවේමි. ඔහු කිසිවක් කීවේ නැත. මා දෙවුරෙන් අල්ලා නැගිට්ටුවාගෙන ගෙතුළට ගෙනවිත් පුටුවක ඉඳගන්නට සැලැස්සුවේය. ඔහු නිශ්ශබ්ද ය. මා හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.
“ කියන්න පුතේ.. මොකද උනේ…?” ඔහු කරුණාව දොරේ ගලායන නිවුණු ස්වරයෙන් මා ඇමතුවේය.
මා පෙරදා සිදු වූ සියල්ල කීවෙමි. ඒ ලෙවල් එස් තුන… මගේ සිහින මාළිගාව.. අම්මාගේ සමුගැනීම….. මේ සියල්ල මා කෙසේ දරාගන්නද? සියල්ල කියා අවසන් වූ පසු මා නිහඬ වීමි. මඳ වෙලාවක් ගතවන්නට ඇත. එය කල්ප කාලාන්තරයක් සේ මා හට හැඟෙමින් තිබුණි. මගේ හිස මත දයාබරිතව අත තැබූ ඔහු ආදරණීය ලෙස මා දෙස බැලුවේය.
“ පුතේ…. අද ඉඳන් මං උඹේ අප්පච්චී….”
                                                                                                              නිමි..                                                                                                                                                                                                                                                                                                       
රුවන්දිකා පෙරේරා
කොට්ටාව