RAVINDU GAYAN

RAVINDU GAYAN

Monday, 7 November 2016

නමක් නැති පොත හා කහපාට සේලය----මෙලනි තෙන්නකෝන්--

මම කවුළුව ලඟින් ඉවත් වීමි මොහොතකට..ඈත ඝණ්ථාර නාදය පල්ලියේ පූජාවට වෙලාව බව කියයි..අදත් එහි යා යුතුය.පූජාව අවසන පුස්තකාලයට රිංගා අර පොත සොයා ගත යුතුය.කළුවර පොතෙහි මැකීගිය බොඳ අකුරින් ඇගේ ජීවිතය සොයාගත යුතුය.ඈ කතාවක් ලියා ඇත.පිටු බොඳවී ඇත.අඳුරු පැල්ළම් මත අකුරු බොඳවී ඇත.නිසැකව ම ඒ පැල්ලම් ලියද්දී ඇගෙ නෙතින් වැටුණු කඳුළු විය යුතුය.නැවතත් ඝණ්ඨාරය වදී මම කඩිනමින් හිස් වැසුම ලා ගතිමි මෆ්ලරයෙන් වසාගත් බෙල්ල මුහුණ ද පැත්තක් ආවරණය කළේ ය.
“අන්යා,,! උඹ කොහෙද දුවන්නෙ.කෝපි එක බීල පලයන්..”
“ඕන් නෑ මන් එනව පූජාව ඉවර උනාම..”
“එයි ! එයි !උඹ පුස්තකාලෙට රිංග ගත්තම හෙට වත් ආවොත් ඇති. “අම්මා නොනවත්වා නෝක්කඩු කියාගෙන ගියා ය.කිසිත් නොකී මම ඉක්මනින් එනවෝ කියාගන දුවන්න ගතිමි.
හීනියට හිම වැටෙන සද්දෙත් එක්ක මහා සුළඟක් කෑ ගසන හඬත් අරගෙනම මම පල්ලියේ දොරකඩ හිටගතිමි.ඒ දුවගෙන ආවේගෙට හති ඇරීම විනා වෙන අහවල් එකකට දැයි කිව යුතු නැත. අවශය වන්නේ පුස්තකාලයට රිංගා ගනිමටයි. පූජාව පටන් ගත්තා පමණය තව වෙලාවක් ගත කළ යුතුය .පූජක තුමා ඈතදීම මා දකින්නට ඇත දේශනාව කරමින් උන්වහන්සේ ඉදිරිපස බැලුවේ ය.මේ පල්ලිය කුඩා ප්‍රමාණයක මිනිසුන්ගේ පූජා බිමකි එහෙයින් කිසිවකුට හොරෙන් හෝ සැඟවී යාමට ඒමට නොහැක
මං පසුපසම බංකුවේ වාඩි ගතිමි.
කටු සටහනක මතක මගෙ සිතේ විය..විදෙශ රටක මා ලද පළමු අත්දැකීම මේ විය හැක..සාර්ථකව මේ කතාව සොයා ගැනීමට අනිවාර්යෙන්ම ෆාදර්ගේ අවවාදය මඟ පෙන්වීම අවැසිය.කාගෙන් හෝ උදව්වක් නැතිව ඇ ගැන සොයාගන්නට නොහැකි බව මා මේ වනවිට තේරුම් ගෙන සිටියෙමි..රීතීන් කඩා බිඳ දමමින් ඇගේ ආත්මය සොයායාමට තීරණය කළෙමි
අඩක් නොව බොහෝ තැන් නොලීවේ ඇයි යන්නද ගැටළුවකි..එසේ තිබියදී මෙය පල්ලිය පුස්තකාලයට දුන්නේ ඇයි..?
වෙනත් අයකු මිතුරියක් හෝ ඈට නොසිටියාද.,..ඈ හිටියේ කොහිද දෙමාපියන් කොහිද.?මා සිතිවිලි අතර හිරවී සිටියෙමි
අන්යා” ෆාදර් එනවා…කවුදෝ කියන හඬින් මම නැගී සිටියෙමි
.”අන්යා !දරුවො වේලාසනම ඇවිත් ”
“ඔව් ස්වාමී…මට අර කතාව බලන්න ඕනි”.
“හ්ම්..කුතුහළය සොයා යාම නොහොත් හඹායාම….!හොඳයි යමු යමු පුස්තකාලයට.”
වචනයෙන් දෙකෙන් ආරළු බූරළු නැතිව කතාව ප්‍රස්තුතයට පැමිණීම ගැන මම සතුටුවීමි.කාලය බොහෝ වටිනවා.සටහනක් තබන්නට නොව කියවා බලා හඹායාමට මන් කවදත් කැමතිවීමි..මම පුස්තකාලයට ගොඩ උනෙමි..
“හොඳයි පොතත් අරගනම එමුකො..” අල්මාරියේ යතුර මා අත තැබූ ෆාදර් ඔහුගේ අසුන වෙත ගියේ ය.
පසෙක වූ මේසය ළඟ පොත් කියවමින් සිටි අදුශ් පාර්මී සහ නාඳුනන කීප දෙනෙකුද විය.මා හනිකට පොත් අල්මාරිය වෙත ගියෙමි..
මෙහි මහා පොත් ගොන්නක් නැත.නවීන නවකතා බොළඳ නවකතා යයි කියන ඒවාමද නැත.එහෙත් මේ අපූරු කතාව ආදර කතාවක් බව නම් දනිමි.එහෙයින් මෙහි ඇත්තෙ උපකල්පනයට අනුව හෙටටද ගැලපෙන අපූරු කතාවන් බව මම සිතමි..දුර්වර්ණ පොත මට හසුවිය..සොයාගනීමට අසීරු නොවූ මේ පොත දුර්වරණ වූයේ මහා පැරණි නිසා නොවන බව පසක් කරගතිමි.ඒ නම් එහි තවත් කතාවක් ඇති බැවිනි..නමක් නැති පොත අතට ගත් මම නැවත අල්මාරිය යතුරු දමා ෆාදර වෙත ගියෙමි…
“හා හොයාගත්තාද අන්යා..”!
“ඔව් ෆාදර්..”
“එහෙමනම් වාඩි වෙමු.තව මොනවද අහන්න ඕනි කීව මතකයි ඊයෙ ඔය පොත ගැන. ”
“ඔව් ෆාදර්.”
“හුඟක් ප්‍රශ්න ආව ඊයෙ මේ පොත දකිද්දි.”.
“අන්යා !” ඉස්සරල ඕක කියවන්න.හුඟක් පිටු දුර්වර්ණයි.උත්සාහ කරන්න හඳුනගන්න.ඒවගෙම හිස් පිටුවලින් කියන්න ඇති දෙ හිතන්න.
පසුව කතාකරමු.මා දන්නා දේ කියන්නම් ඔබ ලියන්න ඇගේ කතාව.යමක් කෙනෙකුට ඉගෙනගන්න ලැබෙයි කියල හිතනව.”
“හොඳයි එහෙම නම් පොත ගෙනියන්න ඉවර වෙලා ඇවිත් කතාකරන්න.”
“හොඳයි ෆාදර්..”
කියූ සැනින් අඩි දෙකට මං පුස්තකාලයෙන් පිටවීමි.එක හුස්මට ගෙදර දුව ආ මම.ගෙට ඇතුළු වූයේ විසිල් පහරක් ද ගසමිනි.
“මගෙ අම්මේ උඹට තියෙන විසේ ඉගිල්ළෙන්නෙ.මේක පිට්ටනියක්ද “ගෑණු ලමිස්සියක් කියල වගක්වත් නැති හැටි අම්මප.මේ ඔහොම දඟලන්න මේක අනුන්ගෙ රට උනාට උඹ අපෙ කමට හැදියන් පුතේ ඒක මතක තියාගනින්..”.අම්මා යාතිකාව දිගටම කරගන ගියා ය….මන් හිමින් ඇගෙ කම්මුල සිප කාමරයට වැදුනෙමි
“කට්ට හෙම නෑනේද ..”ඈ කියනවා ඇසුණි..මා සිවිලිමට හිනාවූයේ ඇඳේ උඩුබැලි අතට දිගාවෙමිනි….
“එහෙනම් ඔයාල මට අන්යා කියල දැම්මේ අපේ නමක් නොදා.ඒක හරිද.. ?
මං හදාගන්න ගත්ත ළමයෙක්වත් ද මන්ද…?”
“හනෙ මගෙ කට ..වහපන් කට උඹ කොහොමත් ගානට වැඩියි හිටපන් අප්පච්චි එනකන්…”අම්මා කෝප ගැන්වීමට මේ කතාව හොඳට ම සමත් ය…මම දිගටම සීලිමට හිනා උනෙමි…
….
ඈත කඳු වළල්ලෙන් එහා අහසත් කඳුත් එකට යාවෙමින් තිබින..හ්ම් හඬකුදු නැතුව අපූරුවට හිම බින්ඳු එහෙමෙහෙ දිව යමින් තිබුණි.පල්ලියෙ කුරුසයට උඩින් මා නිල අහස දෙස බැලුවෙමි දුර්වර්ණ පොත අතටගත් මම ජනේලය උඩ වාඩි උනෙමි.දැන් මෙතන හරිම නිස්කලංකය..
ඈ මේ පොතෙහි පිටු මඟ හැර ලීවෙ ඇයි..තැනින් තැන බොඳ. අකුරු ඇගේ කඳුළු පැල්ලම් යයි මං අනුමාන කළෙමි..
රවුම් අකුරු රවුම් කඳුළු බිඳු (බොහෝ දුරට කඳුළු විය හැක )පොතේ මැද දී දකින්නට තිබුණි. එහෙන් මෙහෙන් නොව හිමින් මා එකින් එක “නමක් නැති පොත ” බලන්නට පටන් ගතිමි.
දිනය වසර පැහැදිලි නැතත් 1998 යයි අනුමාන කරමි..දෙසැම්බර් දහවෙනිදා ලෙස ලියා තිබුණි.
ඒ දිනය ඈ කතාව පටන්ගත් දිනද අවසාන කළ දිනදැයි පැහැදිලි නැත.
“ජීවිතය මා සොයා පැමිණ ඇත මම එයට මහත්සේ ආදරය කරමි”
පළමු සටහනක් එලෙස විය. .
“සතුටින්ද.”..
“ඔව් හරිම සතුටින්..”ඔහු සිනාසුනේ ය.මාද හිමින් සිනාසුනෙමි.
“ඔයා ලෝකෙ කොහේ ඉඳලද මෙහෙ ආවෙ…මං කොහේ ඉඳලද ආවෙ.
බලන්න අපි එකට හමු උන විදිය හරිම පුදුමයි නේද “?
 
මම සතුටින් හිනාඋනෙමි..මේ සෙනෙහස හරිම සන්සුන් බව අවබෝධ කරගන සිටියෙමි.විඩාපත් ජීවිතයක හෙම්බත්ව සිටි වකවානුවක පුංචි මනසට සහනයක් වූයේ ඔබ මෙහි ආගමනය යයි සිතමි.ඔබ හමුවිය..කල්ප කාලාන්තරයක් පුරාවට බැඳුණු අප ජීවිත උඩි යටිකුරු කරමින් තිබෙන වග දනුනි. සුන්දර සරල කතන්දරයක් ඉදිරියෙදි හමු නොවන බව අප අමතක කර සතුටින් ඉන්න තීරණය කළෙමු. කවද කෙලෙස අවසානයක් ඇති වේදැයි නොදැන සිටියෙමු.හේතුව අප විජාතික දෙදෙනකු වීමයි.”………
ඈ ලියූ සටහන් වලින් තැනින් තැතින් අහුලාගත් එම සටහන මුල් පිටු දෙකක එකතුවක් විය.සුන්දර ආදර පබැඳුම් ඒ අතර තිබුණාට සැක නැතත් මට යළි පිළිසකර කර ගැනීමට හැකි වූයේ මේ කොටස පමණි..එක්කෝ මේ පොත ගින්නකට අසුව තිබෙන්නට ඇත.නැතිනම් තෙත බරිත වන්නට ඇත.ඒ දෙකම විය හැක.
අකුරු විශාල කර බලන කණ්නාඩියක පිහිට ලබාගන්නට මන් සිතාගත්තෙමි.එරමිණිය ගොතාගන ජනේල කවුළුවේ වාඩි උන මම බිත්තියට පිටදී හුස්මක් ගතිමි.ඇගේ නම පළමුව සොයාගත යුතුය..ඈ කවුද ? ඔහු කව්ද..?
“ආ ..! ඒ ගමන නැග්ගද ජනෙලෙ උඩට ඇත්තටම අන්යා උඹට පොළොවෙ පය ගහල ඉන්නම බැරිද ?.මෙයා කොල්ලෙක්ද කෙල්ලක්ද මන්ද. බහිනව බිමට ගැණු ළමයෙක් ඔහොමද වාඩි වෙන්නෙ..මොකෝ උඹ හිම ගනිනවද මේ දවාලෙ .”.අම්මා කඩාගෙන පැන්නාය. සියලු සංකල්පනා බිද දමමින් අම්මා කා ගැසූ වේගයට මා ජනෙල් පඩියෙන් වැටුණා මෙන් විය
“අයියෝ අම්මා කෑ ගහන්න එපා අනේ.මං මේ ලොකු වැඩක ”
“ඔව් ඔව් පේනව.අනේ මේ අන්යා මාව යකා අවුස්සන් නැතුව ඉන්නව හොඳේ…කවදද හැබෑට උඹ පොඩි වැඩක් කළේ..මේ ගමන නටන්න හදන්නෙ මොකක්ද..උඹට ඔය රස්සාව නම් හරියන් නෑ පුතේ ..!
ඒක අණක්ද එහෙම නැත්නම් කණගාටුවට කියුවක්ද මන්ද.කොහොමත් හොඳටම තරහ ගිය වෙලාවක මිස උඹ කියල නම් කියන්නෙ නැහැ.
මෙලෝ රහක් නැතුවම අම්ම කියවගෙන ගියා ය.
හහ් මගෙ ජොබ් එක මොන තරම් අපූරුද..මාධ්‍යවේදිනියක්..ඒක මගෙ හීනයක්නෙ,..
“පිස්සුද අම්ම මේක මරු ජොබ් එකක්නෙ..ඉන්නකො මේ පාර හොයනව මං අබිරහසක්…
“හනේ මේ අනුන්ගෙ රටවල කරදර දාගන් නතුව ඉන්නවද..අපිටත් සැනසිල්ලෙ ඉන්න.”
“හයියෝ ඔයා නම් හරිම අම්ම තමා..බයවෙන්න එපා අනේ.. ෂේප්.”මම ඇගෙ කම්මුලක් ඉඹගන කීවා ය.
අතින් මාව තල්ලුකර ඇගෙ පුංචි කෝපයත් ප්‍රකාශ කල පසුව ඔන්න සමාන්‍ය තත්වයට ආවා ය….
මං යනවා පරක්කු උනා හවසට කෝල් කරන්නම් ගෙදර හිටියොත් එක්කන් යන්න එන්න.මේ හිමේ එන්න බෑ හවසට හිම වැස්සක්නෙ..”
“හොඳයි දැන් කොහොමද යන්නෙ.?
“බස් එක අල්ලගන්නව තව විනාඩි 20ක් තියෙනවා”
“හොඳයි අම්මා .මන් හවසට එන්නම් කෝල් කරන්න.ආ පෙට්‍රල් ගහන්න සල්ලි දීල යන්න”
“මේසෙ උඩ ඇති පරක්කු උනා .යන්නම්…
හොදයි ..!
හප්පේ වැහැල පෑව්ව වගෙනේ..බලාගන ගියාම හිම කුණාටුව මොකක්ද අම්ම කෑ ගහපු වේගෙට මම ජනේලෙන් බැස්ස නෙවි පැන්න..හප්පේ කකුලත් රිදෙනවා.”රිදුණු කකුලත් අතගාගෙන මන් ආයිමත් නැග්ග ජනේලෙ උඩට.වාඩි උනා ආයිමත් එරමිණිය ගොතාගන දැන් හරි බලමු කියවල මෑ කවුද..?.
ආයිමත් මම පොතේ අකුරු ගණින්න පටන් ගත්ත
“අපි එදා හමු උන මොහොත මට මතකයි.කොච්චර දේවල් නම් කතාකළාද..අපේ රටවල් ගැන ආගම් ගැන සිරිත් විරිත් ගැන හුඟක් දේවල්. අපි මෙහෙම ආගම් දෙකක උපන්නෙ .මං මුස්ලිම් ඔහු හින්දු එයා ඉන්දියාවෙ.මම ඇෆ්ඝනිස්තානෙ..රටවල් දෙක ළඟයි ඒත් ආගම් දෙක හරිම වෙනස්
ආදරයට ඒක බාධාවක් නෙවි කියල එයා කීව..නිතින් හරි හොඳ මනුස්සයෙක්.මට හරිම ආදරෙයි.එයා මේ රටට ඇවිත් තියෙන්නෙ රැකියාවක් කරන්න.මම ආවෙ අපෙ අම්මලත් එක්ක.මගෙ වයස 17.යිඑයාට 23 යි……”…
…..එතනින් එහාට පිටු ගානක්ම හිස් බොඳයි..මම හිතන්න පටන් ගත්ත.මේක අගමුල හරියට හොයා ගත්තනම් හරිම අපූරු ආදර අන්දරයක් වෙයි හින්දු මුස්ලිම් විවාහ නැත්තෙ මොකද..ඔය නළු නිළියො බැඳල ඉන්නෙ.හොඳට ඉන්නෙ .මම හිතුවා. හ්ම් කමක් නෑ තව විපරම් කළා ඉතුරු පිටු.
“මගෙ අම්මල මේක දැනගෙන මහා ඝෝෂාවක් කළා අපේ ආගමෙ මේ නීතිය හරිම තදයි. දවසක් ”
සෆ්නා ගෙදර යන්න ලැහැස්ති වෙන්න ස්කෝලෙ නිවාඩුවට අපි ඔයාගෙ විවාහය තීන්දු කරල තියෙන්නෙ.”
“අම්මා මට තාම 17යි නෙ.”
“ඉතින් ..! අපේ රටේ හැටියට ඉස්සරල ඔයාව විවාහයට සූදානම් කරන්න ඕනි දන්නවනෙ .”
“අම්මා……!”මම මහ හඬින් කෑ ගැසුවෙමි.
“අම්මා මං ඒකට කැමති නෑ. ඒක හරිම අමානුෂිකයි.”
මං මහ හයියෙන් හැඬුවෙමි කෑ ගැසුවෙමි
අම්මා බදාගෙන හැඬුවෙමි .එහෙත් ඈ වචනයකුදු නොකීවාය.මා ඇගේ දෙනෙතෙහි කඳුළු දුටුවෙමි .කිසිත් නොකීවද මගේ වචන නිවැරදි බව තීරණය කළ බව දනිමි.මා හැඬුවෙමි
මගේ ආදරය ඔව් නිතින් ඔබ මට නොලැබෙන බව ස්ථීර බව දනිමි.අනෙ මගෙ හීන මගේ ආදරය…”
මා මේ වනවිට පොතේ මැද පිටුත් පසු කර තිබුණි. එහෙත් යම්තම් අදහසක් ගත්තා පමණි..ඉනිදු අවසන පිටුව තෙක් එහෙන් මෙහෙන් වචනයක් හර වෙන කිසිත් නොවීය. අසාර්ථක වෑයමක මන් යෙදුනෙමි..කාලය වියැකී ගියද ෆාදර් හා හෙට කතාකළ යුතුය යන තීරණය ගෙන හුස්මක් ගත්තෙමි.ඈත හිම පතනයක් විය.ගහ කොළ නොපෙනෙන තරමට සුදු පාටින් වැසී තිබුනි..
අම්මා එන වෙලාව ළඟය හොඳටම හවස් වී තිබුණි..ඇග පත තද ශීතලකින් හිරි වැටී තිබුණා.මං කඩිමුඩියේ ජනේලෙන් බැස එය වසා දැමිමි.අම්ම එක් කරගෙන ඒමට යා යුතුය.සෆ්නාගෙ පොත මේසය මත තැබූ මන් ඈ දකින්නට උත්සාහ කළෙමි.
ඔව්.! සෆ්නා මම නුඹව සොයාගමි.නුඹෙ කතාව තවත් කෙනෙකුට කියවන්නට සලස්වමි යමක් තේරුම් ගිය ද එය සටහන් කිරීමට සුදුසු වේලාව මේ නොවන බව සිතමි.ඔව් හෙට ෆාදර් හමු වෙමි සෆ්නා නුඹව මං සොයා යමි.
ඈත තද හිම පතනයක් විය.මුළු පවියා ගම්මානයම සුදු පැහැය ගෙන තිබුණි..එකිනෙක හඳුනාගනීමට නොහැකි තරමට මිනිසුන් මුහුණු ආවරණය කර ගෙන සිටිති,..ඉදිරිය බලාගෙන යන්නෝ නොවෙ බිම බලාගෙන යන්නෝ වූහ.එතරමටම හිම පතනය දැඩිව තිබුණි…වේලාව උදේ හත පමණ වන්නට ඇත..
ඊයේ මුළු රැයම මා අඩනින්දේ සෆ්නාව සෙව්වෙමි ..එළිවෙන පැය මට අළුත් දවසක නැවුම් පිටුවක් විය. පල්ලිය පිටුපස කිලෝ මීටර බාගයක් පමණ දුරකින් පෝ ගඟ ගලා බසින්නීය. පෝ ගඟත් හිමින් දුවන බවක් නැත…හිමත් ඇදගෙන ස්වීට්සර්ලන්තයේ සිට එන්නට ඇයටත් අමාරු ඇත..මහා දුරක් ගෙවාගෙන පවියා නගරයත් නළවඟෙන ලතාවකට ගමන් කරන්නීය..පවීය ගම්මානයම අනේක විධ ලතාවන්ගෙන් මුකුලිතව තිබුණි..ඇස නොපෙනෙන මානයම වසාගත් කුඹුරු යාය මට මොහොතකට ගම රට සිහිපත් කළේය..මොන තරම දැකුම් කළුද.පසෙක නොපෙනෙන මානයම වසාගත් තිරිඟු යායත් තැන තැන බිම සරසා ඇති නිවාසයන් ඉඳ හිට ගමන් කරන ගෝනි බිල්ලන් වන් මිනිසුන් හැර මොනම ශබ්දයක්වත් මෙහි නැත…එහෙයින් පෝ ගඟ ද සැනසිල්ලෙ ගමන් කරන්නේ ය..විටෙක මෙහි පරිසරය ගුප්තය.තවත් විටක සුන්දර ගීතයකට පදවැල් සපයන්නීය..ඉඳහිට හෝ කුරුළු හඬක් ඇසුණි නම් අනෙ මොනතරම් අලංකාර දැයි මට සිතුනි..එකම අඩුව එපමණයයි සිතමි.
මේ නිහඬ පරිසරය මැද පුංචි පල්ලිය පිහිටියේ ය…මං හිම වැස්සේම පල්ලියට ගොඩ උනෙමි..
ෆාදර් ඒ වනවිටත් පූජාව පටන් ගෙන තිබුණි.අවසාන බංකුවේ වාඩි උන මම සෆ්නාව සොයාගැනීමට උදව් ඉල්ලා දෙවියන්ට කන්නලව් කළෙමි..අඩ හෝරාවක් මා එලෙසින් ඉන්නට ඇත පූජාව අවසන් විය.මිනිසුන් එකා දෙන්නා පල්ලියෙන් පිට විය..
“අන්යා..සුබ දවසක්..?”
“සුබ දවසක් ෆාදර්..!
“හ්ම්ම් එමුකො පුස්තකාලයට..දැන් අන්යා හුඟක් කුතුහලෙන් නේද ..ඊයෙ අඩ නින්දෙ ඉන්නත් ඇති නේද..?
මම පුදුමවීමි.:.ඔව් ෆාදර්..ඇත්ත.”
“සෆ්නාව හොයාගන්න ලැබුණද..?
“තරමක් දුරට..”
“ඔව් ඔබ දක්ෂයි..ඈ හඳුනාගන්න ඔබට පුලුවන්.”
:හොඳයි එමුකො වාඩි වෙන්න.. මොනවද කුතුහළය.?
“ෆාදර් මේ පොතෙ හුඟක් ඈ ලියා තියනවා ඒත් පැහැදිලි නැහැ.එක්කො මේක ගින්නකට අහුවෙලා .නැත්නම් වතුරෙන් තෙමිලා
නමුත් පිච්චිලා නැහැ දුර්වර්ණ වෙලා.බොඳවෙලා.අව පැහැ ගැනිලා.ඈ හුඟක් ලියල තැනින් තැන වචන අනුව අනුමානයක ගන්න පුලුවන්.ඒත් අනුමානයක් පමණයි. ”
“හ්ම්ම් .මොකක්ද ඔබේ නුමානය අන්යා..?
“ෆාදර්.ඈ මහ පීඩනයකින් ඉඳල තියනවා..ඒක දරාගන්න ඈට බැරි වෙලා.සමහර විටක දිවි නසාගත්තාවත්ද කියල හිතෙනවා..?
“අන්යා මම සතුටුයි ඔබෙ සමීක්ෂණය ගැන.එත් එහෙමම නෙවෙයි…තරමක් හරි නුඹ..මනුෂත්වය හා යථාර්තය අතර දෝලනය වන එය හඳුනා නොගත් මිනිසුන් අතර අපට පරිකල්පනයක් කරන්න වෙනවා..මේච්චර දියුණු ලෝකයක මෙහෙම ජාතීන් මානුෂික හැඟිම උල්ලංගණය කරන දුෂ්ඨ වට පිටාවක ජීවත් වෙන අපිත් අවාසනාවන්තයි මේව අහන්න දකින්න.දෙවියන් වහන්සෙ ඇයට ශාන්තියක් දෙයි ඇගෙ ආත්මයට.. ”
පැයක පමණ කතාබහකින් පසුව ඔහු මට ලිපියක් දුන්නේය”
“ඔබ දැන් මෙය කියවන්න ඔබට අවශ්‍ය කාරණය ඔතන තියෙනවා .ඉන් පසුව මා හමුවන්න දෙවියන්ගෙ ආරක්ෂාව ඔබට ලැබේවි නමුත් ප්‍රවෙශමෙන් දරුවා..ඇගේ මිනිසුන් මෙහි ඉන්නව තවම.අන්යා ඉතින් යන්න පසු දිනක හමුවන්න.”.
ෆාදර් කී එක වදනක් මා සිත යළිත් කුතුහලය දැනවීය
“අන්යා පරිස්සමෙන් ඇගේ මිනිසුන් මෙහි තාම ඉන්නව..”
එසේ කීවෙ ඇයි ..?ප්‍රශ්නය තවත් කතාවක් හෝ මට සෆ්නා සොයා යාමේ ඈ ගැන ලිවීමේ අනතුරක සේයාවක් එකතු කළා යයි සිතුනි..ලිපිය සාක්කුවේ දමාගත් මම පල්ලියෙන් පිටවීමි..අත්දෙක සාක්කුවට ඔබාගන මුළු කයම වසාගන පිම්මෙ එක දිගට ගෙදරට දුවන්නට මම එළියට බැසීමි.
“සුබ දවසක් ..!නාඳුනන අයකු සුබ පැතීය ..එසේම වේවා..!
මම පෙරළා කීවෙමි.
“අන්යා නේද නුඹ..?
“ඔව්..!
“ඔබ මා හඳුනනවාද.?
“උත්සාහ කරනවා හඳුන ගන්න
“ඔබ කවුද ?
“මා කවුදැයි දැන ගැනීම අනවශ්‍යයි පරිස්සමෙන් කුතුහළය භයානකයි හඹායාම අනවශ්‍යයි.
කී වේගෙන් ඔහු පිටවිය.
මා එතැනම බලාසිටියෙමි.මෙ කවුද ..ඇයි එලෙස කීවෙ… ? අනතුරක සේයාව මටද දැනෙමින් තිබුණි
පසුපස බැලුනේ ආරක්ෂාවක් අවැසි බව සිතුනු නිසාවෙනි.
ෆාදර් දොරකඩ බලා සිටියේය..
“අන්යා !
ෆාදර් කතාකලෙන් මම යළි ඇතුලට ගියෙමි.
නාඳුනන අමුත්තා සමඟින් සෆ්නා….
නාඳුනන අමුත්තා මට කුතුහළය ඇති කළේය.ඔහු කවුද කියා විමසීමට වඩා සෆ්නාගෙ කතාව කුමක් දැයි සොයාගැනීමට මට අවැසි විය.කෙටි කාලයක් තුළ මහා වැඩ ගොඩක් කළ යුතුව මෙන්ම මගෙ නිවාඩු කාලයද වේගයෙන් ඉගිල යමින් තිබිණ.
ප්‍රවේශමෙන් දරුවා යයි ෆාදර් කී හැටිත්, පරිස්සමෙන් කුතුහළය භයානකයි හඹායාම අනවශ්‍යයි නාඳුනන අමුත්තා කී හැටිත් යම් සමානකමක වදන් බව මට ඒත්තු ගැන්වෙමින් තිබිණ.නමුදු නොසැළී සිටිමට මහා ශක්තියක්ද පරිස්සම වීමටත් ඉවක් මට තිබීම ගැන මම අද මහත් සතුටු වෙමි.ඔළු ගෙඩියත් බේරගෙන සෆ්නාවත් හොයාගෙන නිවාඩුව අහවර කළ යුතුය යන හැඟීමෙන් මං ලිපිය දිග හැරියෙමි..
ඉංග්‍රිසි බසින් වූ එම ලිපිය මා පරිවර්ථනය කළෙමි.
මා අදරණීය නිතින්.
මේ ලිපිය මගේ පළමු හා අවසාන ලිපියයි .මෙය ඔබ අතට පත්වනවිට මා දෙවියන් වහන්සේ ළඟ බව සිතමි.සැබැවින් ම හමුවූ කෙටි කාලය තුළ මම ඔබට මහත්සේ ආදරය කළෙමි.අනාගතය ගැන මහා අවධානමක් තිබෙන බව දැන දැනත් මම ඒ බව ඔබට නොසඟවා ආදරයෙන් බැඳුනෙමි.
ඔබගෙන් මා ලැබූ ආදරය වචනයෙන් විස්තර කරගන්න බැරි තරමට මහත් අපහසුතාවක සිටිමි..
ආදරණීය නිතින්.
මා මුස්ලිම් කතක් වුවත් ඒ නීති රීති වලට එකඟ නැතත් ඉන් පිටවීමට මට හැකියාවක් නොවු බව කියමි.
මා විවාහයක් සඳහා සුදානම් කලබවක් මා ඔබට නොකීවෙමි එහෙත් එවන්නක සිදුවන බව මා දැන සිටියෙමි,මට ඔබේ ආදරය හමුවේ එසේ කියා ඔබෙන් ඈත් වීමට මා අකමැති වීමි.එය මහා වරදක් බව නොසිතුවෙමි.අපි ආගම් දෙකකක් ජාති දෙකක රටවල් දෙකක..මේ තවත් රටක.පුදුම හමුවීමක අභාග්‍ය සම්පන්න පෙරනිමිති තිබෙද්දීත් ඔබට ආදරය කලෙමි.
අපේ සම්බන්ධයට මහා කාලයක් ගත නොවුනත් මට දැනෙන්නේ පෙර ආත්මයක බැඳීමක ලෙසිනි…
ඇත්තටම අපෙ ආදරයට මාස තුනකි.ඔබව හමුවූ තැන මතක ඇතියි සිතමි.මහා කුණාටුවට දුවගෙන ඇවිත් නැවතුනෙ පල්ලිය ඇතුළෙයි.ඔබ එවිට එහි සිටියේ ය.ෆාදර් දරුවො සීතල නෙවද කියූ විට ඔබ ඔබෙ කබාය මට දුන් හැටි මතකය.මා ළඟ තවම ඒ සුවඳ තිබේ.අපි අපේ කතාබහේ යෙදුනෙමු.ආගිය රටවල තොරතුරු අතර ගැවසුනෙමු.මා මුස්ලිම් කතක් බව කීව අමතක ඇතියි සිතමි.එද අපි වෙන්වුනේ යළි හමුවන සපථයෙනි .
ආදරණීය නිතින්,
අපි අපේ නොවීම අපි අදරය කළෙමු.එය හරිම පූජනීයයි මම සිතමි.දෙදෙනෙකුට ආදරය කරන්න කායික බැඳීමක් ම අවැසි නැත.එය නැතුවද පපුව පැලෙන්න අපි ආදරය කළෙමි.අපේ හැඟීම් දැනීම් හරිම පිරිසිදු වූ බවත් දනිමි.ඔබ යහපත් කෙනෙකි.අයුතු බලපෑමක් හෝ අනිසි කතාබහක් අපි නොකළෙමු.එහෙත් ඒ සියල්ල කෙටි කර නෙත් තුළින් අපි ආදරය හැඳින ගත්තෙමු.උතුරායන්න ආදරය කළෙමු.මා එයට මැරෙනතුරු ආදරය කරමි.
නිතින් දැන් මා නුඹ දමා යා යුතුය.නුඹෙන් තොර ලෝකයක අග රැජිනිය වන්නට මට අවැසි නැත.අපේ ආගමේ හැටියට අමානුෂික ශාරීරික පීඩාවක් විඳීමට මට අවැසි නැත..එබැවින් මේ මගෙ අවසාන හා පළමු සටහන ලෙස මෙය තබමි..අපි අපේ ලෝකයක් සොයා ගියද යහතින් ජීවත් වීමට අපේ අය ඉඩ නොදෙන බව දනිමි.එයින් ඔබගේ ජීවිතයටද කරදරයක් වන බව දනිමි.
එබැවින් මා නික්මිය යුතු බව සිතමි.මේ මා ජීවිතයෙන් පළයාමක් නොවේ. අති අමානුෂික ශාරීරික ක්‍රියාවකට දෙමව්පියන්ගේ තර්ජනයට හිස නොනමමි.එබැවින් ඔබට ගරු කිරීමක් ලෙසින්ද මාගේ පිරිසිදු ආදරය සමඟ මේ අති අමානුෂික ශාරීරික හිරිහැරයෙන් මිදිය යුතුය.මට පෝ ගඟ දිගේ ස්විට්සෙර්ලන්තයහි එය පටන්ගන්නා තැනට උඩුගම් බලා පිහිනිය නොහැක..එසේ හැකිනම් මම ජීවිතය සොයායමි.එබැවින් පෝ ගඟේ පහළට ගමන් කිරීමට සිත හදා ගමි
මගේ ආදරණීය නිතින්.ඔබ මේ ලිපිය බලා ෆාදර් ටම ආපසු දී ජීවිතය බේරාගෙන මේ ගම්මානයෙන් පිටවෙන්න.මතු උපදින ආත්මයක අපි අපේම වී ඉපදෙමු.
ඔබට ආදරය පුදමි
ආදරණීය සෆ්නා
 
මම එක හුස්මට කියවා ගියෙමි…ආදරය පරිසරය තුළින්ම මැවෙන චමත්කාර සිතුවිල්ලකි .සඳ කිරණ, තරු එලිය මෙන්ම ගනඳුර ද අතිශය සංකීර්ණ මනෝලොවකට පෙම්වතුන් කැටුව යන ස්වභාවික මන්පෙත්ය.ෆාදර් මා දිහා බලා සිටි බව මන් නොදුටුවෙමි
“එතකොට ..ෆාදර්….?
“ඔහොම ඉන්න ඔය ලිපියක් පමණයි…සෆ්නා ඔය ලියුම මට දීල ගියා එදා ඇ ඇඳල හිටියෙ කහපාට සල්වාර් එකක් ..සාමයේ සංකේතය කියල එයාම ඒක හැඳින්නුවා.දෙවියන් වහන්සේට ලස්සන කහ මල් කළඹක් ගෙනත් තිබ්බා.වැන්ද .ඒත් ඈ ඇඬුවෙ නැහැ.
පස්සෙ යනකන් මං බලාහිටියා.වරක් හැරිල බැලුවා…එපමණයි…..
“ඒ කියන්නෙ ඈ ..?.
“ඔව් පෝ ගඟේ පහළට ගියා….එයාගෙ කහපාට සල්වාර් එකෙ ෂෝල් එක ගඟ පහළ ඉවුරක රැඳී තිබ්බා .දවස් දෙකකට විතර පස්සෙ මිනිය ලැබුණා.එතනින් මේ කතාව අනිත් පැත්ත ගැහුවා..ඈ පල්ලියට එනවා දැක්ක බව කවුදෝ කියා තිබුණා..නිතින්ව හැමතැනම හෙව්ව…මම නිතින්ව පල්ලියෙ සඟවගෙන ජීවිතය බේරල දුන්නා..පස්සෙ නිතින් එයාගෙ රටට යැව්වා ..ලිපිය මම තියාගත්ත.නිතින් කියෙව්වා ..පොලීසිය මගෙන් පවා ප්‍රශ්න කළා..පසුව සියල්ල තේරුම් ගත්ත..ඒකටත් හෙතුවක් තිබුණා සෆ්නගෙ පවුලෙ අය ඔප්පු කලා මේ දුක්මුසු මරණයට වග කිවයුතු ඒ අය බව.මම ලිපිය රහසක් විධියට තියාගත්තා.මෙය දුටුව පිටස්තරයා අන්යා පමණයි.
ඒ සෆ්නා මියගිය වග දැනගෙන එයාගෙ දේවල් සේරම පිච්චුවා.හරිම අමානුෂිකයි මට හිතාගන්න බෑ ඒ අයගෙ දින චර්යාව..එදා පොලීසියත් එතනට ගියා මේක කුඩා පිරිසක් ඉන්න විශාල ගමක්.මාත් එදා ගියා..එතන ගිනි ගොඩක තිබුණ අර නමක් නැති දුඹුරු පොත මට හමු උනා.වැස්සට තෙමිලද වතුර ගහල කවුරුහරි ගින්න නිවන්න හදලද දන් නෑ .කොහොම හරි ඒ පොත මට හමු උනා.මන් ඒක අරගත්ත…ඒක තමා සෆ්නගෙ එකම පොත.අනිත් සේරම දේවල් පවුලෙ අය පුච්චල තිබ්බා..”…ෆාදර් කියාගෙන ගියා
.මම හුස්මක් නොගෙනම අහගෙන හිටියා..
මළානික එලියක් පල්ලිය පුරාම ගියා සෆ්නා අහගෙන ඉඳල ගියා වගේ හරිම දුක්මුසුව ගහ කොළ සෙලවෙනවා වගෙ පෙනුනා.හරිම පුදුමයි..අපි නිහඬව හිටිය හුඟක් වෙලා..
“අන්යා දැන් නුඹට කතාව ලියන්න පුළුවන්.මිනිස්සු අතර එක එක ජාතින් ළඟ තවමත් මිලෙච්ච සිරිත් තියනව.20 වන සියවස තුළදීත් .කවදාවත් වෙනස් නොකරන අමුතු සිරිත් මේ අය ළඟ තියනවා..”.
“ෆාදර් කෝ එ අය දැන්.?.
“ගමෙන් පිට උනා.එයාලට කවුරුත් නැති උනා රැකියාවන් වලින් අයින් කළා.කොහේද දන් නෑ.එත් ඊයෙ දැකපු මිනිහා එයාලගෙ කවුරු හරි.හොයනවා තවම නිතින්ව..ඔබ පරිස්සමෙන් කතාවට යන්න එපා.සෆ්නා ගැන අහන්න එපා.අර දුඹුරු පොත ඔබ ගෙනිච්ච දවසෙ එයා පල්ලියෙ හිටිය දකින්න ඇති.සැකය ඔස්සේ දුවනවා..ඔබ කුතුහළය ඔස්සේ දුවල මේ කතාව හෙව්ව වගේ “..
.ෆාදර් හිනා උනා.
 
 
“ඔව් ෆාදර් මන් පරිස්සම් වෙන්නම් මේක මෙතනින් අවසාන කරමු..දැන් සේරම සිද්ද වෙලා ඉවරනෙ.මන් ලියන්නම් මේක එච්චරයි..”
“හොඳයි දරුවා. … ඔබට මන් හිතන්නෙ මේ මොහොතෙත් මගෙ ආරක්ෂාව ඕනි.”
“ඔබ කවද්ද ආපහු යන්නෙ .?.
“ලබන සතියෙ ෆාදර්..ඊට පස්සෙ මං අපේ රටට යනවා.
නිවාඩුවට මෙහෙ එනවා.”.
“එතකොට දෙමව්පියො..?”
“ආ ඒ අයත් යනවා.හිටිය ඇති කියල එයාල කියනවා”
“හොඳයි ඔබ එහෙනම් ආපහු එන් නෑ මෙහෙට “.
“නැතිවෙයි ෆාදර් නවතින්න නම් එන් නෑ.එහෙත් ඔබ දැකල යන්න අපි එනවා.”
“හොඳයි.යමු එහෙනම් .මම ඔබව ඇරලන්නම් ගේ ළඟට මාත් ටවුන් එකට යනවා.”
“ස්තුතියි ෆාදර්. ඔබ වඩාත්ම මගෙ ආරක්ෂාව බැලුව මං හිතන්නෙ” ..මම හිනාවෙලා කීවා ය
“ඔබ හුඟක් බුද්ධිමත් දරුවෙක්..”හා හා ඔහු හයියෙන් හිනා උනා.
…………………
.
ආයුබෝවන් පවියා ගම්මානයට.
සෆ්නාගෙ කතාව එතනින් හමාර වුවද නාදුනන මිනිසාගේ හැසිරීම මා බියගන්වන සුළු විය.දිනක් උදයේ ම ජනේලය අරිද්දි නාඳුනන මිනිසා අපේ වැට අද්දර බලා සිටියේය.මා තැති ගත්තා යයි නොකියමි.එහෙත් මරණ බිය ප්‍රථම වතාවට දුටුවෙමි හිතෙ කුකුසත් මහා බයක් ඇතිවෙද්දී මම සෙමින් ජනේලයෙන් මෑත්ව දුරකථනයෙන් ෆාදර්ට ඇමතුවෙමි
“කළබල වෙන්න එපා..මම පොලීසියට කියන්නම් මං ඊයෙ මේ ගැන කියා තිබුණා.ඔබ එළියට යන්න එපා.”
අම්ම එන්නට ප්‍රථම මේ මිනිසා ගියහොත් හොඳයයි මම සිතුවෙමි.පැය බාගයක් තුළ පොලීස් රථයක් දුටිමි.හැඳුනුම් පත පිරික්සූ ඔවුන් නාඳුනන මිනිසා රැගෙන ගියේය,,මම සැනසුම් සුසුමක් හෙළීමි.
ෆාදර් ඒ සැනින් ආවේය..
“අන්යා ඉක්මනින් ඔයාල රටින් පිටවෙන්න..මම දෙමව්පියන්ට කියන්නම්..”.මා එවර නම් එක පයින් ඊට කැමති වීමි.ගෙදර එකම කාල විජ්ජුම්බරයකි.අම්මා යකා ආවේශ වූවා වැනිය.තාත්තා කිසිත් නොකියා බලාගත්වනම සිටියේය.මා නොදන්නා බොහෝ දෑ ගේ ඇතුළත සිදුවෙමින් තිබුණි..අනපේක්ෂිත ලෙස මහා බියකරු දෑට මුහුණ දීමට ගෙදර අය ලැහැස්ති වෙමින් තිබුණි..මට ගෙදරින් පිටවීමට තහනම් විය.කතාකල හැකි වූයේ ෆාදර් හා පමණි.මගේ දුරකථනය පවා අම්මා අයින් කර තිබුණි.අයින් කලා නොව උදුරගත්තා කීවොත් නිවැරදිය..
  අම්මා ගෙදරම නවතුනාය.කුමක් හෝ මට නොකියූ දෙයක් ගේ තුළ සිදුවන බව දැනුණි..සෆ්නාගේ දුඹුරු පොත මහ කළබැගෑනියක් කරන බව දැනින.අම්මා දවසකට දෙවරක්වත් යාතිකාව පටන් ගන්නීය.තාත්තා නම් වචනයකුදු කතා නොකළේය..
“අන්යා ! බඩු අස් කරන්න අපි ගෙදර යනවා..!”
“හොඳයි ! කීවා මිස ඇයි කියා මම නොඇසුවේ ගෙදර යන බව කල්තියා දැනසිටි නිසාවෙනි..එහෙත් මේ තරම් ඉක්මනට යාවියි මා නොසිතුවෙමි.ඔව් යමක් තේරුම් කර දෙමින් තිබුණි.
 
.ස්වභාවධර්මය පවා මහා කතාවකට අර අඳිමින් තිබුණි.
ඈත නොපෙනෙන තිරිඟු යායේ ශබ්දයට පවා මා බියව සිටියෙමි.කුමක්දෝ නොපෙනෙනා අද්භූත බලයකට මාව හිරකර ඇතියි බොහෝ වර සිතුනි.මේ මගේ මනස කළබල නිසාද මගෙ ජීවිතයට අනතුරු බව හඟවන නිසාදැයි නොදනිමි.කෙසේ වෙතත් මා සම්පූර්ණයෙන් ම වෙනස් නිහඬ චරිතයකට පත්වෙමින් තිබුණි….කොටින්ම රෑට මා හා නිදා ගත්තෙත් අම්මාත් තාත්තාත් මැදිවයි.ඔවුන් ඒ තරමට මා ආරක්ෂා කලහ
“අන්යා !!.ජනේලෙ අරින්න එපා.ඒක උඩට නගින්නත් එපා.මේ පැත්තට වෙලාම ඉන්න ඕනි .තේරුණාද..ගෙයින් පිට යන්න එපා මේ දවස් ටික “.
“පුතේ අපට ඉන්නෙ ඔයා විතරයි ..අපි අපේ රටට යන්න ඕනි..”.
අම්මා සම්පූර්ණ සන්සුන් කතාබහකට මාරුවෙමින් තිබුණි.. ඈ යම් භීතියකින් සිටි බවත් ඇගේ ඇස් වලින් දුටිමි -.බොහෝ අඩුවෙන් කොටින්ම මා කතා නොකල තරම්ය..ගතවූ දෙමසක කලක් මහ විපර්යාස අපේ ගෙදර විය.
පල්ලියට හෝ කිසිම විටක මේ දෙමස තුළ එළියට නොගියෙමි.ෆාදර් විටින් විට අපේ නිවසට පැමිණි අතර මගේ ආරක්ෂාව වෙනුවෙන් කැපවන බව පැවසීම අපට මහත් අස්වැසිල්ලක් විය.එක අතකින් මා කිසි වරදක් කර නැත.
සෆ්නාගේ දුඹුරු පොත මගේ ජීවිතයම කණපිට පෙරළා ඇති සැටියක්.මාධයවේදිනියක් වීම අසීරු තරමටම එහි නිරත වීම ජීවිතය හා මරණය අතර සටනක් බව මට අවබෝධ වෙමින් තිබුණි. කොටින්ම ෆාදර් මෙවන් අවධානම් කටයුතුවලින් ඈත් වීමට නිතර මට වටෙන් ගොඩින් කීවේ ය. එය මුලදි විශ්වාස නොකලත් දැන් දැන් එහි සත්‍ය මට අවබෝධ වෙමින් තිබුණි.
ඇත්තටම සෆ්නාගෙ මරණයහි අබිරහස අපි තිදෙනෙක් දනිමු.එහෙත් නාඳුනන මිනිසා එය අපෙන් පිටවීම වළක්වන්නට අර අඳින බව අවසානයේදි පසක් කර ගතිමු.චූදිතයෙක් නොමැති නඩුවක් ගෙනයාම නිශ්ඵල බව අවසානයේදි තෙරුම් ගතිමු.කලයුත්තේ ජීවිතය බේරාගෙන පිටවීම පමණක් බව අන්තිම නිගමනයට ආවෙමු. හදවතට එකඟව ජීවත්වන මිනිස්සුන්ගෙ ජීවිත පරිසරය තුළ හැමදාමත් ආදර මල් පිපෙනවා.ඒත් ඒ අය ඒ මල් ඉඹින්නෙවත් නැතිව පූජා කරනවා.ඔව් හදවතට එකඟව ජීවත්වන මිනිස්සු ආදරයට ඒතරම්ම බැතිමත්.සෆ්නලාගේ ආදරය එලෙසයි සිතමි.
(මෙහි නම් ගම සියල්ල මන්න්කල්පිතයි )
නිමි
මෙලනි තෙන්නකෝන්

Wednesday, 2 November 2016

බෝනික්කා---ඉෂූ රත්නායක---

ඉර අවර ගිලෙමින් තිබුණි. කොල්ලෝ කුරුට්ටන්ගේ කෑ කෝ හඬ ගම්මානය පුරා විහිදෙමින් සැදෑවේ නිසල බව පහව ගොස් ඇත.
” සිරිමලෝ…… සිරිමලෝ….. ”
අම්මාගේ හඬ කොල්ලන්ගේ උසුළු විසුළු හඬට වඩා උස්ව, ගෙපැල දෙසින් ඇසේ. එතරම් උස්ව හඬ නගන්නේ මන්දැයි සිරිමලා උත්සුක වූහ. ඒ හඬ දිගේ දෙපා නැගුණේ ඉබේටම ය. අම්මා ගැබ්බර වී දැන් මාස පහ හයකට නොඅඩු ය. ඉදිරියට නෙරාවිත් තිබුණ උදරයටත් අත්ල තබාගෙනම එළිපත්තේ කණුවකට සේන්දු වී නොනවත්වා ම හඬ නගන කුසුමලතාව, නෙත ගැටුන සිරිමලා උත්සුක වූහ.
” ඇයි අම්මේ, කෑ මොර දෙන්නේ ? මොකදෑ වුනේ ”
දුර තියාම ඒ ගැන අසමින් සිරිමලා කුසුමලතා ළඟට පැමිණියේ ය.
” මං මෙච්චර වෙලා උඹට කතා කරා, ඇහුනේ නැද්ද? කව්දෝ දෙතුන් දෙනෙක් ඇවිත් අප්පොච්චාව වාහනේක දාගෙන අරං ගියා. කවුද කියලා ඇහුවත් කීවේ නෑ. ඇවිත් අප්පොච්චා එක්ක කුටු කුටු ගෑවා. ටික වෙලාවකට පස්සේ අප්පොච්චාව බලෙන් ම වගේ වාහනේට දා ගත්ත ”
කැඩුන වචන වලින් කුසුමලතා ඒ ටික කියා ගත්තේ බොහොම වෙහෙසින් වගේ.
” උන් කොයි අතටද ගියේ ? අප්පොච්චා මොකොවත් කිව්වේ නැද්ද ? මොක්කද ආපු වාහනේ? ”
සිරිමලා එක හුස්මට ප්‍රශ්න නඟයි.
” උඹලයේ අප්පොච්චා කිව්වා බය වෙන්ට කාරි නෑ. කලබොල නොවී ඉන්ඩ කියලා. මං විඟහයින් එන්නම් කිව්වේ. සුදු පාට වෑන් එකකින් තමා උන් ආවේ. ඕන් ඔය පැත්තට තමයි ගියේ ”
කියමින් කුසුමලතා පාරේ අනෙක් අතට අත දිගු කලාය.
” හිටින්කෝ, මං ගිහින් ටිකක් ඒ දොහ ටිකක් සෝදිස්සි කොරලා එන්ඩ ”
කුසුමලතාගේ වචනත් එක්කම සිරිමලා යුහුසුළු විය. සිරිමලාට යා හැකි වූයේ ටික දුරකි.
” ආ…..න්, උඹලයේ මහ එකා තුන්තොට පාලම ළඟ වැටිලා ඉන්නවලු. ඕකුන්ගේ ඔළුව ඉදිමිලානේ. අපි කිව්වට ඇහුවෙ නෑ. අපේ මේ කෙස් නිකට පැහුනේ අකලට නෙමෙයි බොලව්. ගියා සාධාරණ සමාජ හදන්ඩ. දැන් ඉතින් විදවපල්ලකෝ. ”
සිරිමලාට මුණ ගැසුන සේතං ගොයියා, එසේ කියමින් යන්ඩ ගියේ ය.
සිරිමලා එතැනට යන විටත් එතැන සිටි වුන් විජේවර්ධනව ඉස්පිරිතාලෙට ගෙන ගොස් තිබුණි. කුමක් කරන්දෝ ලතවෙමින් සිටි සිරිමලා පුට්බයිසිකලේ ආපසු හරවාගෙන ගෙදර ආවේ ය. ඒ වන විටත් සිදු වූ පැටිකිරිය කුසුමලතාගේ කන වැකී හමාරය.
” මං කොච්චර නම් කිව්වද උඹලයේ අප්පොච්චාට ඔය කළු ගල් වල ඉහ ගහ ගන්න එපා කියලා. කොච්චර නරකාදියෝ වුනත් ගමේ එකාලා ගොඩක් දෙනෙක් උන්ගේ පැත්තේ. මනාප ඉල්ලන උන් කොහෙවත්. මුන් තමයි වලි කා ගන්නේ. සමහර ඇහැටවත් දැකලා නැති එකාලා නිසා, ගමේ උන් ගහ මරා ගන්නවා ”
කුසුමලතා දෙස් දෙවොල් තබමින් දෙවට දිගේ යයි.
” දැන් ඕවා කියලා කාරි නෑනේ. දැන් ඔය කරුවලේ කොහේදෑ යන්ට හදන්නේ? ”
සිරිමලා කුසුමලතාගේ පාර හරස් විය.
” උඹ ඔය නංගිත් එක්ක හිටින්කෝ ගෙදරට වෙලා. මං ලොකු අප්පොච්චාවත් එක්හාසු කොරගෙන ඉස්පිරිතාලෙට ගිහින් එන්නම් ”
හිත දැඩි කරගත් කුසුමලතා එසේ කියා පය ඉක්මන් කෙරීය.
* * * * * * * * * * * * *
හීරියගොල්ල ගම්මානයම ඝණ අඳුර ගිල ගනිමින් තිබුණි. මඟතොටකවත් කිසිදු මිනිසෙකු ඇස ගැටෙන්නට නැත. ඉඳහිට මහ පාරේ යන වාහනයක හඬ යාන්තමට ඇසේ.
දුකට මුසු වූ පීඩනයත් එක්කම රෝහල වෙත ලංවෙන්න ලංවෙන්න කුසුමලතාගේ පපුව ගැහෙන වේගය වැඩි විය. ඒ එන අතර මඟ විජේවර්ධනට දුකක්, කරදරයක් නොවේවායි යැදපු වාර අනන්තය.
පාදයක් අහිමිව ඇඳක වැතිර සිටි විජේවර්ධනව දුටු කුසුමලතා විලාප තබන්නට විය. එහෙත් ඒ ලතෝනිය විජේවර්ධනට මේ අපරාධය කල එකෙකුටවත් නම් ඇසුනේ නැත.
ඊට සති තුනකට පසුව කුසුමලතා විජේවර්ධනව ගෙදර එක්කං ආවේ පාදයක් නැති තම සැමියාත්, නූපන් දරුවා හා අනිත් දරු දෙදෙනා සමඟ ජීවිත සටනට කෙසේ හෝ උර දෙනවායැයි දැඩි අධිඨනයකින් යුතුවය.
පසුදා දහවලේ ගෙපැල ඉදිරියෙන් ඇහුන වාහන සද්දෙට පිලිකන්නේ සිටි කුසුමලතා ගෙට ඇතුළු වූයේ ‘ඒ කවුදැයි’ යන සැකයෙනි. කුසුමලතාට ඔහු හඳුනා ගත හැකි වූයේ ඊට පෙර දිනක විජේවර්ධනත් සමඟ මන්ත්‍රීතුමාගේ වැඩසටහනකට පැමිණි වෙලාවේ පියල් කුසුමලතාගේ ගෙපැලටත් ගොඩ වැදුන නිසා ය.
ඔහු මලු කිහිපයක් කුසුමලතාගේ අත තබමින්,
” දැන් කොහොමද නංගියේ විජේට?”
යැයි ඇසීය.
” කියන්න තරම් හොදක් නෑ අයියේ ”
යැයි කුසුමලතා අමනාප ස්වරූපයෙන් පැවසුවාය.
‘ සති දෙකක් ගෙවිලා ගියා. දැන් තමයි මතක් වෙලා තියෙන්නේ. නැහීගෙන උන්ට කරනකම් හොදයි. දෙයක් වුනහම මොකෙක්වත් නෑ. ‘
කුසුමලතාගේ යටි සිත කසු කුසු ගෑවාය.
විජේවර්ධනගේ සුව දුක් විමසමින් අඩ හෝරාවක් පමණ සිටි පියල් යන්නට සැරසුණේ ය.
” මේ රුපියල් දෙදහා තියාගන්න නංගියේ. මේ දවස්වල මදි පාඩුත් ඇතිනේ. මං හෙට අනිද්දට ආයෙත් ඇවිත් යන්න එන්නම්කෝ. මන්ත්‍රීතුමාත් එනවා කිව්වා අද හෙටම විජේව බලලා යන්න. එතුමාටත් ඉතින් එක රාජකාරියන් නොවෙයිනේ තියෙන්නේ. මේ දවස් වල ඕසේට වැඩ…. ”
යැයි කියමින් පියල් කුසුමලතාගේ අත රුපියල් දෙදහේ කොලයක් තබා ගෙයින් පිට විය.
මිදුලේ කොනක කොහොඹ ගස් සෙවනේ සෙල්ලම් කරමින් සිටි පුංචි සාරා ඔහුගේ නෙත ගැටුනේ අහම්බෙනි. කුසුමලතාගේ දියණිය වන සාරා අවුරුදු හතරක පමණ සිඟිති දැරියකි. පරණ බෝතලයක් තුරුළු කරගෙන, දරු නැලවිල්ලක් කියන ඈ ළඟට ආ නඳුනන පුද්ගලයා දැක ඇය තරමක් තැති ගත්තාය.
” දූ සෙල්ලම් කරනවාද ”
ඔහුගේ පැනයට පුංචි සාරා ඔළුව වැනීය.
” දූට සෙල්ලම් කරන්න බෝනික්කෙක් නැද්ද? ”
ඇය තුරුළු කරගෙන සිටි පරණ බෝතලය දැක ඔහු යළිත් විමසීය.
ඇය නැවතත් නෑ කියන්නට මෙන් ඔළුව වැනීය.
” මං ඊලඟ දවසේ එනකොට දූට ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙන්නම්කෝ ”
කියමින් සාරාගේ හිස අතගා ඔහු යන්න ගියේය.
දින සති මාස ගෙවිලා ගිහින්. පුංචි සාරා වාහන සද්දෙට හැමදාම කඩුල්ල ළඟට දුවගෙන එනවා, ලස්සනම ලස්සන බෝනික්කෙක් ගෙනත් දෙනවා කිව්ව මාමා එනවද බලන්න.
කොච්චර මඟ බලාගෙන හිටියත් ඒ මාමාවත්, ඒ මාමාගේ වාහනේවත්, එනවා කිව්ව මන්ත්‍රී කෙනෙක්වත් පුංචි සාරලාගේ ගෙදරටනම් ආයේ ආවේ නෑ.
අහවරයි.

ඉෂූ රත්නායක
කුරුණෑගල

Monday, 31 October 2016

රසාංගි චන්ද්‍රසිරි ගේ අලුත්ම කෙටි කතාව

සිව් වෙනි මහලට නැඟි එල්වෝර්ට දකින්නට ලැබුණේ කිසිඳු අයුරකින් ඔහු අපේක්ෂා නොකළ සිත මන්මත් කරවන දසුනකි. එල්සා කවුළුපියන් පත් හැර තමාට පිටු පා ඈත මිහිඳුම් සේලයෙන් වැසී ගියා වූ කඳු පංතීන් දෙස බලා හිඳින්නේ මන්මත් ව ගිය සෙයිනි. තුනී මීදුම් සේලය පසුබිම් ව, ලා නිල් පැහැති විනිවිද පෙනෙන දුහුල් කඩා හැලෙන ගවොමොකින් සැරසී සිටින එල්සාගේ රුව අන් කවරදාටත් වඩා කැපී පෙනේන්නට විය. ඇගේ සිහින් ඇත් දළ පැහැ ගත් සිරුරට කිටි කිටියේ තදව ඇති චාම් ගවොමෙන් සිහින් ඉඟටියත්, දෙඅත් සහ පිටෙහි හැඩය තවත් ඔප් නැංවෙන බවක් එල්වෝර්ට සිතෙයි. කවුළුවෙන් ගලා ආ සුළං කෝඩයෙන් ඉඟටියේ සිට නිදහසේ පහළට කඩා හැලී තිබූ ගවොමේ රැළි, සර සර නදින් ලෙළෙදෙන අයුරු එල්වෝර්ගේ සිතෙහි බරැ´ති ආදර හැඟීමක් එල්සා කෙරෙහි ඇති කිරීමට සමත් ව ඇත්තේ ය. අඩවන් වූ දෙනෙතින් ඇඟේ මන බඳින රූ සපුව උරා ගන්නා එල්වෝර්ට ඇඟේ සුන්දරත්වය විනිවිද යනෙන සියුම් ශෝකාකූල බවක් ද පැතිරෙන බව දැනෙන්නට ගත්තේ සියුම් තැති ගැන්මක් ද හිතේ ඇති කරවමිනි.
පියන්පත් සම්පූර්ණයෙන්ම හැර දමා ඇති කවුළුවෙන් නිවෙස්නට ඇතුල් වීමට අවසර ලැබූ සුළං රැල් අවට වාතය සිසිල් කරවූයේ ඇඟේ හීගඩු ද පිපෙන තරමිනි. තමන් ආ පා හඬ එල්සාට නොඇසුණේ දැ´යි සිතමින්ම බර කොට පියවරක් ඉදිරියට තැබූයේ එල්සාට තමා පැමිණි බව සංකේතවත් කරනු පිණිසම ය. එහෙත් එල්සාගෙන් ප්‍රතිචාරයක් නොමැත. තවත් පියවරක් ඉදිරියට තැබූ එල්වෝර් , ඇමතූ එල්සා
`මා ප්‍රිය එල්වෝර්, ඔබ මෙහි පැමිණි බව දැන්වීම සඳහා මහත් බර පියවර තැබිය යුතු නොවේ... ඔබේ හුස්ම පවා මට දැනේනවා.. ඔබේ හෘද ස්පන්දනය පවා මට ඇසෙනවා... ඔබ ප්‍රාශ්වාස කරන වාතයෙහි සිසිල පවා මට දැනෙනවා මා ප්‍රිය එල්වෝර්...´ යැ´යි පැවසූවේ එල්වෝර් දෙසවත් නොබලමිනි..´
කවුළුවේ දෙපට අත් තබා ගෙන සිටි ඇගේ පිටුපසින්, ඈ වෙත එළැඹි එල්වෝර්... දෙඅත් ඇගේ මන බන්ඳනීය උකුල මතින් ඉදිරියට යවා ඈ සිය සිරුරට තද කර ගනිමින්,
` මා ප්‍රියාවිය, එල්සා..... මට ඒ බව දැන සිටින්නට තිබුණා... සමාවුව මැන...´
යැ´යි පවසමින් මුදුනට කොට බැඳ ඇති ඇගේ සුදු පැහැ කෙස් කළඹට හසු නොවී, නිදහසේ සුළඟ හා එක්ව බෙල්ල මත දඟ කරන කෙහෙ රැළි එකිනෙක සිප ගත්තේ, ඇගේ බෙල්ලද එකී හාදු වලින් නැහැ වී යන අයුරිනි. වෙනදා එවැනි ස්පර්ශයකින් කිති කැවී යන එල්සා නොසෙල්වී.... එක එල්ලේ ඈත කඳු මත ම සිය දෙනෙත රඳවමින් සිටියේ එල්වෝර්ගේ ආදරැ´ති හිත ද තවමිනි. ඇඟේ මේ වෙනස්කම නොතරම් කෙරූ එල්වෝර්,
`මා ප්‍රියාවිය, මේ තෙත් වැහි කෝඩය සහිත සුළං වැදී ඔබව අසනීප කරාවී.... ඔබට සුළඟින්වත් හිරිහැර වෙනවාට මා අකමැතියි එල්සා. අප ගිනි උදුන වෙත ගොස් උණුසුමව හිඳිමු...´
` මා අසනීප කරවීමට කාරණා ඕනෑ තරම් ඇතිවිට, මා අසනීප කරවීමට මේ සුළඟට හැකියාවක් නෑ එල්වෝර්... අනික සී සුළඟින් අසනීප වීමට තරම් මා දුර්වල කාන්තාවක් ද නොවේ..´
` දුර්වල නොවුණත්, ඔබ ඉතාම සියුමැළියි මා ප්‍රියාවිය.. එම නිසා මේ සීත සුළං ඔබට ඔරොත්තු නොදේවි.....´යි
එල්වෝර් පැවසුවේ එල්සාගේ උරහිස් මතින් දෙඅත් තබමිනි.
`සුළඟින් මට කම් නැත එල්වෝර්... මා සවන් යොමු කර සිටින්නේ දුර කඳු මතින් සිහින්ව ඇඳී එන මනෝහර පියානෝ වාදනය වෙතයි. ඒ වාදනය මා මුසපත් කරවනවා එල්වෝර්.... ඔබටත් එය ඇසෙනවා ද??? අසන්න...... එය කෙතරම් මිහිරිද කියා... ඔබට ඇසෙනවාද මා ප්‍රිය එල්වෝර්?.......´
එල්සා පිටුපස හැරී එල්වෝර්ගේ දෑතින් මිදී ඔහුගේ දෙඇස් දෙස බැලුවේ, සීතලෙන් මිදී ගිය වීදුරු මෙන් තියුණු දෙනෙතිනි. ඇගේ විනිවිද යන දෙනෙතෙහි කාන්තිය දරා ගැනීම අසමත් වූ එල්වෝර් ඈත ඉම දෙස බලා ගෙන, අවට පරිසරයට දෙසවන් යොමු කරන්නට විය. ඈත....... ඈත.... පෙදෙසෙක සිට ගලා එන දුබල පියානෝ වාදනය ඔහු සවන්පත් මත රැඳුනෙන්, එල්සා දෙසට දෑස් යොමු කර,
`එසේ ය.... ප්‍රිය එල්සා.... මට ඇසේ... නමුත්.... නමුත්...´
එල්වෝර්ගේ සුදුමැලිව ගිය ප්‍රිය දෙකම්මුල් මත සිය සීතල දෙඅත්ල තැබූ එල්සා, ඔහුගේ සකල ශරීරයම විනිවිදින බැල්මක් ඔහුගේ දෙනුවන සෘජුව රඳවමින්,
`කියන්න ප්‍රිය එල්වෝර්, ඇයි ඔබ පැකිළෙන්නේ..... ඒ පියානෝ වාදනය හදවත පැහැර ගන්නා සුළු නොවෙද? එය මනමෝහනීය වාදනයක් නේද එල්වෝර්....´
`මට සමා වෙන්න එල්සා....´ එල්වෝර් සිය දෙකම්මුල් මත රැදුණු එල්සාගේ සීතල දිගැටි දෙඅත් තුඩු මත සිය දෙඅත රඳවමින්,
`එහි සුන්දරනීය බවට යටින් දිවෙන, ශරීරය කිළිපොලා යන අන්දමේ විස්තර කළ නොහැකි අන්දමේ මහා භයානක බවක් රැඳී ඇති බවක් මට හැඟෙනවා..... හරියට...... හරියට මිනීමරු වාදනයක් වගේ........ ම.....මට සමාවෙන්න එල්සා.... ඒ වාදනය මා පීඩාවට පත් කරවන සුළුයි …………´
`නැහැ මා ප්‍රිය එල්වෝර්, නැවතත් හොඳින් ඔබේ සවන් යොමු කරන්න. වඩාත් සංකීර්ණ වන්නට එපා.... ඔබේ දැන් සිතුවිල්ලට කිට්ටු, එහෙත් ඊට ඉඳුරා වෙනස් යමක් ඔබට හැඟේ දැ´යි අසා බලන්න...´
නැවතත් දුබල සිතින් ගැස්මකින් යුතුව, දුබල මූසල පියානෝ වාදනයට සවන් යොමු කෙරූ එල්වෝර්.... සිය බෙල්ල වටා අත පටළා ගෙන මුහුණට එබී ගෙන නිසොල්මනේ සිටින එල්සාගේ උකුළ වටා අත් දවටා ගනිමින්, විශ්මය මුසු සැළෙන දෙනෙතින් එල්සා දෙස බලා...
`අහෝ එල්සා, එය නම් හරිම බයංකරයි... එය හරියට ළතෝනියක් වගේයි...දිගු කලක් දුක සඟවා සිටි අයෙක්ට හඬක් ලැබී ඇතුවා වාගෙයි... හරිම ජුගුප්සාජනකයි..... ගුප්ත යි..... වේදනාකාරී යි..... අසා සිටින්නන් හඬවන සුළුයි... බිය වද්දන සුළුයි...´
එල්වෝර්ගේ දෙඋර මතින් අත් තබා ගත් එල්සා... ඔහුගේ දෙඋර තදින් සොළවමින්, සිනාමුසු මුවඟින්,
`හරියටම හරි එල්වෝර්... ඔබ හරියටම හරි.... එය වින්දිතයෙකුගේ විලාපයක්... ශෝක ගීයක්... ලේ තැවරුණු ශෝකයක්... ඔබ කිවූ සේම, ඒ වාදනය ජුගුප්සාජනකයි, බියකරුයි, ගුප්තයි, වේදනාකාරියි.... ඔබට එය ඇසුණා ම සිතෙන්නෙ නැද්ද එල්වෝර්.... මේ උදා වී තිබෙන්නේ මිනීමරුවන්ගේ වාරය නොවෙයි, වින්දිතයන්ගේ වාරය බව...... කියන්න එල්වෝර් මට හැඟෙන දේම ඔබටත් දැනෙනවාද.....?´
වියරුවෙන් මෙන් ඔහුගේ උරහිස් සොළවමින් කෑ මොර දෙන එල්සා දෙස විශ්මයාවහ දෙනෙතින් බලා සිටින එල්වෝර්
`එල්සා.... එල්සා.... ඔවැනි භයානක කතා ඔබේ මනසට එන්නේ කොහින්ද? එළැඹෙන සතියෙහි යෙදී ඇති අපගේ විවාහයට ඔබේ මනස යොමු කරන්න මා ප්‍රියාවිය... ඔවැනි නොවැදගත්, අප්‍රිය සහගත විශ කැවුණු සිතුවිලි වලින් ඔබේ සියුමැළි හදවත පුරවා ගෙන දුක් වන්නට එපා... සිහියෙන් පසුවන්න මා ප්‍රියාවිය.. සිහියෙන් පසු වන්න...´
`එසේ නම් ඔබත් සිතන්නේ මා උමතුවෙන් බව ද එල්වෝර්? ඇයි කිසිවෙකුටත්, මගේ හදවත තේරුම් ගත නොහැකි....? මොහොතකටවත් ඔබට සිතෙන්නේ නැද්ද එල්වෝර්.... මේ මිහිඳුමින් වැසී ගිය නිහඬ, ගුප්ත කඳුකරය සඟවා ගත් යමක්, නිතර අප වටා සැරිසරන බව... ඇයි ඔබට නොවැටහෙන්නේ....? කියන්න ඔබට එවැන්නක් හැඟේ නේද? ´
කියූ එල්සා, එල්වෝර්ගෙන් මිදී නැවතත්, කවුළුව වෙත හැරී ගොස් විනිවිද යන බැල්මකින් නැවතත් කඳුකරය වෙත නෙත් රඳවා දෙඅත් පටලා නිසොල්මන් විය.
`එල්සා ඔබ.....´ කී එල්වෝර් දෙස පිටුපස හැරී බලා කිසිවක් නොපවසන ලෙස අතින් සන් කළ එල්සා,
` මගේ කැඳවීමට මෙහි පැමිණියාට ස්තූතියි මා ප්‍රේමවන්ත එල්වොර්... කරුණාකර මට හුදෙකලා වීමට දෙන්නේ නම් තවත් ස්තූතිවන්ත වෙමි. නැවත හමුවෙමු මා ප්‍රිය එල්වෝර්... ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ´යි
පවසා නැවතත් අනෙක් පස හැරී කඳු දෙස නෙත් රැඳ වූ එල්සා දෙස බලා හුන් එල්වෝර් නිහඬව ම, ආ ලෙසින් ම තරප්පු පෙළින් පහළට බැස ගියේ නොපහන් සිතිනි. ඉක් ඉක්මණින් සිව් මහලින් බැස එළිමහනට විවෘත ව ඇති ප්‍රධාන දොරටුවෙන් ප්‍රධාන උද්‍යාන මාවත දිගේ මඳ දුරක් ගොස් එල්සා සිටි සිව් මහල් කවුළුව දෙස බලන විටත්, එල්සා නොසෙල්වී දුර කඳු දෙස අයා ගත් දෑසින් යුතුව බලා සිටිනු එල්වෝර්ට පෙණුනි. පැතළි ගනකම් වාටිය සහිත හම් හිස්වැස්ම හිස ලා, රිදී කොපුවක් එබ්බ වූ බස්තම ගල් ඇල්ලූ උද්‍යාන මාර්ගය මත හඬ නැඟෙන පරිදි පතිත කරමින්, පහතට යොමු කර ගත් හිසින් යුතුව එල්වෝර් ගමන් ගත්තේ එල්සාගේ අමුතු හැසිරීම පිළිබඳ වූ සිතිනි. ...                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                                      --රසාංගි චන්ද්‍රසිරි--                

Saturday, 22 October 2016

අසූ තුනේ කලබලේ---දිල්ෂාරා පීරිස්

අපේ අම්මා අදටත් සමහරදාට ඉට්ලි සමඟ කුලම්බු හොද්දක් කටට රසට පිළියෙල කරයි. උප්පුමා,උළුදු වඩේ,චපාති එකී මෙකී නොකී රසවත් ආහාරයන්ගෙන් අපේ බඩ කට පුරවයි.හකුරුයි,මුං ඇටයි දාල හදන මෝදගම් කෑමට රුසියා මමය. අලුත් අවුරුද්දට අපේ නැන්දලා අපේ ගෙදරට දුව එන්නේ උඳු පිටි වලින් හදපු මුරුක්කු කන්න මහත් ආසාවෙනි.පිල්ලේ දොස්තර මහතාගේ තුන් මහේ දානේ පන්සලටත් කෝවිලටත් දීමට දූ දරු පිරිස ලහි ලහියේ සූදානම් විය.ගේ දොර අස්පස් විය.
‘මේ කොළ පාට පිඟන් ටික පරිස්සමින් සෝදලා දෙන්න ලොකු දුව’ කියමින් අම්මා මගේ අතට පිඟන් කිහිපයක් දුන්නාය.
‘මේ පරණ පිඟන් වගයක්නේ අම්මේ..’
‘පරණ වුණාට කමක් නෑ හෝදලා දෙන්න අරන් තියන්න.අසූ තුනේ ගෙට ගහපු වේලාවේ ඉතුරු වුණ පිඟන් ටික ඔය.’
‘අම්මට ඒ පිඟන් තාම මතකයිනේ’
අම්මා නිහැඬියාවක නිමග්න විය.
යාපනය ගම්දොර වූ සෙල්ලප්පා ගණපති පිල්ලේ ලංකා විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය ලබා ලංකාවේ හතර දිසාවේ තම සේවය නොපිරිහෙලා ඉටු කළ පුද්ගලයෙකි.අසූ ගණන් වල සේවා ස්ථානය වූයේ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ බෙහෙත් ශාලාවය. එහා ගමේ පිහිටි ඔහුගේ නිවසද රෝගීන්ට බෙහෙත් ශාලාවක් විය.
ලේ නෑ සබඳකමට අනුව බත් පිඟාන නොබෙදු පිල්ලේ දොස්තර මහතාත් මාතර පාතේගම පදිංචිකාරියක වූ ඔහුගේ බිරිඳ ක්ලේරා වික්‍රමසිංහත් මා පිය සෙනෙහස රැකවරණය නොදත් මගේ අම්මාට ජාතියට ජම්මෙට එහා ගිය මා පිය සෙනෙහසක් ලබා දුණි.
කිළිනොච්චියේදී දකුණේ හමුදා සෙබළු දහතුන් දෙනෙක් අමානුෂික ලෙස ඝාතනය කොට ඇති බව රත්මලානෙන් මළ සිරුරු ගොඩ බෑමත් සමඟ කොළඹ අවට මිනිසුන්ගේ පපු කුහරයන්ට එය ආරංචි විය. දඬු මුගුරු මන්නා පිහියා මදින්නට විය. භූමිතෙල් බෝම්බ හැදිණි.කුපිත වූ සිංහල මිනිස්සු කොළඹ පදිංචිව සිටින දෙමළ මිනිස්සු සොයමින් පන්නා පන්නා මරන්නට සූදානමි විය. එකම කළු වළාවකි. ආමර් වීදියේ සිට බේරුවල දක්වා වූ කඩ එක පෙළට එකිනෙක එකිනෙක වැසි වැසී යන්නට විය. ටයර් රෝද නොව නිරයේ ගිනි රෝද විය. කුමක්දෝ මේ භයංකරත්වය .කුමක්ද මෙය. මහාදුම් වළාවන් කොළඹ ලැව් ගිනි කොහෙන්ද. ගාලු මුවදොර සමුද්‍රයා සැරසී සිටින්නේ අඳුරු පුවතක් හා දොඩමළු වන්නටය.
‘කෝ මේ හැතිකරේ ..’
‘පර බල්ලෝ’
‘දෙමළ පාදඩයෝ’
‘බැහැපිය දොට්ට..’
‘බොලට මේකේ ඉඩක් නෑ බොලව් පලයව් වන්නියටම’
එදා තරම් බය වුණ දවසක් මගේ ජීවිතේ නැහැ.අම්මා යළිත් අසූ තුනට ගියේ මාත් සමඟය.‘ඉස්සර තිබුණේ යකඩ ලයිට් කණුනේ,ගැහුවම ලොකු සද්දයක් යනවා. මෝදර සොල්දර කඩේ ජිනරතන යකඩකින් ලයිට් කණුවට ගැහුවා.බැහැපිය දෙමළ හැතිකරේ එළියට කියාගෙන.නෝනා එළියට බහින්න හැදුවා මමයි සෝමෙයි ඉඩ දුන්නේ නෑ අපි බෙරිහන් දීලා කෑ ගැහුවා.
ඔය මිනිස්සුන්ම තමයි මහ රෑට ළමයින්ට වලිප්පුව හැදුනම ඩිස්පැන්සරියට විතරක් නෙවේ ගෙදරටත් දුවගෙන එන්නේ.අපේ මහත්තයා වෙනම ලොකු බේසමක් තියන් ඉන්නේ ගෙදරත්;බේසමේ වතුරට දාලා තමයි කටට හැන්දක් දීලා තමයි බෙහෙත් දෙන්නේ.විශ්ව විද්‍යාල ළමයින් අර උද්‍‍ඝෝෂණවල ගේට්ටු කඩාගෙන එන්නේ .ඒ වගේ තමයි එදා මුළු මොරටු ගම් දහ අටේම මිනිස්සු අපේ මහ ගේට්ටුව කඩා ගෙන ආවේ මහත්තයව මරන්න.ගෙදර මේ වෙනකොටත් මායි සෝමෙයි නෝනයි හිටියේ..අපි තුන් දෙනාම සිංහල හන්දා මුකුත් කළේ නැහැ.ගෙදර තිබුණු දේවල් අරන් ගියා සේරම. උදේ හත වෙද්දි බ්‍රෝකර් ධනපාලගේ පුතා “නීල්”ලොකු ඔරලෝසුව කරේ තියන් ගියේ.
මගෙයි සෝමෙගෙයි ඇදුම් අපි වත්තේ තිබුණු ටැංකියව දාලා පොල් අතු වලින් වැහුවා. තව ගෙදර බඩු වගයක් වත්ත පහළට අරන් යනකොට ‘නිලියොන් අප්පු’ කසිප්පු ගහලා කෑ ගහගෙන ඇවිත් ‘දොස්තර නෝනව මං බේර ගන්නව’ ‘නෝන අතවත් තියන්න එපා මේ බඩු වලට මං කාටවත් මේවට අත තියන්න දෙන්නේ නැහැ.’ කිය කිය ඉන්නවා.අපිට බඩු ටික හංගන්න හම්බුනෙ නැහැ නිලියොන් අප්පුගේ වදෙ පොරේ හන්දා.පස්සේ දැන ගත්තේ ඌත් ඇවිත් තියෙන්නේ බොරු කියාගෙන.ගෙට ගහපු උදවිය එවලා තියෙන්නේ ඔත්තු බලන්නයි.බඩු හංගන එක නවත්තන්නයි.මුරට ආපු පොලිස්කාරයෝ දෙන්නා පැයක් විතර ඉදලා එස්.පී මහත්තයාගේ ගේ මුර කරන්න ඕන කියලා ගියා. පැයක් එකහා මාරක් යද්දි හැංගිලා හිටපු මිනිස්සු අමෝරාගෙන ආවා.
‘දෙමලුන්ට මෙහෙ ඉන්න දෙන්නෙ නෑ .බැහැපියව්’ කිය කිය කඩා වැදුනා ගෙට. කැති, මාළු කපන පිහි,මන්න,දිග තුවක්කු බට අරගෙන ආවේ. විටා ගෑනිගේ අතේ ලොකු භූමිතෙල් කෑන් එකක් තිබුණා මට මතකයි.මායි සෝමෙයි උදේ කලබල වෙලාවේ තාප්පෙට තියලා තිබුණු ඉණිමගෙන් එහා වත්තට පැනලා. ලොකු පඳුරක් තිබුණා.ඒකට මුවා වෙලා හිටියේ.
මං බලන් ඉන්නවා ගෙයි වහල දිහා දුමක් එනකන්. ඇයි ඉතින් මේ මිනිස්සු ආවේ ගෙට බෝම්බ දානවයි කියාගෙනනේ.ටිකක් වෙලා යද්දි මහා වෙඩි හඬක් ඇහුණා.සෝමෙයි මමයි තබ්බීරි වෙලා බලන් හිටියා.හිමින් නැගිටලා බලද්දි පොලීසියෙන් අහසට වෙඩි තියනවා. ගත්තු බඩු තැන් තැන්වල දම දමා මිනිස්සු සී සී කඩ දුවනවා.
අපි දෙන්නා ගෙදරට යන්න තාප්පෙට නැග්ගා රූටලා රූටලා.ඉස්සරහ යතුර තියෙන පෝච්චිය ළඟ නෝනගේ හවරිය දැකලා මගේ පපුව හෝස් ගලා ගියා තාම මතකයි.දෙයියනේ මහ හයියෙන් කෑ ගහගෙන මායි සෝමෙයි ගෙට පැන්නා. අපි දෙන්නම හිතුවෙ නෝනව ගෙයි මරා දාලා කියලා.බැලින්නම් නෝනා අපිට කලින් ඉණිමගෙන් එහා වත්තට පැනලා ගෙවල් අස්සෙන් අස්සෙන් සියල්ගේ අම්මවත් තල්ලුකර ගෙන ගිහින් තියෙන්නේ තිස් නමයේ ගෙදරට. පොලිස් කාරයෝ එක්කන් එන්න.
සෙන්ද්‍රික් ලේන් එකේ ඉඳන්ම මරලතෝනි දිදී ගිහින් තියෙන්නේ දොස්තර මහත්තයගේ ගේ කඩනවෝ කියා ගෙන.යනකොට පොලිස් මහත්තුරු දෙන්නා ජීප් එකේ තේ බොනවලු ඒවා එතනම දාලා පොලීසියෙන් ආවා ඉක්මණට. ඒ නිසා ගේ ගිනි තියන්න උණේ නැහැ උන්ට.කොළඹ හිටිය දෙමළ මිනිස්සු විතරක් නෙවේ. හොරණ බේරුවල දර්ගා වල හිටපු දෙමළ මිනිස්සු මරලා දාලා කියලා ආරංචි උණා අපිට. මරණ බයෙන් ගැහි ගැහි හිටියේ. සිංහල උණත් අපිව මරා දායි කියලා. අපිවත් දැනන් හිටියේ නැහැ මහත්තයා කොහේ හැංගිලා ඉන්නවද කියලා. සතියක් විතර හැංගිලා ඉදලා තියෙන්නේ වැල්ලවත්තේ කරුණාදාස කියලා ලොකු කරවල මුදලාලි කෙනෙකුගේ බංගලාවක.
ඒ වෙනකොට කොළඹ දෙමළ මිනිස්සුන්ව නැවෙන් යාපනයට පැටෙව්වා
මහත්තයත් නැවෙන් යාපනයට ගිහින්.
පහුවෙනිදා රෑත් පෙන්සියා වත්තේ සුමනෙ දුවගෙන ආවා. ගඟේ ගිහින් කකුලක් කාවට්ටියකට කපාගෙන ලේ පෙරාගෙන.‘මහත්තයෝ මහත්තයෝ වදින්නම් බුදු මහත්තයෝ මේකට බෙහෙත් ටිකත් වක් කරන්න.ඇදුන් කනවා මහත්තයෝ ඉන්න බෑ දෙයියනේ.’කියාගෙන.
නෝනා මහත්තයෝ පිල්ලේ මහත්තයා ආවද?
‘පපුව මහන්සිය ඉන්න බෑ. අනේ මහත්තයා ඉන්නවනම් මහන්සි පෙත්තක් ඉල්ලලා දෙන්න නැත්නම් මෙතනම කූරියා ගහයි නෝනේ’ වැල්ලේ මයිකලයගේ ගෑණී එහෙම අඳෝනාව කිය කිය ඉදලා එක පයින්ම ‘දෙමළු මුන් කෙහේද අපට බෙහෙතක් දෙන්නේ.හෙණම ගහපිය.’කියා ගෙන ගියා යන්න.දවස් හයක් හතක් ගියා ජූලි 29 එදා ‘කොටි කොළඹට ආවෝ’ කියාගෙන දුවගෙන එනවා බස්වල මිනිස්සු .
“පිල්ලෙගෙ ගෙට ගිනි තියාපියව් මොකටද තව බලන් ඉන්නෙ.”
ඊට කලින් ඉදලම මෙහෙම කලබල ඇති වුණාම රිචඩ් බාසුන්නෙහැලගේ ගෙදර තමා හැංගිලා ඉන්නේ.එදා එහේ යන්නවත් ලැබුණේ නැහැ.
ලොකු ට්‍රක් වගේ වාහනේකින් තුන් දෙනෙක් ආවා.කතුරක් දික් කරගෙන ආවේ.ඇඳන් යටයි දොර මුළු අස්සෙයි වත්තෙයි හැමතැනම මහත්තයව හෙව්වා .හොයා ගන්න බැරි තැන කකුලේ තිබිලා වේළුණු පරණ තුවාලයක් පෙන්නලා . ‘නෝනා මහත්තයා කරන්න දෙයක් නෑ මහත්තයා අපිට බෙහෙත් දාලා තියෙනවා අපි මහත්තයව මරන්න ආවේ’.සමාවෙන්න කියලා තමා ඒ මිනිස්සු තුන්දෙනා ගියේ.එදා පොලීසියෙන් වටේට මුර හිටපු නිසා ගේ ගිනි තියන්න ඉඩක් ලැබුණේ නැහැ.
පොලිස් පොතේ පැමිණිලි වලට අනුව ගෙට ගැහුව මිනිස්සුන්ව ඇල්ලුවා.ගෙට ගහනකොට ගෙදර බඩු මුට්ටු හංගපු තැන් කියලා පොලීසියෙන්ම ඒවා අරන් ආවා. මට දෑවැද්දට දුන්න මැෂිමක් තිබුණේ එගොඩඋයන ස්ටේෂම ගාව වැල්ලේ වලදාලා.අසු පහේ වත්තෙයි ස්කාගාරවත්තෙයි හංගපු බඩු ආයේ අපිට හම්බුණා.ජනෙල්වලට කොල අලවගෙන තමා පිරිමියෙක් නැතිවත් සෝමෙයි මායි නෝනයි හිටියේ.මාස ගණනකට පස්සේ මහත්තයා ආවා නැවෙන් ආපහු.ගරා වැටිච්ච ගේ දැකලා රෑ දවල් නොබලා මහන්සියයි සල්ලියි නොබලා බෙහෙත් දුන්න මිනිස්සු කරල තියෙන දේ දැකලා මහත්තයා හරියට කලකිරුණා.ගෙට ගහපු කීප දෙනෙක්ට නඩුත් වැටුණා. පැන්සියා වත්තේ ජිනරතනට සොල්දර කඩේ ඉඩම පවා උකස් තියන්න උණා නඩුවලට සල්ලි නැතුව.
පස්සේ නෝනගෙනුයි මහත්තයාගෙනුයි සමාව ඉල්ලලා වැඳ වැටුණා. නඩුව ඉල්ලලා අස්කරලා දෙන්න කියලා.
උසාවියේදී පැන්සියා වත්තේ නඩු වැටුණ හැමෝටම වන්දියක් නැතුවම සමාව දුන්නට දණ ගහලා වැන්දා උසාවියෙදීම මුළු පැන්සියා වත්තම.....                                                                                                                                                                                                                                                
දිල්ෂාරා පීරිස්
කොළඹ විශ්වවිද්‍යාලය

Friday, 21 October 2016

දෙයතක දෑත්--ප්‍රියාශා රන්වල

කොටුවට කෝච්චියෙන් ඇවිත් හා හා පුරා කියලා ඔහුව සෙව්වෙ හිතකින් නෙමේ.දහසක් දේවල් ඇගේ ඔලුව ඇතුළෙ කැරකි කැරකි තිබ්බ.ගැහැණු පිරිමි වෙලා දෙගොල්ලක් උපදින්නෙ ඇයි කියන එක ඇගේ ඔලුවට වද දුන්නා.තුන්වෙනි වේදිකාවෙ ඉඳල මඟුල් මුදුව දාගෙන උන්න අතෙන් ඔහු අත වනද්දී, ඈ විවාහ ගිවිස ගෙන උන්න මුදුව දාගෙන හිටිය අත ඔහුට වැනුව..ඔහුගෙ මඟුල් මුදුව ඇගේ ඇහේ කොනක් නිලංකාර කරද්දීම ඈ ඔහු වෙත පියමැන්නෙ විවාහ ගිවිසි මුදුවත් පිරිමදිමිනුයි.
ඈ දුටු ඔහුගේ සතුට ඉපිලුන දෑස්,කිණිස්සක් ළය මඬල පසාරු කරන් යනවා වගේ ඇයට දැනුණා..දත් අස්සෙ පුළුන් ගුලියක් හිර වෙලා වගේ ඈ අමාරුවෙන් හිනාවක් එළියට දැම්මෙ හිතකින් ද අහිතකින් ද කියන එක ඇයටම සිතා ගන්න බැරි වුණා.මොහොතකට අංගවිකල වුණා වගේ ඇයට දැනුණා..ඒත් ඔහුට නම් ඒක වගක්වත් වුණ පාටක් පෙනුනෙ නෑ..
“ගෝල්ෆේස් යමු”
ඔහු එක එල්ලෙ ඇගේ දෑස් දිහා බලල කියද්දි මැරිල ඉපදුණ වගේ ඇයට දැනුණා..මඟුල් මුදුව රැඳි ඒ අත ගැන ඇයට මහ පිලිකුලක් වගේ දැනුණත් ඉස්සරහට තිබ්බ කකුල ආයෙ පස්සට ගන්න බැරි විකාර සිතිවිල්ලක් ආවා.ෆෙයරි ටේල් ෆැන්ටසි ලෝකේ නා නා සිතිවිලි බඹරයක් වගේ ඔලුවෙ කැරකෙන්න ගනිද්දි බස් එකට නැගල ඔහුගෙ උරිසෙ නොගෑවී ඉන්න මුද්ද තිබ්බ අත දිහා නොබල ඉන්න ඈට දුෂ්කර ක්‍රියා කරන්නත් බය හිතුණෙ කවුරුහරි දකී කියන සුපුරුදු අදහසෙන්.ඇගේ විවාහ ගිවිසි මුදුව ඔහු කිසිදු පිලිකුලක් නැතුව පිරිමැද්දා.ඔලුවේ මහ බර ගතියක් දැනෙද්දිම දෙන්නම ගෝල්ෆේස් එක ළඟින් බැස්සෙ මුනිවත රැකල….
ගෝල්ෆේස් හෝටලේ වෙඩින් කපල් එකක් ෆොටෝ ගන්නව දකිද්දි ඇගේ හිත කීරි ගැහිල ගියා.ඉක්මනටම ඈ කුඩෙන් ඔහුවත්,ඇයවත් වසා ගත්තෙ කවුරුහරි දෙන්නගෙ අත් දකී කියල බයේ.මුහුදු රැලි වෙනදටත් වඩා වේගෙන් පෙරලෙන සද්දෙ ඈට ඇහුනා.මඟුල් මුදුව අව්වට දිලිසෙනව ඈ දැක්කෙ සර්පයෙක්ගෙ හැවක් දිලිහෙනව වගේ.ගෝල්ෆේස් සරුංගල් ඉබාගාතේ අහසේ පාවෙවී තියෙනව ඈ දැක්ක.
“අපේ ජීවිත දෙකත් හරියට මුහුද වගේ”
කියල ඔහුගේ හඬ යට ගියා මූදෙ රැල්ලත් එක්කම.ඉක්මනටම ඈ පියමැන්නෙ අනිත් කපල්ස් වාඩි වෙලා ඉන්න බංකු දිහාවට.මූදු රැලි ගොඩක් ඈතයි කියල ඈට හිතුන.
“මං වගේමදෝ මෙයාලත්?” හිතෙන ගමන්ම වාඩි වුණ සැරේ ඉක්මනටම කුඩෙන් දෑත් වසා ගත්ත දෙන්නගෙම.දැන් මූණු දෙක විතරයි පේන්නෙ රතු වෙලා සුදුමැලි වෙලා ගිය.අව් රැල්ලට ගෝල්ෆේස් සරුංගල් හෙම්බත් වෙලා වගේ ඔහේ පාවි පාවි තියෙද්දි ඔහුගේ ඔලුව ඇගේ උරිස මත නතර වුණා.විවාහ ගිවිස ගත් මුදුව තිබුණ අතෙන් කාටත් නොපෙනෙන්න ඔහුගෙ හිස හෙමිහිට පිරිමැද්දෙ ඇගෙ අත ගිනියම් වෙලා යද්දි.ඔහුත් මඟුල් මුදුව තිබ්බ අතෙන් ඇගේ කම්මුල අල්ලල ඒ ඇස් දිහා බලා උන්නා.ඒකෙ ගිනියමත් ඈට දැනුණ.මුහුදෙ හෝ ගාන සද්දෙ කන් ඇතුළෙ පෙරලෙනවා වගේ ඈට හිතුනා.
විවාහ ගිවිස ගත් මුද්දෙ පාට අව්වට වියැකිල යනව වගේ පෙනෙද්දි ඔහුගේ මඟුල් මුද්ද රත්තරන් පාට පෙන්නන්න වලි කෑවා.කුඩේකින් වැහිල තිබුණ ඒ අත් දෙක ඇතුළේ තමන්ගේ ලෝකේ තමන්ට හොයා ගන්න බැරිව දෙන්නම අතරමං වෙලා උන්නා.ඔහුගේ කිසිම විලවුන් සුවඳක් ඈට හොයා ගන්න නොහැකි වෙද්දි ඔහු ඇගේ උරිස උඩින් මඟුල් මුදුව රැඳි අත තිබ්බා.හඳුන් කූරක ගිනි පුපුරු වැටිල වෙන ක්ෂණික පිච්චීම වගෙයි ඈට එය දැනුණෙ.විවාහ ගිවිස ගත්ත මුද්දෙ තිබුණ මැණික් ගල ඉගිලිල යන්න හදනවා වගේ අත වෙව්ලුන් කෑවා.ඔහු තමන්ට ආදරේ කියන වචනෙ ඇහුනෙ චිරි චිරි ගාන රේඩියෝ එකෙන් වචන කැඩි කැඩි ඇහෙනව වගේ.ඈට කිසි දෙයක් කියන්නවත් විදියක් නැතිව උගුර බැරැණ්ඬි වෙලා වගේ දැනුණ.නොදැනුණ ලුණු රහකින් ඇගේ තොල් තෙත් වෙලා ගියා.
“මගේ ලෝකේ මට ඔයා ළඟ මුණගැහුණා”
ඒක ඈට ඇහුනෙ හීන ලෝකෙක දෝංකාර දිදී වගේ.කාට දොස් පවරන්න දැයි හිතා ගන්න බැරි වෙද්දි සරුංගලේක නූල කැඩිල මූද දිහාට ඇදෙනව ඈ බලා හිටියා.ඔහුගේ මඟුල් මුදුව තාම රන් පාටට දිලිසුන හැන්දෑ අව්වට.ඈට යන්න ඕන වුණා,ඒ අත මඟ ඇරල.ඒ නිසා ඈ එතනින් නැගිට්ටෙ කුඩේ අකුලන ගමන්ම.ඔහුත් ඇගේ අත අවසාන වතාවට පිරිමදින්න හදද්දි ඈ ඒක ප්‍රතික්ෂේප කළේ කොහෙන්දෝ ආව පිලිකුලක් ඈව වසා ගනිද්දි.දෙන්නම කොටුව කෝච්චියට නගින්න ආවෙ කිසිම කතාවක් නැතිව.වේදිකා දෙකක කෝච්චි දෙකක් දෙපැත්තට යන්න ලෑස්ති වෙද්දි ඔහු නැවතත් මඟුල් මුදුව තිබුණ අතින් ඈට අත වැනුවත් හිත හදාගෙන විවාහ ගිවිසි මුදුව රැඳි අත ඔසවන්න ඈට හයියක් තිබ්බෙ නෑ.ඒ අතින් අල්ලන් ඈ අමාරුවෙන් කෝච්චියට නැග්ගා.ආයෙමත් ඒ මඟුල් මුදුවෙ අත ඈ දිහා බලා ඉන්නවා කෝච්චියෙ ජනේලෙන් ඈ යන්තම් දැක්කා.
නිමි
                                         ප්‍රියාශා රන්වල
                                          බොරලැස්ගමුව