RAVINDU GAYAN

RAVINDU GAYAN

Thursday, 20 October 2016

--රජුගේ අලුත් බිසව----රවිඳු ගයාන් ද සිල්වා

එක් නුවරක ඉතාමත් දැහැමෙන් සෙමෙන් රාජ්‍ය පාලනය කරන එක් රජෙක් විය.ඔහු දස රාජ ධර්ම වලට අනුකූලව ආගමට හිතැතිව රට පාලනය කලේය.එහෙත් ඔහුට එක් අයහපත් ගුණාංගයක් තිබුණි. එ තමාට හිතට සරිලන රූපසම්පත්තියකින් යුත් තරුණියක් දුටු කල ඇයට වසග වී ඇය කෙසේ හෝ තම අන්තඃපුරයට එක් කර ගැනීමට ඇති ආසාවයි.ඔහුගේ මේ ගුනාංගයට රට වැසියෝ එතරම් කැමැත්තක් දැක්වූයේ නැත.එහෙත් සමහර පියවරු තම දූවරුන් රජුට ජෝඩු කර අත්මිට සරු කර ගැනීමට බොහෝ කැමැත්තෙන් සිටියහ. එපමනක් නොවේ රජුගේ ප්‍රධාන අග බිසව පවා රජුගේ මේ ක්‍රියාවට කිසිවිටෙක පක්ෂව සිටියේ නැත.නමුත් රජුගේ ඇති බලතල නිසා කවුරුත් මේ ගැන විරුද්ධත්වයක් පල කලේ නැත.එමෙන්ම රජු යම්  තරුණියකට ප්‍රේම කලේ නම් තරුණිය රජුට කැමතිද අකමැතිද යන්න කිසිසේත් රජුට වැදගත් නැත. තරුණිය හොද රූප සම්පත්තියකින් හෙබි නම් ද,විවාහ නොවූයේද නම් රජුගේ අන්ත්ඃපුරයට ඇතුලත් වීමට එය ප්‍රමානවත් සුදුසු කමකි.
දිනක් රජ වාසලේ පැවැත්වීමට නියමිත යුධ සංදර්ශනය නැරඹීමට රජ වාසල අවට සියලු ගම්මනවල උදවිය සහබාගී වන ලෙස රාජ අණක් ලැබී තිබුණි.එහෙයින් ගමේ කවුරුත් මේ සංදර්ශනය නැරඹීමට රජ වාසල වෙත ගියෝය. මේ සමග රජ වාසලේ උයන්පල්ලා ලෙස සේවය කරන හීන්  බණ්ඩා ද පවුලේ සියලුදෙනා සමග රජ වාසලට ගියෝය.හීන්  බණ්ඩාට සිටියේ දියණියක් පමණි.ඈ දහනම හැවිරිදි වියේ පසු විය.ඈ බොහෝ රූපසම්පත්තියකින් යුත් තරුණියකි.අසල ගමක මෙවැනි සුකුමාල තරුණියක් ත්වත් සිටියේ නැත.රූපයෙන් මෙන්ම චරිත ස්වබාවයෙන්ද ඈ ගමේ අනෙක් තරුණියන්ට කිසිසේත් සමකල නොහැකි විය. යුධ සංදර්ශනය ජයටම සිදුවෙමින් තිබුනි.රජුද එළිමහනේ ඉදිකල කුටියට වී මේ සංදර්ශනය නරඹමින් සිටියේය.මේ සමග රජුගේ සේවක මණ්ඩලය ද පසෙක විය.හීන් බණ්ඩා ඉතමත් රූසපුවකින් යුත් තරුණියක් සමීපයේ සිටිනු දුටු රජුට ඇතිවූයේ කේන්තියකි.එමෙන්ම රජුගේ රාග සිත ක්ෂණයෙන් මතු වී ආවේය.රජු රහසින් ඇය දෙස විපරම් කර බැලීය.ඒ සිංහාසනය මත සිටිය දීමය. හීන්  බණ්ඩාගේ එකම දියනිය මෑ බව රජු කිසිවිටෙක දැන සිටියේ නැත.රජුට ඉවසා ගත නොහැකි විය.රජුට යුධ සංදර්ශනය අමතක වී තිබුනි.ඇගේ රූපශ්‍රීයෙන් රජු වශී වී සිටියේය. නමුත් යුධ සංදර්ශනය අවසන් වූ හෙයින් එයට සහබාගී වූ සියල්ලෝම නිවෙස් බලා යාමට සැරසුනි.ඒහෙයින් රජුට හීන් බණ්ඩාගේ දියණිය එක්වර නොපෙනී ගියේය.රජු කලබල විය.නමුත් මේ රාජකාරී වැඩ කටයුතු නිසා ඇය ගැන සෙවීමට රජුට නිහැකි විය.
            පසු දිනක රජුගේ ප්‍රධාන  රාජ පුරුෂයන් දෙදෙනා ගෙන්වා මේ සියල්ල ඔවුනට පවසා කෙසේ හෝ හීන් බණ්ඩ සමග සිටි තරුණිය පිලිබද තොරතුරක් සොයා ගෙන එන ලෙස රජු දැන්වීය. එමෙන්ම එයට හොදින් සලකන බවද රජු ඔවුනට දැන්වීය.රජුගේ මෙම ක්‍රියා කලාපය ගැන මේ   රාජ පුරුෂයන් හොදින් දැන සිටියේය. එබැවින් ඔවුන් හීන්  බණ්ඩා වෙසෙන ගමට ගොස් සියලු තොරතුරු හොදින් දැන ගත්තෝය.පසුව මේ සියල්ල ඔවුන් රජුට දැන්වීය. එමෙන්ම ඔවුන් දෙදෙනා තරුණිය ගැන බොරු වර්ණනාක් ද සිදු කර රජුගේ රාග සිත හොදින් මෝදු කලේය.මේ වර්ණනාව පැරණි කවීන් ස්ත්‍රී දේහය ගැන කර ඇති වර්ණනාවන්ට දෙවැනි නොවීය.එසේ කිරීමෙන් තමන්ගේ අත මිට සරු වන බව මේ  රාජ පුරුෂයන් දැන සිටියහ.                                                                                                                                                                                   දින කීපයකට පසුව රජතුමා හා පෙර කී  රාජ පුරුෂයන් දෙදෙනා සමග හීන්   බණ්ඩාගේ නිවසට සේන්දු විය.හීන් බණ්ඩා මේ නාදුනන පුද්ගලයන් තිදෙනා දැක විස්මයට පත්විය.නමුත් එක්   රාජ පුරුෂයකු තමන් සමග මේ පැමිණ ඇත්තේ අප රජතුමා බව දැන්වීය.මෙය ඇසූ පමණින් බණ්ඩා බිමට වැටී රජුගෙන් සමාව ඉල්ලීය.        
"ඒකට කාරි නෑ හීන් බණ්ඩො,උබට තියා අග බිසවටත් බැරි වුනා මාව අදුර ගන්න...!.ඒ තරම් හොදට මට ඇහැකි වෙස් මාරු කර ගන්ඩ.."
"එහෙමයි දේවයන් වහන්ස..!,ඔබතුමා ඇයි මෙහෙ පැමිණියේ;කිව්වනම් මන් එනව නොවැ ඔබතුමා හදි ගැහෙන්න රජ වාසලට.."
"මේ රාජ කාරියට මටම එන්න වෙනවා බණ්ඩො..!ඒ තරම් වැදගත් මේ ගමන.."
"මොකද්ද දේවයන් වහන්ස ඔය තරම් වැද්ගත් රාජකාරිය...?  " හීන් බණ්ඩා ඇසුවේ තරමක් කලබල වූ ස්වරූපයකිනි.රජු පසෙක තිබූ පුටුවක අසුන් ගෙන හීන් බණ්ඩා දෙස බලා  "මන් දැනන් හිටියේ නෑනේ උබට මෙච්චර ලස්සන දුවක් ඉන්නවයි කියලා." යනුවෙන් පැවසීය.
මෙය ඇසූ හීන් බණ්ඩාට උණ ගැනුනාක් මෙන් විය.ඉස් මොළ රත් විය.රජුගේ සැගවුනු අරමුණ බණ්ඩා තේරුම් ගත්තේය.රජුගේ මේ ක්‍රියා කලාපයට බණ්ඩ කිසිසේත් කැමති නැත.තරුණියකගේ විවාහය තමන් කැමති පුරුෂයකු සමග සිදු විය යුතුය යන්න හීන් බණ්ඩා දැඩිව විශ්වාස කලේය.
"එහෙමයි හාමුදුරුවනේ..!, ඒක කියන්න තරම් උවමනාවක් තිබුණෙ නෑ නොවැ.,ඒකයි මන් නොකීවෙ..!"
"ඒකට කාරි නෑ බං බණ්ඩො,මන් මේ කියන්න තැනුවේ උඹ කැමති නැද්ද් මේ ගමේ වෙල් යාය උඹට දෙනවට,තව උඹ මගේ ප්‍රධාන උයන්පල්ලා වෙන්නත්...."
"මොකද හාමුදුරුවනේ මන් අකමැති වෙන්නේ.මං කැමතී එහෙම වෙනවනම්."බණ්ඩා පැවසුවේ අදි මදි කරමිනි.
"එහෙනම් බණ්ඩෝ..!,මං කාරනාව කොටින්ම කියන්නම්.මං කැමතී බං උබේ කෙල්ලව මගේ බිසවක් කර ගන්ඩ.උඹ මොකද කියන්නේ.."
මෙය ඇසූ විට තමාගේ නිගමනය නිවැරදි බව බණ්ඩාට පැහැදිලි විය.මෙය රාජ අණක් හෙයින් මෙයට විරුද්ධ වුවහොත් තමාගේ හා පවුලේ සැමගේ අවසානය එය බව ඔහුට වැටහුනි. එහෙයින් රජු තරහ නොකර ගත යුතු යැයි ඔහු සිතීය.
"මයේ නම් අකමැත්තක් නෑ හාමුදුරුවනේ..!,මං කෙලීගෙනුත් අහල ඔබ වහන්සේට දන්වන්නම්..."
"ඒකට කාරි නෑ .උබේ කෙලීගෙනුත් අහල මට දන්වපන්.මං උඹලට සුමානයක් කල් දෙනවා එහෙනම්."
"හොදමයි දේවයන් වහන්ස,ඔබතුමාගේ කැමැත්තක්.."යැයි බණ්ඩා පැවසුවේ දෙකට නැමෙමිනි.පසුව රජු සිය නිවසෙන් නික්ම රජ වාසල වෙත ගියේය.
තමාට සිදුවූ විපත ගැන බණ්ඩා පසු තැවෙන්න විය.පසුව මේ සියල්ල රත්‍රියේ තම බිරිදට හා දියණියට පැවසීය.ඔවුන් දෙදෙනාම මෙයට අකමැති බව තරයේ ප්‍රකාශ කලෝය.එමෙන්ම දියණිය තම බිරිදට පමනක් කියූ රහසක් හීන් බණ්ඩාට දැන ගන්නට ලැබුණි.ඒ තම දියණිය අල්ලපු ගමේ ඉන්නා තරුණයකු සමග පෙමින් වෙලී සිටින බවයි. මෙය ඇසූ හීන් බණ්ඩා කනස්සල්ලට පත්විය.ඒ තම දියණිය තරුණයකු සමග හාද කමක් පවත්වන නිසා නොව රජතුමා පැනවූ අණ කෙසේ ඉටු කරන්නේද කියාය. එමෙන්ම රජතුමා දකින දකින රූමත් තරුණියන් තමාගේ අන්තඃපුරයට එක් කර ගැනීම පිලිබදව ද බණ්ඩා සිටියේ කේන්තියෙන්ය.අද තමාගේ දියණියට ආලය කලද හෙට තවත් තරුණියකට ආලය කිරීමට රජු කිසිවිටෙකත් පැකිලෙන්නේ නැත.තම දියණියට මෙවන් ඉරණමක් අත් කර දීමට  පියෙකු ලෙස හීන් බණ්ඩා කැමති වූයේ නැත. එමෙන්ම බණ්ඩාට සතුටු වීමටද කාරණාවක් විය.තම දියණිය පෙමින් වෙලී සිටියේ තමා දන්නා හොද වැදගත් තම කුලයට ගැලපෙන පවුලක තරුණයකු සමගය.එම තරුණයාට හොද ගතිගුන තිබෙන බව කවුරුත් දනිති.එහෙයින් තම දියණිය මේ තරුණයාට විවාහ කර දීමට බ්ණ්ඩා තීරණය කලේය.
පසු දින බණ්ඩා හා බිරිද තම දියණියගේ යෝජනාවට මනාප බව දන්වා එම තරුණයාගේ පවුලට පණිවිඩයක් යැවීය.පසුව පවුල් දෙකම එකතු වී ඉක්මනින් විවාහය සිදු කිරීමට තීරණය කලේය.රජු දී තිබූ කාලය සුමානයක් බැවින් හතර වන දිනයේ විවාහය සිදු විය.එහි උත්සවයක් පැවැත් වූයේ නැත.කොටින්ම බණ්ඩාගේ  දියණිය තරුණයකු සමග විවාහ වූ බව ගමේ කවුරුන් හෝ දැන සිටියේ නැත.අලුත විවාහයට පත් වූ යුවල සමග තම බිරිද සමග හීන් බණ්ඩාගේ අයියාගේ නිවසට පිටත් කලෝය.එම නිවස පිහිටියේ රුහුණු ප්‍රදේශයේ ඈත ගමකය.මේ බව දැන සිටියේ බණ්ඩා පමණි.මෙය ඉතා රහසිගතව සිදු විය.
රජු ලබා දුන් දින කීපය නිමා විය.හත් වන දිනයේ ද බණ්ඩා නොපැමිණි නිසා රජු කේන්තියෙන් පිපිරෙමින් සිටියේය.පෙර කී  රාජ පුරුෂයන් දෙදෙනා යවා බණ්ඩාගේ දියණිය බලහත්කාරයෙන් හෝ ඔහු ඉදිරියට ගෙන ආ යුතු බව දැන්වීය.පසුව  රාජ පුරුෂයන්  බණ්ඩාගේ නිවස වෙත ගමන් කලෝය.රජතුමා ලබා දුන් රාජ නියෝගය   රාජ පුරුෂයන් බණ්ඩාට පැවසීය.ඉන් පසුව බණ්ඩා පැවසුවේ තමාගේ දුව රජතුමාට අකමැති බවයි.නමුත් ඔහුට ලැබෙන ඉඩම් හා වස්තුව විනාශ කර ගැනීමට අකමැති නිසා අද රාත්‍රියේ  දුව නිදා ගත් පසුව හොර රහසේ රජ වාසලට රැගෙන යන ලෙස   රාජ පුරුෂයන්ට පැවසුවේ ය. එය බණ්ඩාගේ අපූරු උපායක් විය.ඒ සමග අසල තිබූ රා කල ගෙඩි දෙකක්ද  රාජ පුරුෂයන් හට පෙන්වීය.ඔවුන් දෙදෙනා මෙය දුටු කල  ඇතිවූ සතුට නිම් හිම් නැති විය.මෑතක දී රා බීමට නොහැකි වූ නිසා ඔවුන් දෙදෙනා රා බීමට සැරසුනේය.බණ්ඩා ඔවුනට කීයේ  තම නිවසේ නොව ඉදිරියේ ඇති කුඩා පැල් පතට වී රා පානය කරන ලෙසයි.ඒ කවුරුන් හෝ මෙය දුටුව හොත් ඇතිවනුයේ මහා විනාශයක් නිසාය.ඔවුන් එහි ගොස් ඇති තරම් රා පානය කලෝය.එම කුඩා පැල්පතේ ඉතා වයස් ගත අනාත වූ මිත්තණියක් පමණක් සිටියාය.ඇයද මොවුන් රා බී මත්ව සිදුකරනා විගඩම් දැක සිනා සෙමින් සිටියාය.                                                                                                                                                                         රාත්‍රිය උදා විය.කවුරුත් පාරේ ගමන් කලේද නැත.හීන් බණ්ඩා   රාජ පුරුෂයන්ට කතා කොට තම දියණිය නින්දේදීම රැගෙන යන ලෙස කීය.ඔවුන්ද මෙයට අවනත විය.පසුව ඔවුන්ව තම නිවස යැයි පැවසූ නිවසේ දියණිය සිටින බව පවසා රා බී මත්වූ   රාජ පුරුෂයන් එහි යැවීය. ඔවුන් දෙදෙනා වැනෙමින් ගොස් දියණිය නිදා සිටි කුඩා වැල් ඇද ඔසවාගෙන  රජ වාසල වෙත ගමන් කලේය.
යමක් ඔසවාගෙන එන  රාජ පුරුෂයන් දැක රජතුමාට ඇති වූයේ තරහකි.
"කෙල්ලව ගේන්න යැව්ව උඹලා දැන්ද බොල එන්නේ.,ඒ මදිවට හොදටම බීල..!"
" කෑගහන්න එපා දේවයන් වහන්ස,ඔබතුමා කිව්ව බණ්ඩාගේ කෙල්ල මෙන්න මේ වැල් ඇද උඩ ඉන්නේ.... වැඩේට ටිකක් රෑ වුනා."
මෙය ඇසූ රජතුමාගේ රාග සිත ඇවුස්සුනි.වහාම  තම කුටිය තුලට තරුණිය රැගෙන යන ලෙස  පවසා තමා පසුව එන බව දැන්වීය.මේ සියල්ල සිදු වූයේ දැඩි අදුරේය.නමුත් දල්වා තිබූ ගිනි දැල් මගින් යන්තම් එලිය වැටී තිබුනි. වැල් ඇද සෙමෙන් කුටියේ බිම තැබූ  රාජ පුරුෂයන් එයින් නික්ම ගියෝය.ටික වේලාවකින් රජතුමා තම ප්‍රථම විවාහ දිනයේ මධු සමයට යන ලෙස හොදින් ඇද පැලද ගෙන සුවද හමමින් කවියක් ද මුමුණමින් තම කුටියට ඇතුලු වී දොරගුලු දැමුවේය. දැන් මේ සැරසෙන්නේ ඉතාමත් රූපශ්‍රීයෙන් හෙබි මනරම් දෙව්දුවක් මෙන් බබලන තරුණියකගේ පහස ලබා ගැනීමටයි.රජතුමා ආලය ලෙස හදුන්වන්නේ  මෙම ක්‍රියාවටයි.රජුගේ කුටිය තුල පවතින්නේ යන්තම් ආලෝකමත් වූ ස්වබාවයකි.මෙය මධු සමය ගත කිරීමට සුදුසුම අවස්තාව යැයි සිතා රජතුමා සිතින් සතුටු විය.මේ සමග වැල් ඇද මත නිදා සිටි තරුණිය පෙරවා තිබූ රෙද්ද ඉවත් කිරීමට රජතුමා සැරසුනේ  ඇය අවධි කිරීමට සිතාය. එය ඉවත් කල රජතුමාට දකින්නට ලැබුනේ ඉතා රූමත් සරාගික තරුණියක් නොව ඉතාමත් වයස් ගත වූ ගැහැණියකි.රජතුමාට ඇති වූයේ දැඩි කේන්තිය මුසු ලැජ්ජාවකි.දෙව්දුවකගේ පහස විදීමට සැරසුනු රජුට සිදු වූ මෙය කාහටවත් ආරංචි වීමට ප්‍රථම රජු පෙර කී මත් වූ  රාජ පුරුෂයන් දෙදෙනා කැදවා නැවත මෙම මිත්තණිය රැගෙන යන ලෙස දැන්වීය.රජුට සිදුවූ නින්දාව නිසා මෙම   රාජ පුරුෂයන් දෙදෙනාට හා හීන් බණ්ඩාට දඩුවම් කල යුතු බව රජු තරයේ සිතට ගත්තේය.

පසු දින කිසිදු හේතුවක් නොමැතිව රාජ පුරුෂයන් දෙදෙනා උල තැබීය.නමුත් රජතුමාට කිසි දිනෙක  හීන් බණ්ඩා හෝ ඒ පවුලේ කිසිදු  අයෙක් නැවත සොයා ගත නොහැකි විය…..                                                                  
….රවිඳු ගයාන් ද සිල්වා…. 

Tuesday, 18 October 2016

අලුත් ඉරක්---රුවන්දිකා පෙරේරා

මැදියම් රැයත් ගෙවී ගොස්ය. මාගේ චිත්ත සන්තානය තුල කැළඹෙන ඇඹරෙන පෙරලිකරන්නා වූ අදහස් තුළට නිදි දෙව් දුව ලඟා නොවූ සැටියකි. මෙලෙස හිත පෙරලි කරන්නා වූ සතියට මරණය සැපතකි. ක්‍ෂණයෙන් කිසියම් ආකල්පයක් විත් අඳුරු කාමරයක සිටියදී එක්වරම ආලෝකයක් එල්ල වූවාක් වැනි ක්ෂණික හැගීමකින් මා හිස බිත්තියෙහි කිහිපවරක්ම ගසා ගත්තෙමි. ජීවිතය සුන්දරව විඳින්නට පෙරුම් පිරූ සිතින් ම මරණයට ඇත වනමින් සිටින්නෙමි. මා අසලට විත් වැළඳගන්නේ නම්….
මා වීදුරුව බිඳී ගිය ජනේලයෙන් අහස තුළ ඇති අන්ධකාරය තුළ ගිලීමට වෑයම් කරමි. පාසල් භුමිය තුළින් පිටවී එනවිට මා සිත තුළ පැවති රික්තකය දෙගුණයක්, තුන් ගුණයක්, සිව් ගුණයක් ඉක්මවා මා ගත පුරාවටම පැතිර විහිදී ඇති සෙයකි.
හිස හිරිවැටී ඇත. අන් සරණක් නොමැති මම මගේ හිස මම ම පිරිමැද ගතිමි. කෙහෙරැල් තුළින් ඇඟිලි තුඩු යවා පිරිමදින විට දහදිය මුහුවී එකට ඇලුණු කෙහෙ රොදවල් කිහිපයක් අතෙන් ඇද්දෙමි.ඒ වේදනාව ද මා හට ප්‍රියජනක විය. කාමරය ද තරු නැති අහස මෙන් අඳුරේ ගිලී ඇත. මා හිස පිරිමැදි අත නාසයට ලං කළෙමි. දහදිය සමඟ මුසු වූ ලේ සුවඳක්! ඔලුව තුවාල වන්නට ඇත. මා තුවාලයට ඇගිල්ලක් තබා එය සෙමෙන් පෑරුවෙමි. කෙතරම් සුවදායක හැගීමක් ද?
අතෙහි තැවරුණු ලේ බිඳු කිහිපයක් මා දෙතොලට ගෙන රහ බැලුවෙමි. තුඃ නොදකින්! මලකඩ රසක් එන්නේ මන්ද? මා සිත මවිසින්ම යකඩයක් බවට පත් කර බොහෝ කල් ය. නමුත් එයට කෙසේ හෝ තෙතමනය ලැබී ඇත. හිත තැලී පොඩි වී කඳුළින් තෙත් වී මලකඩ කා ඇත. එය මොලය දක්වා විත් ඔළුකට්ට පසාරු කළ තුවාලයෙන් එළියට පැන ඇත.
මෙතෙක් මා මැවූ සිහින මාළිගා මා ඉදිරිපිටම සුන්නද්දුලි වී ගොස් ය.උසස් පෙළ සමත් වී වෛද්‍යවරයෙකු වන්නට, මාදෙස හෑල්ලුවට නෙත් හෙළුවන් දෙස ආඩම්බරයෙන් බලන්නට, දේවතාවියක් වූ අම්මාගේ අවසන් කාලයවත් සැපවත් කරන්නට මා විසින් මැවූ සිහින මාලිගාවේ අඩිතාලමෙන් ම පුපුරා ගොස් මේ වනවිට පැය ගණනාවක් ගෙවී ගොස් හමාරය.
******************
“ ඒ වෙනුර….. අද රිසාල්ට් ඇවිත් ……… යමුද ඉස්කෝලේ පැත්තේ….? “
අරවින්ද වැටට උඩින් පැන එමින් කතා කරනවිට ම විසින් අම්මාට ලුණු කැඳ කෝප්පයක් පොවා අවසන් කළා පමණි. ඔහුගේ කටහඬින් ඇගේ දෑසේ ඇති වූ දීප්තිය මා හැඳින ගත්තෙමි. ඒ ඈ සිත තුළ ඉතිරි වී ඇති අවසන් බලාපොරොත්තුව මා බැව් අප්පච්චී අප තනිකර ගිය දා සිට මා දැන සිටියෙමි.
“ පොඩ්ඩක් හිටපන් මං ලෑස්ති වෙලා එන්නම්……”
එසේ කියමින් මා ගෙතුලට ගියද පාසල වෙත ගොස් විභාග ප්‍රතිපල බැලීමේ උනන්දුවක් නොව උදාසීන කමක් මසිත තුළ ඇති විය. මා සෙමෙන් සෙමෙන් කමිසයේ බොත්තම් පියවීමි. මා මන්දගාමී වී ඇත ඉක්මන් වන්නට තැත් කළද කාන්දමකට ඇලී පවතින යකඩයක් වෙන් කරන්නට දරන වෑයම මෙන් මා මන්දගාමී තත්වයට ඇදෙමින් තිබුණි.
“ මොනවද බං මෙච්චර වෙලා කරන්නේ…?”
“හරි… හරි… යමු ….”
කියමින් මා කාමරයෙන් එලියට පැමිණියෙමි. “ මේ… මොකද මේ….?” උඹ කාමරේට වෙලා මොනව කළාද…..? ඔලුව පීරගේනවත් නෑ… නින්දෙන් නැගිටලා වගේනේ බං ……”
ළගට ආ අරවින්ද ඔළුව අතින් පීරුවේය. “හා … දැන් යමන් අපේ දොස්තර මහත්තයෝ ….” අරවින්ද පෙරමුණ ගත්තේ ය.
“ අම්මේ…. මං ගිහින් එන්නම්….” මම අම්මාට වැන්දෙමි. අරවින්ද ද මා පසුපස විත් අම්මාට වැන්දේය.
“බුදුසරණයි මයේ පුතේ… පරිස්සමෙන් ගිහින් එන්න… මං දන්නවා මයේ පුතාට වරදින්නේ නෑ….”
“හ්ම්ම්ම්… “ මට කියවුනේ එපමණකි. මසිත දැවී හළු වී ගියේය.
පාසලට යන මඟ දිගට අරවින්ද කතා කළේය.
“ මට ෂුවර් බං උඹනම් ඉතින් ආයෙත් නෑ කැම්පස් ම තමයි… අනේ ඉතින්… දෙයියනේ කියලා මටනම් එස් තුනකින් හරි ශේප් වෙන්න තිබුණොත් ඒ ඇති…. ජොබ් කට්ටක්වත් හොයාගන්න….”
ඒ අතරතුර මසිත ඇදී ගියේ උසස් පෙළ විභාගය ලියූ දින කිහිපය ය. ඇත්තෙන්ම මට සිදු වූයේ කුමක්ද? පාසලටම සිටි දක්ෂතම සිසුවා වූ මා කෙරෙහි සියල්ලෝම බලාපොරොත්තු තබා සිටියහ. ප්‍රශ්න පත්‍රය අතට ගත් මොහොතේ මුළු සිරුර පුරාවටම ඇදී ගිය විදුලියක් සමඟ මා අඩපණ වී ගියෙමි. කෙසේ පිළිතුරු ලිව්වාදැයි මා හට දැනුදු අවබෝධයක් නොමැත. දැන් කෙසේනම් ලොවට මුහුණ දෙන්නද…. ? මා පාසලට යා යුතු ද? එලෙස සිතමින් මනෝ ලොව තුළ සැරිසැරූ මා පියවි සිහිය ලැබුවේ අරවින්ද මා අතින් අදිනවාත් සමඟ ය.
“ කොහෙද යකෝ පාර මැදට යන්නේ….? අදම වාහනේකට යටවෙලා මැරෙන්නද හදන්නේ….? යමන් ඉස්කෝලේ ඇතුළට… අන්න අපේ කට්ටිය නෝටිස් බෝර්ඩ් එක ළඟ…”
ආපසු හැරෙන්නට වෙලාවක් නැත. මා බිමට හරවාගත් හිසින් යුතුව අරවින්ද පසුපස ඇදුනෙමි. අප දෙදෙනා පන්තියේ අනිත් සගයන් වෙත ගියා පමණි. ඔවුන් අතර තිබු කසු කුසුව නැවතුණි. ඔවුන් දෙස බැලීමට මා හට දැඩි ආයාසයක් ගැනීමට සිදු වූයේ වරදක් කළ හසු වුවෙකු විලසිනි.
“ කෝ…. අයින් වෙයල්ලා ….. අපේ කොල්ලගේ රිසාල්ට් බලන්න…” අරවින්ද රැස්ව සිටියවුන් දෙපසට කරමින් නෝටිස් බෝර්ඩ් එක අසලට ගියේය. මා තවත් සිටියේ බිම බලාගත්වනමය. කවුරුන් හෝ මා කරට අතක් දා ඔහු අසලට ඇදගත්තේය. වෙන කවුරුවත් නොව ඒ අරවින්ද ය. මා දියාරු හිනාවක් මුහුණට ඈදා ගැනීමට තැත් කළෙමි.
“ වරුණ…. රිසාල්ට්…. බලන්න ඕනෙද…?” අරවින්ද ගොත ගසමින් ඇසූ විට එය සිදුවී ඇති බව මට සිතාගත හැකි විය. කැම්පස් සිහිනය බොඳ වී ඇත!
“ඕනේ නෑ….. අපි යන් …..” මා අනෙක් සඟයන් දෙස බලා සිනාසුණෙමි. මද දුරක් යන තෙක් අප දෙදෙනා නිහඬව ගමන් කළෙමු.
“ ගණන් ගන්න එපා බං අපි ඔක්කොම දන්නවනේ උබ කොච්චර ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියාගෙනද එග්සෑම් කළේ කියල…. ඒ අතින් උඹ ෆේල් නොවී එස් තුනකින් හරි ගොඩ දාගත්ත එකත් ලොකු දෙයක් බං….”
“ හ්ම්ම්ම්………” එය මට විසඳුමක් නොවීය. ඉදිරියට මා කුමක් කළ යුතුද? අප්පච්චී නැති වූ දා සිට අංශභාග රෝගියෙකු වූ අම්මා බලාගන්නට මා හට මහත් වූ දුෂ්කර ක්‍රියාවක නිරත වන්නට සිදු විය. පාසල් ගොස් පැමිණ පොඩි උන් හට විද්‍යාව,ගණිතය උගන්වා සොයාගත් රුපියල් සත වලින් මෙතෙක් ජීවිතය ගැටගසා ගත්තෙමු. මින් ඉදිරියට මා කුමක් කරන්නද? සුළු රැකියාවක්? නැත ! මා ඉලක්කය සපුරාගත යුතුය.
“ ආ….. වරුණ පුතේ…. අද ප්‍රතිපල ඇවිත්ලු නේද ….? සමුපකාරයෙන් එලියට එමින් සමන්ති නැන්දා ඇසුවාය.
“ ඔව් නැන්දේ .. මේ ගිහින් එනගමන්…. අපි යන්නම් ආ….” අරවින්ද මගේ කරට අත දමා ගමන ඉක්මන් කළේ එතැනින් ගැලවීමට මගේ තිබූ සිතුවිල්ල තේරුම් ගත්තාක් මෙනි.
“ඔය ගෑනිට කිව්වනම් ගමම ගිනි තියල… ගෙදර යන්න කලින්… මන් දන්නැද්ද ඔය ගෑනිගේ කට”
අප්පච්චී නැති වූ පසු ජීවිතය ගොඩ ගැනීමට මාර්ගයක් සොයන මා හට දිනක් සමන්ති නැන්දා පැමිණ යෝජනා කළේ ඇගේ සැමියාගේ කොන්ත්‍රාත් වැඩපලෙහි සිමෙන්ති අනන්න එන ලෙස ය. නමුදු ඉගෙන ගැනීමට තිබූ සිහිනය එම රැකියාවට පයින් ගැසී ය .
“පුතේ…..”
අම්මාගේ කටහඩින් මා නැවත පියවි සිහිය ලැබුවෙමි. කාමරය තවමත් අඳුරේ ගිලී ඇත. අම්මාගේ සිහින් කෙඳිරිලි හඩක් ඇසේ. මා දඩි බිඩි ගා බිමට පැන්නේ මා ආවේගයෙන් අතට හසු වූ බෝතලයෙන් දමා ගසා බිඳ දැමූ ජනේලයේ වීදුරු කටු ගොඩ මතට ය….
“අම්මේ….”
“මයේ ළඟින් වාඩිවෙන්න පුතේ…..”
මම අම්මා අසලින් වාඩි වී ඇයගේ හිස පිරිමදින්නට වීමි. ඇය එයට කැමති බැව් මා දනිමි. කුඩා කල මා නිදිකරවන විට නැලවිලි ගී කියමින් ඇය මා හිස පිරිමැදී අයුරු මතක් වී මා දෑස තෙත් විය. මා සිත ඊයම් බරු දහසක් එල්ලා ඇති ලෙසකින් බර වී ඇත.
“ පුතේ… මයෙ පුතා දුක් වෙන්න එපා මයෙ පුතේ… උඹට වරදින්නේ නෑ…. උඹ මෙච්චර දුක් කන්දරාවක් හිතේ තදකරගෙන…. ගත්තු ප්‍රතිපලේ මට මහමෙරක් තරම් පුතේ…. උඹ හෙට උදේම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න මං කියන්නේ…. ඒ උත්තමයානේ අපට මේ විදිහට ජීවත් වෙන්න උදව් කළේ …..” කියමින් ඇය මා දෙස බැලුවා ය.
“ කසුන් සර්…!” කෙසේනම් මා හට අමතක වුනිද? නැත! කෙසේ අමතක වන්නද?මේ තරම් දුරට අධ්‍යාපනය ලැබීමට තරම් මා ජීවිතය ආලෝකවත් කල ඉෂ්ඨ දේවතාවන් වූ ඔහු අසනීප වූ මවත් මාත් මෙලොව කිසිඳු හව් හරණයක් නොමැතිව අසරණ වූ දා ඔහු පෙන්වූ මග නොවන්නට කුසගින්නේම මිය යනවා හැරෙන්නට වෙන විකල්පයක් මා කුඩා සිත ට නොනැගුනි.
“ කොල්ලෝ…. උඹ ඔළුවෙන් වැඩක් ගණින්…. මම ළමයි ටිකක් හොයලා දෙන්නම් ටියුෂන් දෙන්න…”
එදා ඔහු කී ඒ වදන් මා සවනත රැව් පිළිරැව් දුනි.
පිටත අකුණු ගසමින් වහින්නට විය. වෙලාව මැදියම් රැයට මිනිත්තු කිහිපයක් විය. පිටත මෙන්ම ම සිත ඇතුළාන්තයෙන් ද කුණාටුවක් හමමින් තිබුණි.අනාගතය කුමක් ද? ! පාන්දර 5 ට පමණ වර්ෂාව නිමා විය. මා ඇඳෙන් බිමට දෙපා තබා නැගිට්ටෙමි. පෙරදා වීදුරු කටු වලට කැපුණු දෙපතුල් රිදුම් දෙන්නට විය. “ මේ හැමදේම උඹේ වැරදි…”මා මටම කියාගන්නා ගමන් කුස්සිය දෙසට පිය නැගුවෙමි. අම්මාගේ මුහුණ සෝදවා තේ එකක් සාදා දිය යුතුය.
උණු වතුර බේසමක් රැගෙන මා අම්මගේ කාමරයට ගියෙමි. වෙනදාට නම් මේ වනවිට අම්මා අවදි වී සිටින්නීය. හ්ම්ම්….ඊයේ අම්මාත් නිදාගන්නතුව ඇති. මොනවා උනත් අම්මත් හිතන් හිටියේ මං එක පාරින් කැම්පස් යයි කියල.
“ මං දන්නවා මයේ පුතා දොස්තර මහත්තයෙක් වෙනවා…”
මං පන්තියේ පළවෙනියා වූ සෑම වරකම ඇය පැවසුයේ එලෙසය. එවිට අසලින් සිටින අප්පච්චී වචනයක්වත් නොකීව ද මා ළඟට විත් ඔළුවට අත තියා මදෙස හෙලන බැල්ම තුළ ඒ සියලු දෙය කියා පෑවේය…. ඒ මා සතු අතීතයයි. සොඳුරු අතීතයයි. මා සතුව වටිනා ඉරක් හඳක් තිබුණ ද මා ලොවට පෑයූ ඉර අකාලයේ නිවී ගොස් මා ලොව අඳුරු කළේය. දෛවයේ සරදම් මෙතරම් දරුණු ද? සුපුන් සඳක් වන් වූ අම්මා ද අඩපණ කොට දැමුවේ කිමද?
“ අම්මේ….. කෝ.. නැගිටිමු බලන්න…. අපි මුණ ටිකක් හොදගමු…” මා ඇයගේ ඔළුව පිරිමැද ඇඟට අත තැබුවෙමි. ඇයි අම්මා මේ තරම් සීතල….? මා සිත තුළ අකුණු ගසන්නට විය. දෑස් ඉදිරිපිට කණ කොක් රෑනක් පියඹා ගියහ…..
“අනේ… මගේ අම්මේ…….”
කෙතරම් කෑගසුවද යන්න මා හට නිච්චියක් නොවීය. මා සිහි ලබන විට ගෙය තුළ කිහිප දෙනෙකු සිටින බැව් පෙනෙන්නට විය.
“කෝ… මගේ අම්මා…”
“කලබල වෙන්න එපා පුතේ… අපි පුතාට ඉන්නවා….” සරත් මාමා කීවද කවුරුන් හෝ කුස්සියේ සිට කියූ දෙයක් මා සිත දෙබෑ කරගෙන ගිලා බැස්සේය….
“ උගේ පව්කාරකම තමා…. කොල්ලට විශ්වවිද්‍යාලෙ යන්න බැරිවෙච්ච දුකට වෙන්නැති රමණි අක්කට ඔහොම වෙන්න ඇත්තේ…”
පව්කාරකම…..? ඔව් පව්කාරකම… මගේ පව්කාරකමට තමයි මේ හැමදේම මටම උනේ නැත්නම් මේ හැමෝටම වෙන්න තිබුණානේ දෙයියනේ දැන් කව්ද මගේ කියලා ඉන්නේ…..? අම්මේ කියල මං කාටද කතා කරන්නේ….? මං ලඟට වෙලා ඔළුව අත ගාන්නේ කාගේද? මම ඇත්තටම අනාථයෙක් උනාද? මා ලොව හිරු සඳු මිලිනව ගොස් ඇත.
ඇදිවත පිටින්ම මා ගෙයින් එලියට බැස්සේ කිසිඳු අරමුණක් ඇතිව නොවුනද පෙරදා රැයේ අම්මා මට කියූ දෑ මසිතට කොහේදෝ සිට පැමිණියේය.
“ උඹ හෙට උදෙන්ම ගිහින් කසුන් සර් ව හම්බවෙන්න… මං කියන්නේ….”
“ සර්….”
මා කසුන් සර් ගේ ගෙදර දොරට තට්ටු කළෙමි. මිනිත්තු කිහිපයකින් දොරෙහි යතුරු කරකැවෙන හඬ ඇසුනේය.
“කවුද….?”
අසමින් දොර වීවෘත කළේ කසුන් සර් ය. ඔහු ඉදිරිපිට මා මෙතෙක් සිත තුළ රඳවා තබා තිබූ දුක්ඛ දෝමනස්සයන් හි පීඩාවන් සියල්ලෙහි ඉවුරු බිඳී ගියේය.
“වරුණ….? අයි පුතේ මේ….?”
“ අනේ සර්…… මගේ අම්මා………………..”
තවත් කෙලින් සිටගත නොහැකි තරමට ම හෙම්බත්ව සිටි මා .. ඔහුගේ දෙපා මුල වැටී සිත තුළ තෙරපාගෙන සිටි සියලු දේ පවසා,දෙනෙතෙහි කඳුළු හිස්ව යනතෙක් හැඬුවේමි. ඔහු කිසිවක් කීවේ නැත. මා දෙවුරෙන් අල්ලා නැගිට්ටුවාගෙන ගෙතුළට ගෙනවිත් පුටුවක ඉඳගන්නට සැලැස්සුවේය. ඔහු නිශ්ශබ්ද ය. මා හිස ඔසවා ඔහු දෙස බැලුවෙමි.
“ කියන්න පුතේ.. මොකද උනේ…?” ඔහු කරුණාව දොරේ ගලායන නිවුණු ස්වරයෙන් මා ඇමතුවේය.
මා පෙරදා සිදු වූ සියල්ල කීවෙමි. ඒ ලෙවල් එස් තුන… මගේ සිහින මාළිගාව.. අම්මාගේ සමුගැනීම….. මේ සියල්ල මා කෙසේ දරාගන්නද? සියල්ල කියා අවසන් වූ පසු මා නිහඬ වීමි. මඳ වෙලාවක් ගතවන්නට ඇත. එය කල්ප කාලාන්තරයක් සේ මා හට හැඟෙමින් තිබුණි. මගේ හිස මත දයාබරිතව අත තැබූ ඔහු ආදරණීය ලෙස මා දෙස බැලුවේය.
“ පුතේ…. අද ඉඳන් මං උඹේ අප්පච්චී….”
                                                                                                              නිමි..                                                                                                                                                                                                                                                                                                       
රුවන්දිකා පෙරේරා
කොට්ටාව

Monday, 17 October 2016

පුනරාගමනය--රුක්ෂිලා වෙත්තමුණි

දින ගණනාවකින් ඉදලක පහස නොලැබූ මිදුල අඹ කොළ, බෙලි කොළ වලින් වසාගෙනය. සුදු වැලි තලාවේ කොහේ හෝ තැනක තාත්තාගේ අඩි සලකුණක් තිබේදැයි දකින්නට පාලිත උත්සාහ කළ මුත් ගෙයි පිළිකන්නේ හිඳ ගත්තේ එය අසාර්ථක වෑයමක් බව දැනුණි හෙයිනි. ඈලි මෑලි ගතියෙන් යුතුව මිදුල අමදින සඳමාලි විටින් විට හීල්ලුවාය. බිසෝමැණිකා සුසුම් ලෑවේ දරුවන් පස් දෙනෙකුගේ බර තනිවම දරාගන්නේ කෙසේ දැයි සිතමිනි. තාත්තාගේ මරණයෙන් දෙසතියක් ගත වී තිබුණත් දරුවන් සිටියේ බලාගත් අතම බලාගෙනය.
දරුවන්ගේ තාත්තා ජීවත්ව සිටිද්දීත්, බිසෝමැණිකා සුළු මුදලක් සොයා ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දීමෙනි. එහෙත් දැන් ඒ මුදල පවුලේ නඩත්තුවට කෙසේවත් ප්‍රමාණවත් වන්නේ නැත.
“ ලොකු පුතේ, හන්දියේ කඩ දෙක තුනකින් අහගෙන වරෙන්කෝ ඉදිආප්ප ඕනෙද කියලා.නැත්නම් අපිට ඔළුව උස්සන්න වෙන්නෙ නැහැ. දවසින් දවස බඩුවල ගණන් නගින්නේ හරියට මූදේ රළ ගහනවා වගේනෙ”
පාලිත ඉගෙනීමට දක්ෂ වූවත් වැඩිදුර අධ්‍යාපනයට මුල නොපිරුවේ ගෙදර අඟහිඟකමින් වෙළාගත් හෙයිනි. සාමාන්‍ය පෙළ විභාගය උසස් ලෙස සමත් වූ ඔහු කුමන හෝ රැකියාවක් කිරීමට නිතර උත්සාහ කළේය. පාලිත පත්තර බැලීමට දිනපතාම හේරත් මුදලාලිගේ කඩයට ගියේ පොත්පත් කියවීමට බොහෝ සේ ඇලුම් කළ බැවිණි. පත්තරේ පළ වන රැකියා පිළිබඳ දැන්වීම් තීරය දිනපතා ඔහුගේ අවධානයට ලක් වූයේ තාත්තාගේ අකල් මරණයත් සමඟ රැකියාවක අවශ්‍යතාවය තදින්ම දැනුණ නිසාය.
පත්තරේ දැන්වීම් තීරයේ ගිලී සිටි පාලිතට ඉමහත් සතුටක් දැනුණේ ඇඟලුම් කම්හලක ලිපිකාර තනතුරක් සඳහා වූ දැන්වීම දැකීමෙනි. හේරත් මුදලාලිගෙන් පෑනක් සහ කොළයක් ඉල්ලා ගත් ඔහු කඩයේදීම අයදුම් පතක් සකස් කොට හන්දියට ගොස් එය තැපැල් කළේ බොහෝ බලාපොරොත්තු පොදි බැඳගෙනය. මීට පෙර අවස්ථා කිහිපයකදීම විවිධ රැකියා සඳහා අයදුම් කළද ඒ කිසිවකගෙන් ආරංචියක්වත් නොවූවත් ඔහු මේ සඳහා උනන්දුවෙන් අයදුම් කළේ ඉල්ලා තිබුණාටත් වඩා සුදුසුකම් ඔහුට තිබුණු බැවිණි.
පාලිත කඩ කිහිපයකින්ම අම්මා කී පණිවිඩය පිළිබඳව විපරම් කළත් ඉන් ඵලක් නොවූයේ ඒ වන විටත් හන්දියේ කඩ සියල්ලම වෙනත් සැපයුම් කරුවන් විසින් ගිල ගෙන තිබූ නිසා ය.
රැකියාවක් ලැබෙන තෙක් කුලියක් මලියක් කිරීමට පාලිත උත්සාහ කළත්,ගමේ එවැනි වාතාවරණයකට අවස්ථාවන් දුලබ වූයේ ඉතා සරල ජීවන රටාවකට හුරු වූ ගම් වැසියෝ ස්වයං පෝෂිත ආර්ථික රටාවකින් දිවි ගෙවූ බැවිණි. එකිනෙකාගේ සහායෙන් තිබෙන වැඩක් පලක් සාමූහිකව කිරීම ඔවුන්ගේ පුරුද්දය.
පාලිතගේ ලොකු නංගී සඳමාලි, තාත්තාගේ මරණයෙන් මාසයක් ඉක්ම යන්නට පෙර වැඩිවියට පත් වූයේ වයස දොළහ සම්පූර්ණ වීමත් සමඟය.ලොකු අයියා මෙන් ඇයද ඉගෙනීමට ඉතා දක්ෂය. වාරාවසාන විභාගයෙන් සඳමාලි පන්තියේ පළවෙනියා වූයේ සියලුම විෂයයන් වලට වැඩිම ලකුණු ලබා ගනිමිනි.
තාත්තා ජීවත්ව සිටිද්දි මසා දුන් සුදු ගවුම දිනෙන් දින වැඩෙන ඇගේ සිරුරට හිර වැඩිය. ඒත් ඈ කිසි දිනක ඒ පිළිබඳව මැසිවිලි නොකීවාය. සැතපුම් හතරක දුරක් ගෙවා පාසලට ඇවිද යෑමෙන් සඳමාලිගේ සෙරෙප්පු කුට්ටම ද පොත්තටම ගෙවී ගොස් ය. සියලුම විෂයයන් වලට වෙන් වෙන්ව අභ්‍යාස පොත් නොතිබුණ බැවින් කිහිප වර ගුරුවරුන්ගේ වේවැල් පහර කෑමට ඇයට සිදුවූයේ එකම පොත විෂයයන් කිහිපයකටම වෙන් කොට ගෙන තිබූ හෙයිනි.
පාලිතට, ගුණදාස අමරසේකරගේ “ අපටත් දවසක ඉර පායාදෝ ” කියන කෙටි කතාවේ එන සිරියාවතීව සිහිපත් වූයේ තමන්ගේ නංගීද දිනක් අම්මාගෙන් චිත්‍ර තරඟයට යාමට පාට කූරු පෙට්ටියක් ඉල්ලු දිනයේ දීය. ඇය කිසි දිනක අම්මාගෙන් කිසිවක් නොඉල්ලූවත් පාට පෙට්ටියක් ඉල්ලුවේ චිත්‍ර වලට ඇයට තිබූ උපන් හපන්කම නිසාමය. පාසලේ කණිෂ්ඨ අංශයෙන් පළවෙනියා වී පළාත් තරඟයට සඳමාලි තේරී තිබීම පාසලේ ගෞරවයටද හේතු විය.
රස්සාවක් ලැබුණු දවසක මුල්ම පඩියෙන් ඇයට සුදු ගවුම් දෙකක් මසා දීමට පාලිත සිතා ගත්තත් එය සඳමාලි සමඟ නොකීවේ රස්සාවක සේයාවක් තවම දක්නට නොතිබූ බැවිනි. පවුලක තාත්තා මිය ගිය විට එහි ලොකුම බර දැනෙන්නේ වැඩිමහල් සහෝදරයාට හෝ සහෝදරියට නොවේ දැයි පාලිතට නිතරම මතක් වූයේ පවුලේ අඟහිඟකම් දිනෙන් දින වැඩි වන විටය.
දරුවන් පස් දෙනෙකු ජීවත් කරවන්න අම්මා විඳින දුක් කන්දරාව දකින පාලිතට නිතරම දැනුණේ මහත් වේදනාවකි. බිසෝමැණිකා තම්බන ඉදි ආප්ප වලින් කොටසකින් දරුවන්ගේ කුසගින්න නිවන්නට ද සිදු වූ නිසා සිතූ තරම් ලාභයක් උපයා ගන්නට නොහැකි විය. ඇයගේ ගත දිනෙන් දින වැහැරී යන්නට පටන් ගත්තේ දරාගන්නට සිදු වූ දුක් කන්දරාව හේතුවෙන් වයසට වඩා දෙතුන් ගුණයක තලතුනා පෙනුමක් එක් කරමිනි.
ඕපාදූප සෙවීමට මහත් සේ රුචිකළ හේරත් මුදලාලි, කඩයට අල්ලපු ඉඩමේ ගේ කෑල්ලේ දින කිහිපයකට පෙර අලුතින් පදිංචියට පැමිණි අඹු සැමි යුවල පිළිබඳ විමසිල්ලෙන් පසුවූයේ වඩාත් සැලකිල්ලෙනි. සතියක් හමාරක් ගත වෙද්දී දේවාල කුටියක් අටවා ගෙන මළවුන් ගෙන්වා ඔවුන් සාස්තර කියන්නට පටන් ගත්තේ ගම්මුන් පුදුම කරමින් ය. අදෘශ්‍යමාන දෙවි දේවතාවුන්ට පුද සත්තාර කරමින් කල් ගෙවූ ගැමි කාන්තාවන් කිහිප දෙනෙකු සාස්තර අසා “ කිරි ගහට ඇන්නා වගේ ” යැයි කළ කී දැයින් කාගෙත් සිත් කුතුහලයෙන් යුතු විය.
දිනෙන් දින වැඩිවන සාස්තර අසන්නට එන්නවුන් නිසා හේරත් මුදලාලිගේ කඩයට ද වාසි වැඩි විය. මේ හේතුවෙන් වෙනදාට වැඩියෙන් ඉදිආප්ප දෙතුන් සීයයක් තැම්බීමට සිදුවීමෙන් බිසෝමැණිකාගේ ද අතමිට සරුවිය. දින කිහිපයකින් පසු ඇයට ඉදිආප්ප වලට අමතරව ලැවරිය සහ පිට්ටු තැම්බීමට ද හේරත් මුදලාලිගෙන් ඇනවුමක් ලැබුණි. බිසෝමැණිකාගේ දෙවෙනි පුතා වූ උපුල් පාසලට යන විට මුදලාලිගේ කඩයට කඩයප්පම් දමා ආපසු දහවලේ ගනු දෙනු බේරාගෙන පැමිණීම ඇයට මහත් පහසුවක් විය.
අවසන් වරට අයදුම් කළ ඇඟලුම්කම්හලේ රැකියාවට තමා තේරී ඇති බව සඳහන් ලිපිය පාලිත කියවූයේ රැකියා කිහිපයකට අයදුම් කළත් කෙදිනකවත් පිළිතුරු ලිපියක් නොලැබුණු නිසා ඇති වූ විශ්මයෙනි.
“ පුතේ, අද හවසට පන්සලට ගිහින් ලොකු හාමුදුරුවන්ට වැඳලා කාරණේ කියලා වරෙං. උන්නාන්සෙ බොහෝම සතුටු වෙයි. උඹව මහණ කරගන්න කැමැත්තෙන් හිටියේ. ඒත් මං හිතන් හිටියේ උඹට හොඳට උගන්නලා ලොකු මහත්තයෙක් කරන්න. තාත්තගෙ හදිසි මරණෙන් ඒ හීන ඔක්කෝම බොඳ වුණා මයෙ පුතේ. හ්ම්……ඒකට කාරි නැහැ. උඹේ වාසනාව. ඒකයි කොළඹ රටේ රස්සාවක් ලැබුණේ. ”
සන්ධ්‍යා භාගයේ ගම ඉස්මත්තේ වැව, ඉර මල ගිල ගන්නා විට මැවෙන අපූරු සිතුවම බලන්න පාලිත කවදත් ඉතා ආසා කළේ ය. අද ඒ සුන්දරත්වය දකින අන්තිම දවස බව දැනුණු විට ඔහුගේ දෙකොපුල් තෙමමින් දෙනෙතින් කඳුළු ගැලූයේ ඔහු නොදැනුවත්මය. ජීවිතේ එක් වරක් පමණක් කොළඹ ගොස් තිබූ පාලිතට එහි දිවි ගෙවන්නට සිදුවීම භාග්‍යයක් ද අභාග්‍යයක් ද යන්න නිශ්චිතව සිතාගත නොහැකි විය.
අම්මාගේ දෙපා වැඳ හිමිදිරියේ ම පාලිත කොළඹ බලා පිටත් වූයේ ලොකු ඉස්කෝලේ මහත්තයාගේ පුතා දුන් සපත්තු ජෝඩුවත් ඇඳුමත් ඇඳ පැළඳ ගෙනය. කඩුල්ලෙන් පැන නියර දිගේ ඈතට ඇදෙන ලොකු පුතුගේ රූපය නොපෙනී යන තෙක්ම බිසෝමැණිකා බලා සිටියේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගනිමිනි.
දේවාලය දිනෙන් දින මිනිසුන්ගෙන් පිරී ඉතිරී යන්නට පටන් ගත්තේ කපුවා නොයෙක් දෑ බලා සිටියා සේ කියන්න පටන්ගත් බැවිණි. බිසෝමැණිකාගේ සිවු හැවිරිදි බාල පුතු හැර ඉතිරි තිදෙනා දේවාලයේ අත් උදව්වට ගියේ පාසල් නිවාඩු කාලය වූ නිසා ය. ඔවුන්ට පැවරී තිබු රාජකාරිය වූයේ සාස්තර ඇසීමට පැමිණෙන මිනිසුන්ගේ කතා බස් අසාගෙන සිට සාස්තර කියන ගැහැනියට පැවසීමය.
පහළොස් හැවිරිදි වියෙහි පසු වූ උපුල් එම රාජකාරිය සඳහා ගජ හපනා විය. දේවාලේ ගැහැනිය දවසේ වැඩ අවසන් කොට කීයක් හෝ අතේ ගුලිකළේ ඔවුන් තිදෙනා සන්තෝෂ කිරීමටය. බිසෝමැණිකා දරුවන් දේවාලයට යනවාට අකමැති නොවූයේ දෙවියන්ට ලැබෙන පූජා වට්ටි වලින් උන්ගේ කුස පිරෙන නිසාය. ඉතුරු පහදු වෙච්ච පලතුරක්, කැවිල්ලක් අම්මාටත් මල්ලීටත් ගෙන එන්න සඳමාලි අමතක නොකළාය.
දේවාලයෙන් ලැබෙන මුදල දවසින් දවස ඉහළ යාමෙන් සඳමාලිගේ සුදු ගවුමක් මසා ගැනීමේ සිහිනය ද සැබෑවිය. ඇය එම මුදල් කුස්සියේ පරණ ටින් කබලක් අස්සේ සැඟවූවේ පොඩි අයියා හොරකම් කරතැයි යන බියෙනි. දේවාලයේ වැඩ රාජකාරි කිහිපයක් කළ නිසා උපුල්ට ලැබුණු මුදලේ ප්‍රමාණය වැඩි වූවත් ඔහු ඒවා නාස්ති කළේ ඉන් නිසි ප්‍රයෝජනයක් නොගෙනය.
ලොකු පුතා කොළඹ රැකියාවට ගොස් දෙසතියක් ගත වූවත් ලියුමක් නොඑවීම පිළිබඳ බිසෝමැණිකා සිටියේ කනස්සල්ලෙනි. දේවාලයට පින් සිද්ධ වෙන්න පොඩි එවුන්ගේ බඩ ගින්දර නිවීමෙන් ඇය සැනසුණා ය. ගෙදරට අවශ්‍ය හාල් තුන පහ ඇය මිල දී ගත්තේ හේරත් මුදලාලිගේ කඩයට ඉදිආප්ප තම්බා දී ලැබුණු මුදලෙනි.
“ අම්මේ…… අම්මේ මෙන්න ලොකු අයියාගෙන් ලියුමක් ”
ඒ බිසෝමැණිකාගේ නව හැවිරිදි දෙටු දියණිය වූ නිර්මලීගේ හඬය. ඇය ලොකු අයියාට බොහෝ සේ ආදරය කළා ය. පාලිත කොළඹ රටින් ලස්සන බෝනික්කියක් ඇයට ගෙනවිත් දෙන්නට දුන් පොරොන්දුව නිසා ඒ ආදරය තවත් වැඩි වන්නට විය.
තෙරුවන් සරණයි!
ආදරණීය අම්මේ,
මම හොඳින් ඉන්නවා. මට ඉන්න තැනක් ලැබුණා. ලියුමක් එවන්න පරක්කු වුණාට සමාවෙන්න. අලුත් රස්සාව නිසා වැඩ ඉගෙන ගන්න ටිකක් කල් ගියා. මං මේ මාසේ අන්තිමට පඩි ලැබුණාම ඇවිත් යන්න එන්නම්. මට කරදරයක් නැහැ. බය වෙන්න එපා. අම්මාත්, නංගිලාත්,මල්ලිලාත් සුවෙන් ඇතැයි හිතනවා. හැමෝම ආදරෙන් මතක් කළා කියන්න.
මීට
ආදරණීය ලොකු පුතා
ලිපිය කියවා අවසානයේ බිසෝමැණිකා දීර්ඝ හුස්මක් හෙළුවේ මහත් සැනසීමෙනි. ඇය සුපුරුදු පරිදි ගෙදර දොර වැඩ කටයුතු වලත් කඩයප්පං තැම්බීමේත් නිරතව සිටියාය.
දින සති ගෙවෙද්දී පාසල් නිවාඩු කාලය අහවර වූවත් උපුල් පාසල් යාමට මැලිවූයේ ඉගෙනීමට ඇති අකමැත්ත නිසා පමණක් නොව දේවාලයෙන් ලැබෙන කෑමට හා මුදලටත් ලොල් වූ නිසාය. වයසට වඩා මුහුකුරා යමින් කරදඬු උස් මහත් වූ හිතුවක්කාරයාව මෙල්ල කිරීමට බිසෝමැණිකා අපොහොසත් වූවාය.
දේවාලයෙන් ලැබෙන මුදලට ආස හිතුනත් ඉගෙනීම ඊට වඩා වටින නිසා සඳමාලි අලුතින් මැසූ සුදු ගවුමත් හැඳගෙන වෙනදාටත් වඩා උදයෙන්ම පාසල් ගියේ ඉමහත් සතුටිනි. බිසෝමැණිකාගෙන් ඇයට ලැබුණු අලුත් සෙරෙප්පු කුට්ටම මැටි පොළොව සිඹ ගත්තේ ඇය එය පළඳමින් සීරුවට හැඩ බලමින් ඇවිද්ද විටය. සඳමාලිගේ ඊළඟ අදිටන වුයේ දේවාලයේ හවස් භාගයේ වැඩ කොට පොත් පැන්සල් මිලදී ගැනීමට යම් මුදලක් එකතු කොට ගැනීම ය.
හදිසියේම දිනක ගමට පොලිස් ජීප් රියක් පැමිණීමෙන් ගම්මූ කලබලයට පත්වූයේ පොලිස් වාහනයක් ගමට පැමිණියේ ඉතා කලාතුරකින් නිසා ය. දේවාලය වැටලූ පොලිස් නිලධාරීන් සාස්තර ගැහැනියට හා කපුවාට මාංචු දමා රැගෙන ගියේ මීට හත් අට මාසයකට ඉහතදී සිදු වූ මිනී මැරුමක ප්‍රධාන සැකකරුවන් වීම හේතුවෙනි.
රැස්ව හුන් මිනිසුන් අතර සිටි බිසෝමැණිකාට දැනුණේ තමාට මාංචු දැම්මා සේය. දේවාලයේ දොර වැසීමත් සමඟ තම දරුවන්ගේ කුස ගින්දරේ දොර ඇරෙන බව ඇය සිතුවේ වේදනාවෙනි.
දේවාලය වැසීයාම නිසා හේරත් මුදලාලිගේ කඩයටද වෙනදා මෙන් සාරයක් නොවූයෙන් බිසෝමැණිකාගේ ඉදිආප්ප තැම්බීම ද අඩු විය. ලොකු පුතා කොළඹ ගොස් තුන් මාසයක් ගෙවී ඇතත් ඔහුගේ නොපැමිණීම ඇයට දරාගන්නට නොහැකිය. දිනෙන් දින ගෙදර අඟහිඟකම් දළු දාන්න පටන් ගත් විට කොස් ගෙඩියක්, දෙල් ගෙඩියක් තම්බා පොඩි උන්ගේ බඩගින්දර නිවන්නට ඇයට සිදු විය.
කුස්සිය මුල්ලේ මැටි මුට්ටියක හාල් හුණ්ඩුවක් ඇය සඟවා තැබූයේ ලොකු පුතා පැමිණි දිනක උයා දීමේ චේතනාවෙනි. තුන් වේලටම බත් ඇටයක් නැති දාට ඇය හාල්ටික මුට්ටියෙන් ගෙන අතගා නැවත මුට්ටියටම දැමූයේ සුසුමක් හෙළමින් ය. හාල් හුණ්ඩුවක් දරුවන් හතර දෙනෙකුට කිසිසේත් ප්‍රමාණවත් නොවූමුත් ඇය එසේ කළේ ලොකු පුතුට ඇති සෙනෙහස නිසා මය.
“ මද්දු පුතේ, හිච්චි මාමලාගෙ කොස් ගහෙන් හොඳට පැහිච්ච කොස් ගෙඩියක් කඩන් වරෙන්කො. අද දවල්ට පොඩි එවුන්ට කොස් ටිකක්වත් තම්බලා දෙන්න. ඊයේ කෑවෙත් දෙල්නෙ මයෙ පුතේ ”
යොවුන් වියට එළැඹිමින් සිටි උපුල් අනුන්ට අතපාන්නට සිදුවීම පිළිබඳව සිටියේ බඩගින්නට යට වුණු ලැජ්ජාවකිනි.
“ අනේ අම්මේ, හැමදාම ඔහොම අනුන්ගෙ ගස්වලින් ගෙඩි කඩාගෙන එන්න පුළුවන්ද? මොකක්ද මේකේ තේරුම. කෝ…අම්මගේ මහලොකු පුතා සල්ලි එවුවද? සල්ලි එවන්න තියා මිනිහා ගෙදරවත් ආවේ නැහැ. දැන් මාස පහක් ගියා. මාත් මොකක් හරි රස්සාවක් හොයා ගන්නවා. එතකල් සිරාගේ කසිප්පු වාඩියේ වැඩට යනවා. හැමදාම කොස් දෙල් කකා ඉන්නද……? ”
* * *
ගෝල්ෆේස් පිටියේ මුහුද මළහිරු ගිල ගනිද්දී නිම්මි, පාලිතගේ උරහිසේ හිස තබා ගත්තේ ඔහුගේ ඇඟිලි තුඩු තදින් මිරිකමිනි.
“ අනේ පාලිත, හැමදාම මෙහෙම මුහුද දිහා බලන් ඉඳලා , කඩල ගොට්ටක් එක්ක බැදපු ඉස්සෝ කාලා රෑ වුණාම ආයෙත් යනවා. අපි දවසක ගල්කිස්සේ බීච් එකේ තියෙන හට් එකකටවත් යමුකො. ටිකක් නිදහසේ ඉන්න පුළුවන් එතනට ගියාම. මෙතන හතර වටේම මිනිස්සු බලාගෙන ඉන්නවා. මට ඔයාගෙ ආදරය තාම හරියට දැනිලවත් නැහැනේ ”
පාලිත ගැඹුරු කල්පනාවක නිමග්නව සිටියේ නිම්මි විසින් කියල ලද ගල්කිස්ස මුහුදු වෙරළේ ඇති ස්ථාන පිළිබඳ අවබෝධයක් නොමැති කමිනි. ඒ ගැන විමසා දැන ගන්නට ඔහු කළ උත්සාහය ඇයගේ හාස්‍යයට ලක්විය.
“ අයියෝ ළමයෝ, ඔයා නම් මහ ගොඩයෙක්. ඒ වගේ දෙයක්වත් දන්නෙ නැද්ද? දැන් කොළඹට ඇවිත් මාස කීයක් ගියාද? ඔයා කමල්ගෙන්වත් අහලා දැන ගන්නකෝ ”
පාලිත, නිම්මිව ළඟින් ඇසුරු කරන්න පටන්ගෙන සිවුමසක් ඉක්මවූවා පමණි. හැම මසකම අවසානයේ ගමේ යන්නට සිතා සිටියත් ඇගේ නොයෙක් ඉල්ලීම් ඉටු කිරීමට සිදුවීමෙන් ඔහුගේ අතේ ගමේ යාමට තරම් මුදලක් ඉතිරි වූයේ නැත.
නිම්මි සේවය කළේ පාලිත වැඩ කළ ඇඟලුම් කම්හලේ මය. ඇය සිනාසෙන විට මුහුණේ දකුණු පස කම්මුල වළ ගැසෙයි. පාලිත ගමේ ඉස්කෝලයට යන විට ඔහුගේ පන්තියේ සිටි කුසුම්ගේ දකුණු කම්මුලද සිනාසෙන විට වළ ගැසුණ බව ඔහුට මතක් විය. කුසුම්ගේ අව්‍යාජ බවටත් අහිංසක කමටත් වඩා ඔහු ලොල් වූයේ ඇගේ කම්මුලේ වළ ගැසීමටය. ඇය පිළිබඳ ආදර හැඟීමක් ඇති වූවත් දිනෙන් දින ඒ ගැන කුසුම්ට ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාලිත කල් දැම්මේ මිත්‍රකම අහිමි වේ යැයි ඇති වූ බියටය. ඒ අතර කාලයේ පන්තියේ සිටි වෙන අයෙක් කුසුම්ට ළං වීමෙන් ඇය පිළිබඳ උපන් සිතුවිලි ඔහු යටපත් කරගත්තේ හිත් වේදනාවෙනි.
අතීත සුන්දර මතකයන් මෙනෙහි කරමින් සිටින විට නොදැනුවත්වම නිම්මි පාලිතට ළං විය. ඇය පාලිතට ඉක්මනින්ම ආකර්ෂණය වූයේ මනා පෞරුෂයකින් හෙබි කඩවසම් පෙනුමකින් ඔහු පොහොසත් වීම නිසාය.
නිම්මි, පාලිත සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගන්නට පෙර සිටම විටින් විට ඔහුගෙන් නොයෙක් හේතු කියා ණයට මුදල් ඉල්ලා ගත්ත ද ඒවා නැවත නොදුන් බොල් ණය විය.
සති අන්තයේ නිවාඩු දිනවල හා පෝය දිනවල පාලිත කල් ගෙවූයේ නිම්මිගේ ඇසුර ලබමින් ය. ඔවුන් කොළඹින් පිටත්වන පාන්දර කෝච්චියේ නැගී නොයෙක් පැති වලට ගොස් කාලය ගෙවා දමන්නට පුරුදු වූයේ අතේ ඇති මුදල රෙස්ටුරන්ට් වලට පූජා කරමින්ය. සතියේ දිනවල රෑ නිදිවරමින් ලබා ගන්නා අතිකාල දීමනාව මෙසේ නිම්මිගේ සුඛ විහරණයට ඔහු වියදම් කළේ කිසිම ලෝබ කමක් නොමැතිවය.
නිම්මි නොයෙක් පිරිමි රවටා මුදල් ගන්නා බවත් ඔවුන් සමඟ විවිධ සම්බන්ධකම් පවත්වන බවත් කමල් කිහිප විටෙක පැවසුව ද පාලිත සිටියේ ඇයගේ ආලිංගනයෙන් මත් වීය. ඇය වෙනුවෙන් හිතු හිතු ලෙස වියදම් කළේ ගැහැනියකගේ ඇසුර මින් පෙර කෙදිනකවත් නොලැබ සිටි නිසා ය. ඔහුට නිම්මිගේ පහසින් මිදෙන්නට නොහැකි වූයේ රාගයෙන් මත් වී සිටි බැවිණි. අම්මා ගැන විටින් විට මතක් වූවත් නිම්මිව එක් මොහොතක් හෝ අත්හැර යන්නට නොහැකි තරම් මානසිකත්වයකින් ඔහු පෙළුණු බැවින් ගමේ යාම දිනෙන් දින කල් යන්ට විය. පාලිත ඔහුගේ ජීවිතයේ අංගයක් ලෙස සලකා නිම්මිට ආදරය කළ ද ඇය එසේ නොවූයේ ඔහු ඇයට තව එක් පිරිමියෙකු පමණක් වූ බැවිනි.
පාලිතගේ අහිසංකකමත් අවංකබවත් අයුතු ලෙස ප්‍රයෝජනයට ගන්නා නිම්මි පිළිබඳ ඔහුගේ බෝඩිම් සගයා වූ කමල්ට තිබුණේ වේදනාවකි. කෙසේ හෝ මේ මර උගුලෙන් තම මිතුරා ගලවා ගන්නට ඔහු නිතර උත්සාහ කළේ පාලිත කෙරෙහි ඇති ළැදියාවෙනි.
“ මචං පාලිත, මං උඹට හිතවත් නිසා කියන්නෙ. ඔය ගෑනිව විශ්වාස කරන්න එපා බං. බලපන් දැන් මාස කීයක්ද?. උඹ අම්මව බලන්න ගමේ ගියාද? අඩුම තරමින් අම්මට සල්ලි කීයක්වත් යැව්වද? උඹෙ මුළු පඩියම ඒකිට පුදනවා. උඹට මාව විශ්වාස නැහැනේ. දවසක මං පෙන්වන්නංකො උඹේ ඔය උර චක්කරමාලේ වැඩ කොහොමද කියලා. ”
කමල්ගේ චවන පාලිතට දැනුණේ තියුණු පිහි පහරවල් ලෙසය. පුරා සත් මසක් දුක් මහන්සියෙන් ඉපයූ දෑ ගෑනියක් නිසා දිය වී ගොස් ඇති බව ඔහු තේරුම් ගත්තේ නිම්මි ගල්කිස්ස මුහුදු වෙරළේ වෙනත් පිරිමියෙක් සමඟ වෙළී පැටලී සිටි අයුරු දුටු දවසේ ය.
* * *
මාස ගණනක් තිස්සේ වැස්සක සේයාවක් නොලැබූ ඈත වෙල්යායට ඉහළින් සුදු වළා රොදක් පාවී යන අයුරු බිසෝමැණිකා බලා සිටියේ සාංකාවෙනි. කසිප්පු වාඩියේ වැඩට ගොස් දෙමාසයකින් උපුල්, මහ උළු ගෙදර බත් කෑමට ගියේ චවන හුවමරුවකින් ඇති වූ පිහි ඇනුමෙන් කසිප්පු මුදලාලි සදාතනික නින්දට යැවීමෙනි.
කුස්සිය මුල්ලේ සඟවා තිබූ හාල් හුණ්ඩුව‍ මේ අවස්ථාව වන විට බිසෝමැණිකා විසිතිස් වතාවක් අතගා නැවත මුට්ටියටම දමා තිබුණි. සත් මසක් ගත වූවත් විටින් විට ගෙදරට හාල් සේරුවක් දෙකක් ගෙනාවද ඇය ලොකු පුතා වෙනුවෙන් වෙන් කළ හාල් හුණ්ඩුව ආහාරයට නොගත්තාය. දවස් දෙකකින් බත් ඇටයක් නොකෑ අනිත් ළමයි තිදෙනාගේ කුසගිනි නිවනු වස් ඇය සැඟවු හාල් හුණ්ඩුව පිටතට ගෙන සුසුම්ළමින්ම ලිප තබා මදි පාඩුවට කොස් ගෙඩියක් ද තැම්බී ය.
වත්ත පහළ කලපු දියේ සරුවට වැවී තිබුණු කැරන් කොකු දළු ටිකක් කඩාගෙනවිත් ගෙදර තිබුණු අන්තිම පහේ සියල්ල දමා කැරන් කොකු මාලුව ඇය රසට ඉවුවේ ලොකු පුතුව සිහිකර ගෙනය.
“ ලොකු පුතා හරිම ආසයි කැරන්කොකු මාලුවට ”
කුස්සියේ පොල් ගාමින් සිටි සඳමාලිට ඇය එසේ කීවේ දෙනෙතින් කඳුළු වගුරවමිනි.
“ මොනවා කරන්නද අම්මේ, අයියා ගැන අපි කොහෙන් හොයන්නද? ”
පොල් සම්බෝලය සාදා අහවරව බත් බෙදන්නට සූදානම් වූ බිසෝමැණිකා පොඩි දියණියගේ කෑ ගැසීමෙන් තිගැස්සිණි.
“ අම්මේ…… අම්මේ….. ලොකු අයියා……….”
බිසෝමැණිකාගේ හදවත නතර වූවා සේ දැනිණි. ඇය ගෙයි ඉදිරිපසට දිව ආයේ දෑසට නැගුණු කඳුළු දෙකොපුලේ රූ රා වැටෙද්දීමය.
“ ලොකු පුතේ, ඇයි මයෙ රත්තරං පුතේ උඹට මොකද වෙලා තිබ්බේ. මං කී දවසක් නම් මේ ගින්දර උහුලන් හිටියද? ඇයි උඹට අම්මව අමතක වුණාද? උඹ ඉන්න ඉසව්වක් දන්නව නම් මං මෙලහකට උඹව හොයා ගෙන ඇවිත්. උඹ ඇදිලා ගිහින් මයෙ පුතේ. වැඩරාජකාරි නිසා වෙන්න ඇති මයෙ හිතේ. අනේ වරෙං. උඹ බඩ ගින්නෙ ඇත්තෙ. උඹ ආස කෑම අද උයලා තියෙන්නෙ.මට හීනෙන් වගෙ හිතුණා උඹ අද එයි කියලා….. ”
පුරා සත් මසක් මුලුල්ලේ සඟවා තැබූ හාල් හුණ්ඩුවේ උරුමක්කාරයා වූයේ පාලිතමය. අනෙක් දරුවන්ට ලොකු අයියා වෙනුවෙන් තම බත්පත පිදීමට සිදු වූවත් කිසිවෙකුත් මැසිවිලි නොනැගුවේ ඔහුට ඇති සෙනෙහසිනි. සිහියක් පතක් නැතිව බත්පත ගිල දමන ලොකු පුතු දෙස බිසෝමැණිකා බලා සිටියේ සතුටත් වේදනාවත් මුසු බැල්මෙනි.
“ අනේ අම්මේ, පුදුම රසක් තියෙන්නෙ. මට තව බත් ටිකක් දෙනවද….? ”
ලොකු පුතුගේ අනපේක්ෂිත ඉල්ලීමෙන් අසරණ වූ බිසෝමැණිකා කිසිවක් කියාගත නොහැකිව සිටිද්දී පාලිත බත් පත ඇයට දිගු කොට බලා සිටියේය.
“ අයියේ, වෙන බත් නැහැ ගෙදර. අපිත් දවස් දෙකකින් බත් කාලා නැහැ. ”
තම පුංචි නැගණියගේ චවන පාලිතගේ දෙසවන් බිහිරි කරන්නට තරම් දෝංකාර දුණි. ඇඳි වත පමණක් රැගෙන ගෙදර ඒමට සිදුවීම ගැන පාලිත මහත්සේ කම්පාවට පත්වූවේ නැගණියට ලස්සන බෝනික්කියෙකු ගෙන ඒමට දුන් පොරොන්දුව ද මෙනෙහි කරමිනි.
රුක්ෂිලා වෙත්තමුණි
වේයන්ගොඩ

Friday, 14 October 2016

මොණරු--රුක්ෂිලා වෙත්තමුණි

“පත්තර කීයක කියල මංගල දැන්වීම් දැම්මද? අප්පේ…, කොහොම හරි අන්තිමට හොඳ කෙනෙක්ව හොයා ගන්න පුළුවන් වෙච්ච එක ගැන මට නම් හරිම සතුටුයි”
“ඒක නම් සහතික ඇත්ත අමාලිලැ අප්පච්චි. මගේ ඔලුවේ තිබ්බ ලොකු බරක් බිම තිබ්බ වගෙ දැනෙන්නෙ. පුදුම සහනයක්. මං බයේ හිටියෙ මේ ළමයට හතළිහ පැන්නොත් කොහොම මඟුලක් කරල දෙන්නද කියල. මොකද දැන් කාලෙ මිනිස්සු හොයන්නෙ විස්සෙ තිහෙ කෙල්ලන්වනෙ. යාන්තම් හතලිහ පෙනි පෙනීවත් බන්ඳලා දෙන්න පුළුවන් වෙච්ච එක ලොකු දෙයක්. පියල්ට කියලත් ඉතිං වයසක්යැ. අවුරුදු 49 යි නේ. හොඳට සල්ලි භාගෙ තියෙන එකේ කාල බීල සැපවත් ජීවිතයක් ගත කරන්න අපේ ලොකු දුවට බැරියැ”
අමාලිගේ දෙමව්පියන් පියල්ට මහත් සේ ආදරය කළේ, ඔහු ඉතා නිර්ලෝබිව වියදම් කරන මුදල් නිසාය. විශ්‍රාමික රජයේ සේවයකු වූ අමාලිගේ අප්පච්චීට තම වැඩිමහල් දියණියගේ මංගල්‍යය ඉතා සරුවීම මහත් සැනසිල්ලට හේතුවක් වූයේ ද පියල්ගේ මුදල්මය.
කුඩා කල ගංගා, ඇල දොළ පනිමින් ලියදි දිගේ දිව ගිය අමාලි, දෙමහල් නිවසක අතට පයට සේවයට මෙහෙකාරියන්ගේ ද වත්තේ පිටියේ සේවයට මෙහෙකරුවන්ගේ ද සහායයෙන් ගත කළේ ඉතා සැපවත් ජීවිතයකි.
දින, සති, මාස ඉක්ම වී විවාහ දිවියට වසරක් සම්පූර්ණ වුවද ඇය මවක් වීමට වාසනා නොලද්දීය. විවිධ විශේෂඥ නාම පුවරු යටතේ ලංකාවේ ප්‍රසිද්ධ වෛද්‍යවරුන්ගේ රැකවරණය පතා නොයෙක් වර ගියත්, බෝධි පූජා පවත්වමින්, හොර සාස්තරකාරයන්ගේ හා හොර වෙද්දු පසු පස ගියත් පලක් නොවූ කල දරුවෙකු ළමා නිවාසයකින් හෝ රැගෙන හදා වඩා ගන්නට කළ ඉල්ලීම ද දෙතුන් වරකදීම ප්‍රතික්ෂේප වීමෙන් පසු ඇය දරුවෙකුගේ සුරතල් බැලීමේ ආශාව දවසින් දවස අත් හැරියේ පොත පතට වඩාත් ළංවෙමිනි.
අමාලිගේ දළ පැහැති සමත් රූපශ්‍රීයත් නිසා ඇගේ දුප්පත්කම තමාගේ අනාගතයට බාධාවක් නොවන බව මුදල් මතම සියල්ල තීරණය කරන පියල්ට නිතර සිහිවිය. විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පියල් බොහෝ සේ ඇලුම් කළේ ඉක්මනින්ම පොහොසතෙකු වීමටය.
සාම්ප්‍රදායික රාමුවට කොටු වී සමාජයේ වෙසෙන මිනිසුන්ට අවශ්‍ය පරිදි ජීවත් වීමට කටයුතු කළ අමාලිගේ දෙමව්පියන් බරින් නිදහස් වීම සඳහා වැඩිමහල් දියණිය සල්ලිකාරයෙකුට විවාහකර දී උදම් අනිමින් දිවි ගෙවූ නමුත්, තම දියණිය විඳින මානසික පීඩාව පිළිබඳ සිටියේ අනවබෝධයෙනි.
“අමාලි…… ඔන්න අපිට වාලම්පූරියක් ලැබෙන්න යන්නෙ” “ඒ මොකද පියල්…….? ”
“මං පොඩි බිස්නස් එකකට අත ගැහුව. ඇත්තම කිව්වොත් ඒක හවුල් ව්‍යාපාරයක්. මාත්තෙක්ක තව තුන් දෙනෙක් ඉන්නව. ඔයා දන්නවද, මට ඒකෙන් ලැබෙන පළවෙනි කමිෂන් එක ලක්ෂ දහයක්.හැබැයි මං පොඩි කැපකිරීමකුත් කරනව.”
“ඒ කිවුවෙ, ඔයා මොකද්ද කරන කැපකිරීම…..? ”
“ඒක සුළු දෙයක් ළමයො. මමත් සල්ලි කොටසක් දානව. තව පොඩි පොඩි කාරණා කිහිපයක් ඉෂ්ට කරන්න හිතාගෙන ඉන්නව අපෙ හවුල් කාරයන්ව සතුටු කරන්න. ඒක නෙමෙ අමාලි, ඔයත් මේ ගෙදර හිර වෙලානෙ ඉන්නෙ. අපි යමු නුවර එළියෙ පැත්තෙ පොඩි සංචාරයකට. අපිත් එක්ක තව දෙතුන් දෙනෙක්ම යනව. මං ඔයාට කිව්ව හවුල් කාරයො තුන් දෙනාගෙන් එක් කෙනෙක් ඉන්නෙ නුවර එළියෙ. ඉතිං අපි එහෙදි මීටින් එකක් තියන්න හදන්නෙ. මං හිතුවා ඔයාවත් එක්ක යන්න”
අමාලිගේ සිත සතුටින් ඉපිලී ගියේ ඇය රටතොටේ ඇවිදීමට බෙහෙවින්ම ප්‍රියකළ හෙයිනි. නිතරම මුදල් එක්ක ඔට්ටු වන තම සැමියා විවාහ වී වසරක් ඉක්ම වූ පසු යාමට සූදානම් වන ප්‍රථම සංචාරය ගැන ඇය සිටියේ ඉමහත් සතුටිනි.
පීඩාකාරි කොළඹ නගරයෙන් මිදී පැමිණි අමාලිට, හරිත වර්ණයෙන් බැබලෙන තේ දළු අතවනා ආචාර කළේ ඉතා සොම්නසිනි. උදුවප් සීතලෙන් ඇගේ ගත මෙන්ම සිතත් හිරිවැටුණේ දළ පැහැති කම්මුල් රෝස පැහැ නංවමිනි. අමාලිලාගේ නවාතැන්පොළ වූයේ තේ වත්තක හිමිකරුවෙකු වූ අමරසිංහගේ බංගලාවයි. ඔහුගේ පවුලේ සියලු සාමාජිකයින් ඕස්ට්‍රේලියාවේ වාසය කරන බව අමාලි දැන ගත්තේ පසු දා උදෑසන තේ මේසයේදී ඇති වූ කතා බහිනි.
“මිසිස් බොතේජු කොහොමද ? ඊයෙ රෑ හොඳට නින්ද ගියාද ? ”
“අනේ ඔවු මිස්ටර් අමරසිංහ, ගමන් මහන්සියයි මේ සීතලයි නිසා වෙන්න ඇති දන්නෙම නැතිව නින්ද ගියෙ ”
“පියල්, අද කීයට විතරද අනිත් අය එනව කිවුවෙ ? ”
“මං හිතන්නෙ අමරෙ, හවස තුන හතර වෙද්දි එයි”
“අද එහෙනම් අපි හැමෝටම සුන්දර රාත්‍රියක් වෙයි නේද ? ”
“ඔව්, ඔව්, ….නැතිව, නැතිව”
හිරිගඩු පිපෙන සීතලෙන් ගුලිවී බංගලා වත්තේ ඇවිදීමට අමාලිගේ සිත බල කළත් කූඩැල්ලන්ට තියෙන බියෙන් ඇය එම අදහස උපන් ගෙයිහිම මරා දැමීය. අමරසිංහගේ පොත් ගුලට රිංගු අමාලි පොත් අතර සැරිසරා ‘මහල්ලා සහ මුහුද’ සොයා ගත්තේ පොඩි දරුවෙකු පැණි රස කෑමක් දැකීමෙන් ඇතිවන ගිජුකමිනි. මීට වසර ගණනාවකට උඩ දී විශ්වවිද්‍යාලයේ පුස්තකාලයෙන් මේ පොත කියවා තිබුණද ඇයට නැවත කියවීමේ ආසාව ඇති කළේ බංගලාවේ ඇති හුදකලාවත් සමඟිනි. ‘මහල්ලා සහ මුහුද’ ඇයගේ අතීතයේ සුන්දර දවස් සිහිපත් කළේ නොදැනුවත්මය. විශ්වවිද්‍යාල භූමියේ අමල්ගේ අතේ එල්ලී කුඩා දැරිවියක සේ ආගිය තැන් සහ කළ කතාබස් ඇයට සිහි ගැන්වූයේ හදවතේ මහත් වේදනාවක් ඇති කරමිනි.
“අමාලි, අමල්……..ෂා නියමෙට ගැලපෙනව. උඹල දෙන්න පතාගෙන ආව ජෝඩුවක් වගෙ. ඇත්තමයි බං, නම් වලිනුයි ගති ගුණයි හැම අතින්ම උඹල දෙන්න ගානට සෙට්”
“අනේ නිකං පලයං බං උදලු දාන්නෙ නැතුව. උඹත් අල්ලගනිංකො උඹටම හරියට කෙල්ලෙක්ව. මං ඕන නම් පොඩි පෝස්ටර් ව්‍යාපාරයක් දෙන්නම්” ‘උපුල්ගෙ අත ගැනීමට සුදුසු පෙම්වතියක් සොයයි’
“අපිට කොහිද මල්ලි…. එහෙම වාසනාවක්. උඹල ඉතිං පින් කඳන්නෙ”
උපුල්ගේ මුඛරි කතාවලට අමාලිත්, අමලුත් සිනාසුනේ මුලු විශ්වවිද්‍යාල භූමියේම දෝංකාරය නංවමිනි.
විශ්වවිද්‍යාලයේ දෙවන වසරට පිවිසෙන විට අමල්ගේ නිහඬ චරිතය ටිකෙන් ටික වෙනස් වන්නට පටන් ගත්තේ අමල්, ‘ප්‍රගතිශීලී ශිෂ්‍ය සංගමයේ ’ සාමාජිකත්වය ගැනීමත් සමඟය. වෙනදා මෙන් අත්වැල් පටලවා, පෙම්බස් දොඩමින් පාරක් පාරක් ගානේ ඇවිදින්නට දැන් අමල්ට වෙලාවක් කලාවක් නැත. ඊටත් වඩා එසේ යන්නට කැමැත්තක්ද නැත.
“ඇයි අමල්, ඔයාට ඉස්සර වගෙ සැහැල්ලුවෙන් ඉන්න බැරිද…? ”
“මාව තේරුම් ගන්න අමාලි. අපේ රටේ දුක්විඳින ජනතාව වෙනුවෙන් අපි මොනව හරි කරන්න ඕන. මේ පවතින අසාධාරණ සමාජ ක්‍රමයට එරෙහිව නැගී හිටින්න ඕන. ඉතිං ඔයයි මායි විතරක් සැප විඳින්න හිතන්න එපා. අපේ අනාගත දරු පරපුර වෙනුවෙන් අපි කැපවෙන්න ඕන අමාලි…… ”
අමල්ගේ දේශපාලන ජීවිතයත් සමඟ ඉතා කාර්ය බහුල වීම හේතුවෙන් දිනපතා මුණ ගැහිච්ච අමල්ව සතියකට හමාරකටවත් දකින්නට නොලැබීමෙන් අමාලි කල්ගෙවුවේ ඉමහත් වේදනාවෙනි. දිනෙන් දින රටේ තත්ත්වය අඳුරු අගාධයකට ඇද වැටෙද්දී විශ්වවිද්‍යාලය වසා දැම්මේ දින නියමයක් නොමැතිවය.
පියල් බොතේජුගේ බිරිඳ වී වත්මනේ දිවි ගෙවන්නට ඇයට සිදු වූයේ අමල් නාදුනන තුවක්කු කරුවෙකුගේ ඉලක්කයට ගොදුරු වීමෙනි. අමාලිට බාල සොයුරියන් දෙදෙනාම විවාහ දිවියට එළඹුනද ඇය දිනෙන් දින තම කසාදය කල්ඇරියේ අමල්ගේ මතකය විටින් විට ඇගේ සිතේ හොල්මන් කළ බැවිනි.
කොළඹින් පිටත්ව නුවර එළියේ සංචාරයට පැමිණි අමාලිට පසු දා හිරු උදා වූයේ දහසක් බලාපොරොත්තු පොදි බැඳගෙනය.
“අමාලි, අපි යමුද ටිකක් ඇවිදින්න. ඔයා ඊයෙ හිටන් කාමරයට වෙලානෙ හිටියෙ. දැනට අපි අමරෙ එක්ක යං. අද හවසට ඉතිං තව දෙතුන් දෙනෙක්ම එකතු වෙනවනෙ. එතකොට බැරියැ තව තැන්වල ඇවිදින්න යන්න”
“අනේ යමු පියල්, ඇත්තටම මං හරිම කම්මැලිකමෙන් හිටියෙ. එළියට බහින්නත් බයයි කූඩැල්ලො නිසා”
“අපොයි ළමයො, මොකටද උංට බය වෙන්නෙ. ඔයා ඉතිං ෆොටෝ ගන්න ආසයිනෙ. මේ ළඟ ලස්සන දිය ඇල්ලක් තියෙනව කියල අමරෙ කිව්ව. අපි එහෙ යං. එතකොට ඔයාට හිතේ හැටියට ෆොටෝ ගන්න බැරියැ…..”
අමරසිංහගේ ජීප් රථයේ නැගි තිදෙනාම දිය ඇල්ල ඇති ඉසව්වට ගියත් රථයෙන් බැසීමට පියලුත් අමරසිංහත් මැලි විය. එහෙත් අමාලි නම් සිටියේ උතුරා යන සතුටිනි. පාරෙන් මදක් ඉවත් කොට වාහනය නතර කළ සැනින් ඉන් බැසගත් අමාලි වශීකෘත වූයේ පරිසරයේ මනස්කාන්ත දර්ශන දැකීමෙනි . ව්‍යාපාර ලෝකයේ සිර වී සිටි පියල්ටත් අමරසිංහටත් ස්වභාය ධර්මයේ ඇති සුන්දරත්වය විඳීමට තරම් සංවේදී බවක් නොතිබුණි. හිතේ හැටියට පරිසරය විඳගත් අමාලි එක් එක් කෝණයන්ගෙන් ඡායාරූප කිහිපයක්ම ගනු ලැබූයේ දක්ෂ කැමරා ශිල්පිනියක ලෙසිනි.
විවාහයෙන් පසු සතුටින්ම සිටි දවස එදින බව නැවත බංගලාවට පැමිණි මොහොතේම තම දිනපොතේ සටහන් කිරීමට ඇය අමතක නොකළාය.
පියලුත් අමරසිංහත් බංගලා වත්තේ පෙයාර්ස් ගස් පේළිය යට ඉදි වූ බංකුවේ හිඳගෙන බැරෑරුම් සාකාච්ඡාවක නිරතව සිටිද්දී මැද සාලයේ ඉතා සුව පහසු සෝපාවේ දිගෑදී අමාලි නැවතත් ‘මහල්ලා සහ මුහුද’ කියවන්නට පටන් ගත්තේ කතාබස් කිරීමටවත් එකදු ගෑනු පුළුටක් බංගලාවේ නොසිටි බැවිනි.
පොත අතේ තිබෙද්දීම සුව නින්දකට වැටී සිටි අමාලි එක් වරම තිගැස්සී ඇහැරුණේ වාහනයක දොරවල් වැසීමත් කොක් හඬ නඟා සිනාසෙන හඬවල් කිහිපයක් එකවර ඇසීමත් සමඟය. අවුල් වූ හිසකෙස් තම ඇඟිලි තුඩු වලින් සකස් කළ ඇය සෝපාවෙන් නැගී සිටියේ තම කාමරය වෙත යාමට වුවද පියල්ගේ ඇරයුමෙන් ඇයට රැදී සිටීමට සිදුවිය.
“අමාලි, මේ තමයි සමරවික්‍රම. මේ හැන්ඩියා තමයි විජේපාල. අමරසිංහත් එක්ක හවුල් ව්‍යාපාරය කරන්නෙ මේ දෙන්න. මං ඉතිං සහායට ඩැනී නේ …. නේද ?” පියල්ගේ කතාවට අනිත් තිදෙනාම මහා හයියෙන් සිනාසුනත් පිරිමි ගොඩක් මැද තනි වූ අමාලි බලා සිටියේ අසරණ ගැහැනියක් ලෙසය.
“මිසිස් බොතේජු, පොත් කියවන්න ආසයි වගෙ. අපි පස්සෙ නිදහසෙ කතා කරමුකො ඉතිං”
අමාලි කිසිවක් නොකියා කට කොනින් සිහින් සිනහවකින් සංග්‍රහ කළේ පියල්, සමරවික්‍රමව හඳුන්වා දුන් මොහොතේ ඔහු ඇයගේ අත තදින් මිරිකීම හේතුවෙනි.
“ ඔය සමරෙ අපේ නංගිගෙ පොතක්. උඹ දන්නවනෙ ඉතිං එයා පොත් පිස්සියක් කියල. කැම්පස් යන කාලේ තමයි එයාගේ පිස්සුව වැඩිවුණෙ. එයා නැතිවුණාට පස්සෙ ඔය පොත් රාක්කයේ පොතක් ඇද්ද පළවෙනි කෙනා තමයි මිසිස් බොතේජු.“
“ ඒ ළමයගෙ වටිනා ජීවිතය අපරාදෙ නැති වුණෙ. දැන් හිටිය නම් මිසිස් බොතේජු වගෙ හිටියි නේද..? “
“ඔව් සමරෙ. පොඩි කාලෙ හිටන්ම එයා හරිම වෙනස් විදියට හිතුවෙ. කැම්පස් එකේදී විප්ලව කරන්න ගිහින් ඔය අකරතැබ්බ වුණේ නැත්නම් අද කොච්චර ලස්සන ජීවිතයක් ගත කරන්න තිබුණද…..“
අමාලිගේ හිත නැවතත් අතීතය කරා දිව ගියේ එක් සැනින්ය. උණ්ඩ වලට ගොදුරු වී වටිනා ජීවිත අහිමි වෙච්ච තරුණ තරුණියෝ අතර අමරසිංහගේ නැගණිය තවත් එක් චරිතයක් පමණි.අපේ සමාජයේ මෙවැනි ඛේදවාචකයන්ට මුහුණ දුන් තරුණ පිරිස කෙතරම් දැයි කිව හැක්කේ කාටද….?
“හරි අපි එහෙනම් මුලින්ම තේ ටිකක් බීලා ඉමු නේද ? මේවා ඉතිං ෆ්‍රෙෂ් ටී. හවස් වෙද්දි බැරියෑ ඇඟ රත්වෙන දේවල් පානය කරන්න”
“ඔව්, ඔව් අමරෙ, ඒක නම් ඉතිං නැතුව බැහැනේ. වල් ඌරු මස් කෑල්ලක් එක්ක කොහොමද ගානට සෙට් වෙද්දී……..”
ඉතා නිහඬ චරිතයක් වූ විජේපාල, සමරවික්‍රමගේ තොරතෝංචියක් නැති කියවීමට කිසිවක් නොකියාම සිනාසුණා පමණි.
රාත්‍රි හතට පමණ සිවු යහළු වික්‍රමය බෝතල් මූඩි අරින්නට පටන් ගත් විට, අමාලි සිටියේ ‘මහල්ලා සහ මුහුදේ’ අවසන් භාගයට ළංවෙමිනි. එක් වරම කාමරයේ දොරට සන් කරන හඬක් ඇසීමෙන් තිගැස්සුණු ඇය දොර වෙත ගියේ දෙගෙඩියාවෙනි.
“නෝනා, කෑම ලෑස්තියි. අපේ මහත්තය කිවුවා නෝනට කන්න දෙන්න කියල. මහත්තයල කද්දි ගොඩාක් රෑ වෙයි කිව්ව”
පියල්ගේ ලෝකයේ මේ අවස්ථාව වෙද්දි සිටියේ අමරෙත්, සමරෙත්, විජේත් පමණි. ඇයට කෑමට පවා ආරාධනය ලැබුණේ අමරසිංහ හරහාය. ඉතා සතුටින් ආරම්භ කළ දවස රාත්‍රිය උදාවෙත්ම මොකක්දෝ මූසල හැඟීමකින් වෙළාගත් බව අමාලිට දැනුණේ තමා බංගලාවේ හුදකලා වීමෙන් ඇති වූ පාළුවෙනි. උදුවප් සීතලෙන් මුළු ඇඟම ගල් ගැහී ඇතැයි ඇයට දැනුණි. ඉතා රසවත්ව කෑම පිළියෙළ කොට තිබුණත් අනාගත් බත්කට කෑමටවත් ඇයට රුචියක් නොවීය. පෙයාර්ස් ගෙඩි දෙකක් රාත්‍රී ආහාරයට ගත් අමාලි තම කුටියට වැදුණේ ඉක්මනින්ම නින්දට යාමටය.
රාත්‍රී නිදන ඇඳුමෙන් සැරසුණු ඇය නින්දත් නොනින්දත් අතර පසුවූයේ පියල් ඇතුළු කණ්ඩායමේ කෑකෝ ගැසීම් නිසාය. පැයකට පමණ පසු යාන්තමට දෑස් පියවී ගෙන එන විටම කිසිවෙක් දොරට තට්ටු කරන හඬ ඇසුණත් ඇය ඇඳටම වී සිටියේ පියල් නම් දොර ඇරගෙන එතැයි යන හැඟීමෙනි. එහෙත් පියල් වෙනුවට දොරෙන් ඇතුළු වූයේ සමරවික්‍රමයි.
“අං……ආ.. ඇයි මිස්ටර් සමරවික්‍රම ? ඔයාට කාමරය පැටලුනාද ? ”
“නැහැ නැහැ ඩාලිං. ඔයා හිතුවද මට වෙරි කියල. අපි තාම හරියට බොන්න පටන් ගත්තෙත් නැහැ. මං මේ ඔයාව හොයාගෙනම තමයි ආවෙ. බය වෙන්න එපා. අයිතිකාරයා ගෙදර නැහැ. ඒ ගොල්ල ටවුමට ගියා මොනාද අරං එන්න”
සීතලෙන් හිරිගඩු පිපී තිබුණු ඇගේ මුළු සිරුරම ගිනි ජාලාවක් මැද දැවී ගියේ නිමේෂයකිනි. සමරවික්‍රමගේ හැඩි දැඩි සිරුර සමඟ ඔට්ටු ඇල්ලීමට නොහැකි වූ අමාලි ඔහුගේ ගොදුරට හසුවූයේ ඇගේ දුබල ස්ත්‍රීත්වය හමුවේය.
සතර දිග්භාගයේම මිනිස් වාසස්ථානයක් නැති අක්කර තිහ හතලිහක තේ වත්තක් මැද පිහිටි බංගලාවේ තනි වූ ඇයට පියල්ගේ ව්‍යාපාරික හවුල්කාරයන්ව සතුටු කිරීමට සිදුවූයේ, ඔහු ඇස් කන් නැත්තෙකු සේ සිටීම හේතුවෙනි. පසුදා පාන්දරින්ම බංගලාවෙන් පැන යාමට දෙතුන්වර උත්සාහ කළද ඇගේ බලාපොරොත්තු සුන් කරමින් ඒ හැම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි සේ අසාර්ථක විය. තෙදිනක් තිස්සේ ගත කළ අපුල ජීවිතයෙන් මිදී නැවත කොළඹ පැමිණි මොහොතේ අමාලි වඩාත් කම්පාවට පත්වූයේ පියල් කිවූ කතාවෙනි.
“අයියෝ අමාලි, මොකටද මූණ එල්ලගෙන ඉන්නෙ. ඕක සුළු දෙයක්නෙ. ඇත්තටම මං ඔයාව කසාද බැන්ඳෙ ඔයාගේ ලස්සන හින්ද. මං හිතුව කවද හරි මගෙ ව්‍යාපාර දියුණුකර ගන්න ඔයාව පාවිච්චි කරනව කියල. අන්න ඒ නිසා තමයි මං ඔයාගෙ දුප්පත්කම ගණන් ගත්තෙ නැත්තෙ. මට කියන්න, දැන් ඔයාට මොනවයින්ද අඩු කියල. යාන වාහන, ගෙවල් දොරවල්, අතට පයට වැඩකාරයො හැම දෙයක්ම තියෙනව. ඉතිං මං වෙනුවෙන් සුළු උදව්වක් කරාට මොකද වෙන්නෙ…… ”
සැදෑසමයට පා තබා සිටින තම දෙමව්පියන්ගේ හිත් අසතුටු කිරීමට අපොහොසත් වූ අමාලි මෙතරම් නිහීන වැඩක් කළ, නීතියෙන් පමණක් සැමියා වූ පියල් සමඟ කල් යැවුවේ ඉමහත් පිළිකුලකිනි.
අප්‍රසන්න නුවර එළි සංචාරයෙන් මාසයක් ඉක්ම යාමෙන් පසු අමාලි හදිස්සියේම අසනීප වූයේ ඇගේ දෙමව්පියන්ද පැමිණ සිටි මොහොතකය. තදින් හටගත් හිසරදයත් සමඟ නිතර නිතර ක්ලාන්ත වීම හේතුවෙන් ඇයව වෛද්‍යවරයෙකු වෙත ගෙනයාමට අමාලිගේ දෙමව්පියන්ට සිදුවූයේ පියල් ව්‍යාපාරික කටයුත්තක් සඳහා නිවසින් බැහැරව සිටි නිසාය. වෛද්‍යවරයාගේ පරීක්ෂාවෙන් පසු ඇය ගැබ්ගෙන ඇති බව ප්‍රකාශ වීමෙන් අමාලිගේ හිසේ රුදාව තවත් වැඩි විය. එහෙත් ඇයගේ ගැබ් ගැනීමේ ආරංචිය වෛද්‍යවරයා පැවසුවේ අමාලිගේ දෙමාපියන් බොහෝ සතුටු කරමිනි.
ඇය ගැබිනියක් බව දැන ගත් දා සිටම අමාලිගේ දෙමාපියන් ඇයත් සමඟ එම නිවසේ වාසය කිරීම හේතුවෙන් හදිසියේ ගැබ්ගත් කළලය සම්බන්ධයෙන් කිසිවක් කරකියා ගන්නට අමාලිට නොහැකි විය.
දිනෙන් දින වර්ධනය වන ඇගේ දරු ගැබ දෙස බලා ඔවුන් බොහෝ සතුටු වූයේ පවුලේ වැඩිමහල් දියණියගේ කුළුදුල් දරුවා වීම හේතුවෙනි. අමාලිගේ රුචි අරුචිකම් හොඳින් දන්නා මව ඇයට උවමනා සියලු කෑම බීම තමන්ගේ අතින්ම පිළියෙල කර දුන්නේ ඉමහත් සැලකිල්ලෙනි.
පියල්ගේ හැසිරීමේ රටාවද වෙනස් වූයේ අදහාගත නොහැකි ආකාරයකිනි. දිනෙන් දින විශාල වන දරු ගැබ දෙස ඉතා ආසාවෙන් බලා සීටීම ඔහුගේ දවසේ එක් රාජකාරියක් විය.
දරුවෙකුගේ සුරතල් බැලීමට පෙරුම් පුරමින් සිටි අමාලි තමන්ට උදා වී තිබෙන්නේ භාග්‍යයක්? දැයි අභාග්‍යයක්? දැයි යන මහත් පීඩාකාරි හැඟීමෙන් කල්ගෙවත්ම ඇගේ දරු ගැබ මෝරා දරුවා ප්‍රසූත කිරීමේ කාල වකවානු ළංවිය. දහසක් සිත් තැවුල් මත ඇය බිහිකළේ පුතෙකි. “මොණරු“ මතම පියාඹන පියල්ට දරුවා කාගේ වූවත් කම්නැත. සමාජය ඉදිරියේ පාරම්බාන්නට දැන් ඔහුට පුතෙකු ඇත.
පියාගේ නම පියල් බොතේජු ලෙස උප්පැන්නයේ ලියවිණි. එහෙත් මේ දරුවාගේ පියා කවුරුන් විය හැකි දැයි දන්නේ අමාලිත් පියලුත් පමණි. ඒත් ඔවුනුත් නිවැරැදිව නොදන්නා ගානය.
පුතාගේ තාත්තා අමරසිංහද? සමරවික්‍රමද? විජේපාලද ? යන නොවිසදුණු පැනයෙන් යුක්තව ඇය තම පුතුව තරයේ වැළඳ ගත්තේ ඉමහත් මාතෘ සෙනෙහසිනි.
රුක්ෂිලා වෙත්තමුණි
වේයන්ගොඩ